Tharindu Withanage – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Police News - SI

2026 විවෘත කරාතේ ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ පොලිස් ක්‍රීඩකයින් දෙදෙනෙකු කරාතේ ජාතික සංචිතයට

2026 ජාතික කරාතේ දෝ සංචිතය තෝරාගැනීම සඳහා ශ්‍රී කරාතේ දෝ ක්‍රීයාකාරී කාර්‍ය බලකාය මගින් සංවිධානය කරනු ලබන 2026 විවෘත කරාතේ ශුරතාවලිය 2026.06.13 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වුනි. පොලිස් කරාතේ සංචිතය නියොජනය කරමින් එම තරඟාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා අතරින් කුමිතේ +84KG ඉසවුව සඟවා තරඟවැදුනු උ.පො .ප. ජේ.එම්.ආර්.සී. අප්පුහාමි නිලධාරියා එම ඉසව්වේ තෙවන ස්ථානය ජයග්‍රහණය කරමින් ජාතික කරාතේ සංචිතවය තේරී පත්වූ අතර කුමිතේ -67 KG ඉසවුව යටතේ තරඟ කළ පොලිස් කොස්තාපල් 107216 බණ්ඩාර එම ඉස්ව්වේ තෙවන ස්ථානය දිනාගනිමින් ජාතික සංචිතයට තේරී පත්විය. පහත නම් සදහන් නිලධාරීන් 09 දෙනා එදින තරඟාවලියේ හොදම 08 දෙනාගේ වටයට සුදුසකම් ලැබීමට අවස්ථාව හිමිකරගනිමින් දක්ෂතා දක්වා ඇත. 1. පොලිස් කොස්තාපල් 28912 කාරියවසම්, කුමිතේ -84 KG ඉසවුව2. පොලිස් කොස්තාපල් 25497 විජේරත්න,‍ කුමිතේ +84 KG ඉසවුව3. පොලිස් කොස්තාපල් 25889 ගුණසිංහ, කුමිතේ -67 KG ඉසවුව4. පොලිස් කොස්තාපල් 24593 බුද්ධික, කුමිතේ -84 KG ඉසවුව5. පොලිස් කොස්තාපල් 27149 චතුරංග, කුමිතේ -75 KG ඉසවුව6. පොලිස් කොස්තාපල් 40540 රෝහිත, කුමිතේ -60 KG ඉසවුව7. පොලිස් කොස්තාපල් 98437 ගයාන්, කුමිතේ -55 KG ඉසවුව8. පොලිස් කොස්තාපල් 99585 කවිඳු, කුමිතේ -55 KG ඉසවුව9. පොලිස් කොස්තාපල් 107222 ගෝබිහන්, කුමිතේ -55 KG ඉසවුව එදින මෙම තරගාවලියට ක්‍රීඩා සමාජ හා සංගම් 450 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී ඇත. පොලිස් කරාතේ සංගමයේ සභාපති ලෙස නියොජ්‍ය පොලිසපති සිසිර කුමාර මහතා කටයුතු කරනු ලබන අතර ලේකම් ලෙස ජෙෂ්ඨ පොලිස් අධිකාරී සරත්චන්ද්‍ර ගුණතිලක මහතා, කණ්ඩායම් නායක ලෙස පොලිස් පරික්ෂක රජිවී ප්‍රසන්න මහතා,කණ්ඩායම් කලමණාකරු ලෙස පොලිස් පරික්ෂක පුබුදු චතුරංග මහතා, පුහුනුකරු ලෙස ජුරම්පති මහතා කටයුතු කරයි.

Police News - SI

2026 ජූනි මස 19 වන දා සිට අධිවේගී මාර්ගයේදී ආසන පටි අනිවාර්යයි.

2026.06.19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියළුම රථවාහනවල ගමන්ගන්නා රියදුරන් සහ මගීන් ආරක්ෂිත ආසන පටි පැලඳසිටීම අනිවාර්ය කර ඇත. ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙල යටතේ බලාත්මකවන මෙම නීතියට මහජනතාවට අවනත වන්නේද යන්න ශ්‍රී ලංකා පොලිසියේ අධිවේගී මාර්ග කොට්ඨාසය දැඩි සුපරීක්ෂාවෙන් සිටීමට නියමිතයි. මේ පිළිබඳ පූර්ව දැනුවන් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේද සහභාගීත්වයෙන් 2026.06.16 සහ 17 යන දෙදින කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.  එහිදී අධිවේගී මාර්ගයේ ගමන් කරන ලද වාහන වල රියදුරන් සහ මගී ජනතාව වෙත අමාත්‍යංශය මගින් මුද්‍රිත “ආදරණීයයන් වෙනුවෙන් Click එකක්” තේමාව සහිත අත් අත්පත්‍රිකා ලබා දෙමින් 19 වනදා සිට ආසන පටි පැලඳීම අනිවාර්ය බවත් තමන්ගේ හා ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආසන ආසනපටි පැළඳ ප්‍රවේසමෙන් රිය ධාවනය කරන ලෙසත් දැනුවත් කරන ලදී.  මේ අනුව ආසන පටි නීතියට හුරු වීම සඳහා රියදුරන් සහ මගී ජනතාවට ලබාදී තිබූ මාස 3ක සහන කාලය නිමාවන අතර 2026.09.19 වෙනිදායින් පසුව ආසන පටි පැලදීමේ නීතිය කඩ කරන්නන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය. දඩ මුදලේ ප්‍රමාණය රුපියල් දහසකි. නීතිමය ප්‍රතිපාදන අනුව ඉදිරියේදී වාහන හිමිකරු, රියදුරු, මගියා යන පාර්ශව ත්‍රිත්වය මෙම දඩමුදලට යටත්වේ.  සාමාන්‍ය මාර්ග වල ධාවනය වන වාහන වල රියදුරුන්ට සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියාට ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර මේ අනුව අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියළුම වාහන වල රියදුරු සහ සියළු මගීන් ආසන පටි පැලඳිය යුතු ය. දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු, කළමණාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් R.A.D කහටපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Police News - SI

ශ්‍රී ලංකා පොලිසියේ මහජන සේවය පිලිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා QR කේත පුවරුවක් 

දිවයින පුරා පිහිටි සියළුම පොලිස් ස්ථාන වල සේවා සම්බන්ධව මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා සෘජුවම ලබා ගැනීමට හැකි Online Digital Platform හරහා “ SriLanka Police Community Feedback Portal ” නමින් QR කේත පුවරු ක්‍රමවේදයක් මහජනතාවට හඳුන්වා දීමට කටයුතු සිදු කර ඇත. මෙම සේවාව මඟින් පුරවැසියන්ට පහසුවෙන් අදහස් හා ප්‍රතිචාර ලබාදීමට අවස්ථාව සැලසෙන අතර එම දත්ත විශ්ලේෂණ උපයෝගී කර ගනිමින් ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂමව පොලිස් සේවාවක් සැපයීම මෙහි මූලික පරමාර්ථය වේ. මෙම QR කේතය භාවිතා කරන ආකාරය පහත පරිදි වේ.  https://feedback.police.lk/ • අදහස / පැමිණිල්ල / ප්‍රශංසාව / යෝජනාව යන අංශයෙන් විකල්පය තෝරා ගැනිම.• අවශ්‍ය නම් පුද්ගලික තොරතුරු ඇතුලත් කල හැකිය. ( Needto add my personal details )• පොලිස් ස්ථානය වෙත පැමිණි කාරණය ( Add my visit information)• වෙනත් කරුණු ( Add more information )• සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තර ඇතුලත් කිරීම. තවද, ශ්‍රී ලංකා පොලිසියේ police.lk web අඩවිය වෙත පිවිස එහි E – Services වෙත ගොස් Community Feedback Portal මඟින්ද මහජනතාවට පහසුවෙන් අදහස් හා ප්‍රතිචාර ලබාදීමට හැකියාව ඇත.

Special Events - SI

ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් සේවා රැසක් පහසුවෙන් ලබාගත හැකි ජංගම දුරකථන යෙදවුමක්(App) එළිදැක්වීමට නියමිතයි

නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් සේවාවන් රැසක් ඇඟිලි තුඩින් ලබාගැනීමේ පහසුව මහජනතාවට හිමිකරදීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත වීශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය අවසානයේ IOS හා Android මෙහෙයුම් පද්ධති සඳහා සරිලන ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හා නව පොලිස් වෙබ් අඩවියක් ඔබගේ තාක්ෂණික උපාංගය (Device) මගින් පරිශීලනය කිරීමට හැකිවනු ඇත. ජංගම දුරකථන යෙදවුම(App) ඔස්සේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙත සමීපකරන දැනුවත්කිරීම්,පුවත්,ඡායාරූප, වීඩියෝ පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති අතර Notification පහසුකම හරහා ඔබ වෙත යම් හදිසි දැනුවත් කිරීමක් එසැණින් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වේ. පොලිස් නිශ්කාෂණ වාර්තා අයදුම් කිරීම්, හදිසි දුරකථන ඇමතුම් අංක, හදිසි අවස්ථාවක Location Alerts වැනි පහසුකම් වැනි පොලිස් සේවා ඔබට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීමට නියමිතය. “Vampior Design” මෘදුකාංග සංවර්ධන පුද්ගලික ආයතනයේ නිර්මාණයක් වන මෙම යෙදවුම හා වෙබ් අඩවිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය හා පාලනය පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මගින්ද අන්තර්ගත කරුණු පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින්ද සකස්කරමින් පවතී. ඒ් අනුව පොලිස් සේවා ලබාගැනීම සඳහා මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා විවිධාකාරයෙන් වැයවන මහජනතාවගේ කාලය හා ශ්‍රමය ඉතිරිකර දෙමින් මෙම යෙදවුම නුදුරු කාලයේදී සෑම පුරවැසියෙකුගේම නවීන ජංගම දුරකථනයක් තුළ සුලභව භාවිතාවන යෙදවුමක්(App) වනු ඇත. පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සාකච්ඡා කෙරෙන හමුවක් 2026.06.16 වන දින පොලිස් මූලස්ථානයේදී පැවැත්වුනි. මෙම හමුව සඳහා මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා,  පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනී නිෂානි සෙනෙවිරත්න මහත්මිය,  පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජී ලක්සිරි ගීතාල් මහතා, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්,යූ වුට්ලර් මහතා ඇතුලු කාර්යභාර්ය හිමි පොලිස් නිලධාරීන් “Vampior Design” මෘදුකාංග සංවර්ධන පුද්ගලික ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ අසංක බණ්ඩාර මහතා ඇතුලු  “Vampior Design” පුද්ගලික ආයතනයේ නිලධාරීන් සහභාගීවිය.

Police News - SI

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට.

ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රබල සැකකරුවන් දෙදෙනෙකු, 2026 ජූනි මස 13 වන දින රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි දීර්ඝ විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට පියවර ගෙන ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදුන් පළමු සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. මෙම සැකකරුගේ ඡායාරූපය කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයේ පිහිටුවා ඇති නවීන ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය වෙත 2025 වර්ෂයේ මාර්තු මස සිට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මොහු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මෝදර නිපුණ’ නැමැත්තාගේ සෘජු සහෝදරයෙකු බවට විමර්ශනවලදී හඳුනාගෙන ඇත. මෙම සැකකරු මීට පෙර 2019 වර්ෂයේදී පමුණුගම පොලිසිය මඟින් ගංජා ළඟ තබා ගැනීමේ වරදටත්, 2020 වර්ෂයේදී මෝදර පොලිස් වසමේදී පුද්ගලයෙකුට පොල්ලකින් හා උල් ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ අපරාධයටත් අත්අඩංගුවට පත්ව ඇති අතර, 2022 නොවැම්බර් මාසයේ සිට කොළඹ ප්‍රධාන අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර සිටි අයෙකි. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදුන් දෙවන සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන්නෙකි. මොහු දීර්ඝ කාලයක සිට මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතල ගණයේ අපරාධකරුවෙකු බව අනාවරණය වී ඇත. මෙම සැකකරුට එරෙහිව 2010 වර්ෂයේ ගණේමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් සහ කැලණිය ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා තිබේ. එලෙසම මොහු 2015 වර්ෂයේ කොළඹ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු වන අතර, 2016 වර්ෂයේ මාළිගාවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අයෙකි. මීට අමතරව 2016 වර්ෂයේදී ගිනි අවියක් සහ පතරොම් සමඟ නීතිඥයෙකු මාර්ගයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටි මෙම සැකකරු, 2018 වර්ෂයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ දරුණු අපරාධයකට ද සෘජුවම සම්බන්ධ වී තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරනු ලබයි.

Notable Services - SI

වැලිඔය පොලිස් ස්ථානයේ හා ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජල ගැටළුවට නිමා වූ පරිත්‍යාගයක් ජනතා අයිතියට

මුලතිව් පොලිස් කොට්ඨාස‌යට අයත් වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හා පොලිස් ස්ථානයට පැමිණෙන ප්‍රදේශවාසීන්ට ගැටළුවක්ව පැවති සෞඛ්‍යාරක්ෂිත පානීය ජල ගැටළුව 2026.06.13 වන දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු පළාත තුළ සිදුකළ නිල සංචාරය අතරතුර නිමා කෙරුණි. පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීතිඥ නිල්මිණි නීටා සමරතුංග මහත්මියගේ සම්බන්ධීකරණය මත Vaultino LLC (pvt).Ltd ආයතනය හා ව්‍යාපාරික ඉෂාන් අධිකාරි මහතාගේ ධනපරිත්‍යාගයෙන් පොලිස් ස්ථානය පරිශ්‍රයේ ඉදිකළ අංගසම්පූර්ණ ජල පවිත්‍රකරණ යන්ත්‍රයක් පොලිස්පතිතුමා විසින් නිලධාරීන්ගේ හා ජනතාවගේ පරිහරණය කිරීම සඳහා නිල වශයෙන් එදින උදෑසන විවෘත කළේය. පොලිස් ස්ථානයේ භූමි සීමාවෙන් පිටත සිට පානීය ජලය ලබාගත හැකි පරිදි ජල පවිත්‍රකරණ යන්ත්‍රයෙන් පිරිපහදු කෙරෙන ජලය යොමුකිරීමටද වැලිඔය පොලිස් ස්ථානය කටයුතු සම්පාදනය කර ඇත. මීට සමගාමීව වැලිඔය කල්‍යාණිපුර විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 126 දෙනෙකු සඳහා අවශ්‍ය පාසල් බෑග් පරිත්‍යාග කිරීම හා ගැබිනි මව්වරුන් සදහා ළදරු උපකරණ කට්ටල බෙදාදිම ද මෙහිදී පොලිස්පතිවරයා අතින් සිදු විය. දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම වෙනුවෙන් මෙම සත්කාරය සංවිධානය කර තිබුණි. විවෘත කිරීමේ අවස්ථාව ව්‍යාපාරික ඒෂාන් අධිකාරී මහතා වැලිඔය පොලිස් ස්ථානය අයත් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්. බුද්ධික සිරිවර්ධන, නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.එස්. මෙන්ඩිස් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ.ඩී. රත්නවීර,සහකාර පොලිස් අධිකාරී II ආර්.එම්.ඒ ජේ ආරියරත්න, වැලිඔය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.එම්.ටි.එස් විජේරත්න යන නිලධාරීන් සමඟ කල්‍යාණිපුර විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් සහභාගී විය.

Special Events - SI

සංවර්ධනය කළ ස්ථානාධිපති නිල නිවාස 07 ක් පොලිස්පතිතුමාගේ උතුරු පළාත් නිලසංචාරය අතරතුර නිල වශයෙන් විවෘත කෙරුණි

දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම නීතිය හා සාමය එකලෙස ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය  ශක්තිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගැනීම ශ්‍රී ලංකා පොලිසියේ දැක්මයි. භෞතික හා සාමාජීය සංවර්ධනය සමඟ ක්‍රමානකූලව ගොඩනැගෙන උතුර පළාත තුළද සමාජ මිත්‍රශීලී ශක්තිමත් පොලිස් සේවාවක් ඇතිකරමින් එම පළාත තුල ජීවත්වන සියළු ජනතාවට මෙරට නීතියේ හා මහජන ආරක්ෂාවේ සෙවණේ ජීවත්වීමට හැකි පරිසරය තවදුරටත් ඔප්නැංවීම සඳහා අවශ්‍ය පසුබිම මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ නිර්මාණය වෙමින් පවතී. ඒ් අනුව කෝපායි පොලිස් ස්ථානය වෙනුවෙන් ඉදිකළ නව ගොඩනැගිල්ල මෙන්ම සංවර්ධනය කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිල නිවාස කිහිපයක්ම ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2026.06.13 සහ 14 දෙදින උතුරු පළාත තුළ සිදුකළ නිල සංචාරයේදී විවෘත කරන ලදී.   නිල වශයෙන් විවෘත කෙරුණු පොලිස් ස්ථානාධිපති නිල නිවාස – කන්කසන්තුරේ, කෝපායි, පලාලී, කොඩිකාමම්, චාවකච්චේරි, චුන්නාකම්, කයිට්ස්.  මෙම අවස්ථාවන් සඳහා එම ප්‍රදේශයන්හි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්. බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාසභාර පොලිස් නිලධාරීන්, ස්ථානාධිපතිවරුන් සහභාගී විය.

Special Events - SI

කෝපායි පොලිස් ස්තානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ සුරතින් විවෘත වෙයි

යාපනය කොට්ඨාසයේ අළුතින් ඉදි කරන ලද කෝපායි පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් 2026.06.14 අද දින සිදු කරන ලදී.  කෝපායි පොලිස් ස්ථානය 1966 වර්ෂයේ ජනවාරි මස 06 වන දින ආරම්භ කර ඇති අතර අළුතින් ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 47ක පමණ මුදලක් වැය වී ඇත.මෙම පොලිස් වසමට ග්‍රාම නිලධාරී වසම් 27ක් අයත් වන අතර වර්ග කිලෝ මීටර් 51ක භූමි ප්‍රමාණයක 64,500ක පමණ ජනතාවක් ජීවත් වේ. එමෙන්ම යාපනය විශ්ව විද්‍යාලය හා යාපනය ගුරු විද්‍යා පීඨයද මෙම පොලිස් වසම තුල පිහිටා ඇත.  මෙම උත්සව අවස්ථාවට ගරු උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් මහතා, යාපනය දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් ප්‍රදීපන් මහතා, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජනරාල් ප්‍රියන්ත නවරත්න මහතා, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Special Events - SI

වෝහාරික ඡායාරූපකරණය හා වීඩියෝකරණය පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

අපරාධ වාර්තා කොට්ඨාසය මගින් සංවිධානය කරන ලද වෝහාරික ඡායාරූපකරණය හා විඩියෝකරණය පාඨමාලාව – කණ්ඩායම් අංක 28 2026.06.12 දින සාර්ථකව අවසන් වන ලදී.  සහතික පත් බෙදා දීමේ උත්සවය පොලිස් මුලස්ථානයේදි පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වු අතර ඒ සදහා අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයසිරි කොඩිතුවක්කු මහතා සහ අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර මහතා ඇතුලු නිලධාරින් සහභාගි විය.  මෙම පාඨමාලාව 2026.04.22 වන දින සිට 2026.06.12 දින දක්වා දින 45 පුරාවට පවත්වන ලදී. මෙම පාඨමාලාව මගින්,  •වෝහාරික ඡායාරූපකරණය හා වීඩියෝකරණය.•වෝහාරික හා අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද දැනුම•නවීන තාක්ෂණික කැමරා පිළිබද දැනුම•අධිකරණ කටයුතු සදහා අවශ්‍ය නෛතික දැනුම•ප්‍රායෝගික වැඩමුළු (හෝටන් තැන්න/වනජීවී/වෝහාරික)•ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවනතා පිළිබද යාවත්කාලීන දැනුම•අපරාධ ස්ථාන‍, උද්ඝොෂණ‍, විමර්ශන හා ආවේක්ෂණ ඡායාරූපකරණය හා වීඩියෝකරණය යනාදි ක්ෂේත්‍ර ආවරණය කරන ලදී. මෙම නිලධාරින් ඉදිරියේදි දිවයින පුරා පොලිස් කොට්ඨාස වෙත අනුයුක්ත කරන අතර එහිදි එම නිලධාරින්ගේ සේවය පොලිස් කොට්ඨාස වෙත ලබා දිමට නියමිතය.

Notable Services - SI

“NPAIRC 2026” – අවසන් දිනය දීර්ඝ කරන ලදී

“Transnational Crime and Social Protection: Integrated Responses for Regional Security” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීති ක්‍රියාත්මක කිරීමේ වෘත්තීයවේදීන්, ප්‍රතිපත්ති නිර්මාණකරුවන් සහ අදාළ ක්ෂේත්‍රවල වෘත්තීයවේදීන්ට හා පොලිස් නිලධරයන්ට තම පර්යේෂණ සාරාංශ ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරේ. 📅 Conference Dates: 31 August 2026 – National Police Academy, Sri Lanka 01 September 2026 – The Grand Maitland Hotel, Colombo 07 📲 Scan the QR code on the flyer to submit your abstract via Microsoft CMT. 🔗 වැඩිදුර තොරතුරු සඳහා: https://npa.gov.lk/?page_id=3552 📧 npa.irc@police.gov.lk 📞 +94 71 859 1807 නව අවසන් දිනය: 2026 ජුනි 25

Scroll to Top