Tharindu Withanage – Page 14 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Special Events - SI

පොලිස්පතිතුමන් පො.කො 82615 නිලධාරියාට අවසන් ගෞරව පුදකරයි.

අම්බලන්තොට, වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අනතුරකට ලක්ව මියගිය පොලිස් කොස්තාපල් 82615 එම්. සරත් කුමාර නිලධාරියාගේ අවසන් කටයුතු 2026.01.03 වන දින සිදුකෙරුණි. රාජකාරියේදී මියගිය මෙම නිලධාරියා පශ්චාත් උසස්කිරීමේ පදනම මත පොලිස් සැරයන් නිලය දක්වා උසස් කිරීමට කටයුතු කරමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දේහය තැන්පත් කර තිබූ සූරියවැව, වීරියගම පිහිටි නිවස වෙත ගොස් සිය අවසන් ගෞරව පුද කළේය.  ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ද ඇතුලුව නිලධාරියා සමඟ රාජකාරි කළ නොකළ පොලිස් නිලධාරීන් රැසක් එදින අවසන් කටයුතු සඳහා සහභාගී විය.

Notable Services - SI

පොලිසිය විසින් නිකුත් කළ බව සඳහන්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියක් සම්බන්ධව

“පොලිස් නිවේදනය” යන ශීර්ෂය යටතේ  ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කරන ලද පණිවිඩයක් බවට හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය  ඔස්සේ  පණිවිඩයක් සංසරණය වෙමින් පවතී. ඉහත පණිවිඩය මඟින් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යයෙන් දැන ගත යුතු මාර්ගෝපදේශ මාලාවක් වශයෙන් අසත්‍ය හා තහවුරු නොකරන ලද මහජනයා නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට නිරීක්ෂණය වේ.  මෙය කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකා පොලිසිය මඟින් ප්‍රකාශයට පත්කර නිකුත් කරන ලද්දක් නොවන අතර පොලිසිය මඟින් නිකුත් කරනු ලබන සියළුම නිල පණිවිඩ හා යාවත්කාලීන තොරතුරු  ශ්‍රී ලංකා පොලිස් නිල වෙබි අඩවිය, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදන හා ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් නිකුත් කරනු ලබයි.   මෙලෙස තහවුරු නොකරන ලද තොරතුරු සමාජ ගත කිරීමෙන් මහජනයා තුළ අනවශ්‍ය බියක් හා අවිශ්වාසයක් ගොඩනැගෙන අතර ශ්‍රී ලංකා පොලිසිය සෑම විටම නීතිය සාමය  හා මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා සෑමවිටම ක්‍රියා කරනු ලබයි.  ඒ අනුව, සමාජගත වන මෙවැනි තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන ලෙසටත්, ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කරනු ලබන සත්‍ය හා යාවත්කාලීන තොරතුරු කෙරෙහි පමණක් අවධානය හා විශ්වාසය තබන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.

Special Events - SI

ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 225 ක් මූලික පුහුණුව සඳහා ඇල්පිටිය පොලිස් විද්‍යාලයට –

දකුණු ආසියවේ විශිෂ්ඨතම අතුරු හමුදාවට ආධුනික කොස්තාපල්වරයෙකු ලෙස එක්වීමේ භාග්‍ය උදාකරගත් මෙරට ජව සම්පන්න තරුණයින් 225 දෙනෙකු, මූලික පුහුණුව හැදෑරීම සඳහා 2025.12.31 වන දින ඇල්පිටිය පොලිස් විද්‍යාලය වෙත වාර්තා කරන ලදී. මූලික තොරාගැනීමේ පරීක්ෂණ වලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අභිමානවත් නිල ඇඳුම පැළදීම සඳහා අවශ්‍ය කාය ශක්තිය,මානසික ශක්තිය, විනය මෙන්ම සරිලන අධ්‍යාපන මට්ටම, පවුල් පසුබිම වඩාත් සාර්ථකව පෙන්නුම් කර සුදුස්සන් වූ මෙම පිරිස, මෙතැන් සිට රටදැය ආරක්ෂාකිරීමට කැපවන අතිදක්ෂ සන්නද්ධ නිලධාරියෙකු වීම උදෙසා  පොලිස් විදු සෙවනේ සුවිශේෂී පුහුණුවක් ලබනු ඇත.

Police News - SI

පසුගිය තෙදින තුන මාරක ගිනි අවි තුනක් අත්අඩංගුවට

ටී-56 ගිනි අවිය I – ග්‍රෑන්ඩිපාස් පොලිස් ස්ථානය ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජෝෂප් විදිය ප්‍රදේශයේ හිස් භූමියක බෑගයක දමා තිබූ ටී-56 වර්ගයේ ගිනි අවියක් හා එම පතරොම් 27 ක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2025.12.24 වන දින රාත්‍රියේ සොයාගත් අතර විමර්ශනයේදී බෑගය එම ස්ථානයට ගෙනවිත් දැමූ  සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන සැකකරු 67 හැවිරිදි වියේ පසුවන්නෙකි. ටී – 56 වර්ගයේ ගිනි අවිය II – රාගම පොලිස් ස්ථානය රාගම පොලිස් ස්ථානයේ පහලවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක නවතා තිබූ කාර් රථයක් 2025.12.23 වන අද දින රාත්‍රී කාලයේ පරීක්ෂාවට ලක්කළ රාගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක්, කාර් රථය තුල තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම පතොරොම් 44 ක් සහිත මැගසින් දෙකක් සොයාගන්නා ලදී.  අවිය හා පතරොම් සමඟ කාර් රථය අතහැර දමා ගිය සැකකරුවන් සොයා රාගම පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ක්‍රියත්මකයි. පිස්තෝල අවිය – බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත ගම්පහ බුද්ධි ඒ්කකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය 2025.12.24 වන දින රාත්‍රියේ පිළියන්දල පොලිස් වසමේ වීරසිංහ මාවත ප්‍රදේශයේදී සඟවා තිබූ මැගිසීනය සහිත විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සොයාගෙන ඇත. අවිය කවුරුන් විසින් එම ස්ථානයට රැගෙන ආවේද සම්බන්ධ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Police News - SI

මුල්ලේරියාව ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපති ඝාතන සිද්ධියේ සැකකාර යතුරුපැදිකරු අත්අඩංගුවට

2022.08.02 දින (වසර 03කට පෙර)  මුල්ලේරියාව රෝහල අසල සිදුවූ වෙඩිතැබීමකින් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඝාතනයට ලක්විය.  බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් එම අපරාධයේ  යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු 2025.12.25 වන දින උදෑසන මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී අත්ඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 430 ක් හා ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර වයස අවුරුදු 32 ක් වන ඔහු තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය කර ඇත. වැඩිදුර විමර්ශනයේදී ඔහුට කොළඹ ගරු මහාධිකරණයේ විභාග වන නඩු 02 ක් සඳහා විවෘත වරෙන්තු නිකුත්ව ඇති බවද අනාවරණය වී ඇත. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකරයි.

Police News - SI

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 384 ක්, සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් විමර්ශනයක්

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110 මිලිග්‍රෑම් 80 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන කොම්පඤ්ඥවීදිය, ගැලනි පැසේජ් නව ගුවන් පාලම යට සිටි පුද්ගලයෙක්ව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් 2025.12.19 වන දින රාත්‍රී 08.00 ට පමණ අත්අඩංගුවට ගත්හ.  49 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදංචිකරුවෙකු වන ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී අනවාරණය වූ තොරතුරු අනුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් 2025.12.22 වන දින මත්ද්‍රව්‍ය සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 114 ක් සමඟ වැල්ලවත්ත ඩබ්. සිල්වා මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු මොරටුව මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩවත දළුවපිටිය ප්‍රදෙශයේ හෝටලයක් තුලදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1056 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1098 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4116 ක් සමඟය. ඔහු රාජගිරිය කඩුවෙල පාර, සමගි මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිතාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Special Events - SI

නඩු කටයුතු අවසන් මත්ද්‍රව්‍ය තොගයක් විනාශකිරීම සඳහා වනාතවිල්ලුව දහන උඳුනට

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අනාවරණය කරගත් තොරතුරක් මත නාවික හමුදාවේද සහය ඇතිව 2021.09.07 වන දින මත අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දෙන ලද කිලෝග්‍රෑම් 170 ක පමණ දළ බර ප්‍රමාණයකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක නඩු කටයුතු අවසන් වූ බැවින් අධිකරණයෙන් ලැබූ නියෝග ප්‍රකාරව විනාශ කිරීම සඳහා එම තොගය 2026.01.02 වන අද දින උදෑසන  වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත ගෙන යන ලදී. වැඩිදුර පරීක්ෂණ මගින් අනාවරණය වූ පරදි එම තොගයේ ශුද්ධ බර හෙරොයින් කිලෝග්‍රෑම් 106 ග්‍රෑම් 248 ක් හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90.5 ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් 2026.01.02 වන අද දින උදෑසන 06.00 ට පමණ කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය තොගය භාරගෙන පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලුව විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය සිදුකරන ලදී. මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමේ අවස්ථාව අධීක්ෂණය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිිලධාරීන්, රස පරීක්ෂක කාර්යාලය සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූහ.

Special Events - SI

ශ්‍රී ලංකා පොලිසියේ සමස් ශ්‍රම බලකායට උදාවූ 2026 නව වසර වෙනුවෙන් සුභ පැතුම්

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රධානව පොලිස් මූලස්ථානයේ නිලධරයන් උදාවූ 2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සඳහා ජනවාරි පළමුදින උදෑසන පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී රැස්ව ගෞරවනීය රාජ්‍ය සේවයක් වෙනුවෙන් වූ රාජ්‍ය සේවා ප්‍රතිඥාව/දිවුරුම ලබාදීම සිදුකළහ. පොලිස්පතිතුමන් එහිදී මාර්ගගත(Online) ක්‍රමය ඔස්සේ දිවයිනේ සියලු පොලිස් කොට්ඨාස ආමන්ත්‍රණය කරමින් රාජ්‍ය නිලධාරීන් ලෙස වඩාත් මහජන මිත්‍රශීලී සේවාවක් ඉුටුකිරීමට කැපවන ලෙසත්, නීතිය සාමය ආරක්ෂාකරමින් වඩාත් සාමකාමී පරිසරයක් පරිසරයක් පවත්වාගැනීමට ප්‍රසංශනීය කාර්ය භාරයක් ඉටුකිරීමට කැපවන ලෙසත්  දැනුම්දෙන ලදී. මව්බිමේ වෙනුවෙන් දිවි පිදූ සියලු නිලධාරීන්, රණවිරුවන් සිහිපත්කිරීමෙන්අනතුරුව සම්ප්‍රදානුකූලව කිරිබත් කැවිලි සහිත තේ මේසය සියලු නිලධාරීන් උදෙසා පිළිගන්වනු ලැබූ අතර පොලිස්පතිතුමන් විසින් ඉදිරියේදී සියලු නිලධාරීන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ආයතනික වශයෙන් ඉටුවන කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරමින් නව වසරට සුභාසිංශන එක්කරන ලදී. පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුලු ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නායකත්වය හොබවන නිලධාරීන් මෙන්ම කණිෂ්ඨ, සිවිල් නිලධාරීන් මෙහිදී පොලිස්පතිතුමන් වෙත සුභපැතුම් එක්කළහ.

Special Events - SI

සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවට සමගාමීව පවත්වන්ට යෙදුනු හීල් දානමය පිංකම

2025.12.30 වන දින පොලිස් මූලස්ථානයේ පවත්වන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනා පිංකමට සමගාමීව පසු දින උදෑසන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රමුඛව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විසි පස් නමක් වෙනුවෙන් හීල් දානය පූජා කිරීම සඳහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියහ.  එහිදී හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් පොලිස්පතිතුමා ඇතුලු ශ්‍රී ලංකා පොලිසියේ සමස්ථ නිලධරයන් හට මෙන්ම විශ්‍රාමික නිලධාරීන් හට  2025 වසර වෙනුවෙන් සුවසෙත, ආශිර්වාද ප්‍රාර්ථනා කළ සේක.

Scroll to Top