Tharindu Withanage – Page 17 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Notable Services - SI

විපතට පත්වූ දුෂ්කර පාසල් දරුදැරියන් අස්වැසුමට පොලිස් සේවා වනිතා ඒකකය ඌව පළාතට –

පොලිස් සේවා වනිතා ඒකකයයේ ගරු සභාපතිණි නීතිඥ නිල්මිී නීටා සමරතුංග මැතිණියගේ සංකල්පයකට අනුව එම ඒකකය දිවයිනේ දුෂ්කර පාසල් පිළිබඳව තොරතුරු ලබාගෙන සිසු සිසුවියන් හට පරිත්‍යාගයන් ලබාදීමේ වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වනු ලබයි. දිවයිනට බලපෑ අයහපත් කළගුණ තත්වයද සැලකිල්ලට ගෙන සංවිධානය කළ එහි තවත් එක්  වැඩසටහනක් නීතිඥ නිල්මිණි නීටා සමරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.12.15 වන දින රිදීමාලියද්ද, අරාව හා කන්දකැටිය යන පොලිස් වසමේදී පවත්වා ඇත. එහිදී සුරක්ෂිත මධ්‍යස්ථාන කිහිපයක රැදී සිටින පාසැල් දරුවන් 555 දෙනෙකු උදෙසා වියළි ආහාර ,පානීය ජලය, අත්‍යවශ්‍ය භාණ්ඩ, හා පාසැල් දරුවන් සදහා පාසැල් පොත් හා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ”මහාචාර්ය නන්දදාස කෝදාගොඩ අනුස්මරණ භාරය” මෙම සමාජ මෙහෙවර වඩාත් සාර්ථකව ඉටුකිරීම සඳහා අනුග්‍රහය දක්වා ඇත.  බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, පොලිස් සේවා වනිතා ඒකකයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණි ජයවීර, කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීපාල් ජයතුංග,අරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුලුව පොලිස් සේවා වනිතා ඒකකයේ සහ කන්දකැටිය හා අරාව යන පොලිස් ස්ථානයන්හි නිලධාරීන්ගේ සහයෝගය හා සහභාගීත්වය වැඩසටහන සඳහා හිමිව ඇත.

Notable Services - SI

ලක්විදු පෙර පාසලේ 2025 – වාර්ෂික විවිධ ප්‍රසංගය

නිසි දෙමාපිය රැකවරනයක් නොමැතිව හෝ පහසුකම් සහිතව පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයකට යොමුවීමට හැකියාවක් නොමැතිව හැදී වැඩෙන දරු දැරියන් වෙනුවෙන් ප්‍රජා පොලිස් කොට්ඨාසය නොමිලේ පවත්වන ලක්විදු පෙර පාසල,  2025 වර්ෂයට නියමිත ඔවුන්ගේ විවිධ ප්‍රසංගය 2025.12.12 වන දින උදෑසන බොරැල්ල ගෝතමී මාවත ප්‍රජාශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. 2009 වසරේදී ප්‍රජා සත්කාරයක් ලෙස ආරම්භ කළ ලක්විදු පෙර පාසලේ ඉගැන්වීම් සඳහා අද වන විට ප්‍රජාපොලිස් කොට්ඨාසයේ කාන්තා පොලිස් පරීක්ෂක දීපිකා නිලධාරිනිය ඇතුලුව එම කොට්ඨාසයේ සුදුසුකම් ලත් නිලධාරිනියන් සිව් දෙනෙක් අනුයුක්ත කර ඇත.  කුමන පරිසරයක හැදී වැඩුනද අධ්‍යාපනය ලබාදී ඔවුන්ව නිසි ජීවන මඟට ගැනීම මව්බිමේ සුභවාදී ආනගතයට අයෝජනයක් වන බැවින්  ප්‍රජා පොලිස් කොට්ඨාසයේ මෙම ප්‍රජාසත්කාරයට සහය වෙමින් පොලිස් පවුල් සුභසාධක සංගමය, කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය හා පොලිස් බෞද්ධ සංගමය ලක්විඳු පෙර පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් වෙත ඇඳුම් පැළඳුම්, නිසි පරිදි දෛනික උදෑසන දහවල් ආහාර කිසිදු අයකිරීමකින් තොරව අඛන්ඩව ලබාදෙමින් සිදුකරන මෙහෙවර දරුවන්ගේ භාරකරුවන් විසින් ප්‍රශංසනීයව අගයයි.   එවැනි සියලු සහයෝගයන් සමඟ 35 දෙනෙකු වන මෙවර දරු කැළටද වර්ෂ අවසාන වින්දනීය විවිධ ප්‍රසංගයක නවමු අත්දැකීමක් ලබාදීමට හැකි වීම සතුටට කරුණකි. ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ්.ආර්.එන් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ  පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ඒ්.එස්.එස්.ඒ් ජයතිලක මහතා, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා, එම කොට්ඨාසයේ ව්‍යාපෘති අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමින්ද රාජපක්ෂ මහතා ඇතුළු ගරුවර, භාරකරුවන් සහභාගී වූහ. ප්‍රසංගය අතරතුර දරු දැරියන් උදෙසා වූ ත්‍යාග හා තිළිණ ප්‍රධානය සිදු කළ අතර ඒ සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ ප්‍රියන්ත  මහතා ප්‍රධානත්වය ගෙන මූල්‍ය අනුග්‍රහය සපයා ඇති අතර  ලංකා බැංකුවද මූල්‍ය අනුග්‍රහය සපයමින් එම කාර්යය මණ්ඩල නිලධාරිනියන් දෙදෙනෙක් ප්‍රසංගය සඳහා එක්වන ලදී.  නිසි රැකවරණයක් නොමැති හෝ පහසුකම් අවම බව තහවුරු වන ග්‍රාම නිලධාරී නිර්දේශයක් සමඟින්  පූර්ව ළමා වියේ පසුවන ඕනෑම ප්‍රදේශයක වෙසෙන දරුවෙක් ඇතුලත් කිරීම සඳහා  බොරැල්ල ගෝතමී මාවත ප්‍රජාශාලාවේ පවත්වන ලක්විදු පෙර  පාසල සතියේ දින පහ තුල විවෘතයි.

Police News - SI

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ රු.376,230,877 , USD 544.66 මුදල් හා දේපළ භාවිතය තහනම්

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් පහත සඳහන් දේපල හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශනය කිරීමෙන් අනතුරුව 2025.12.10 වන දින සිට දින 07 ක කාලයක් එම දේපල හා වත්කම් ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත. රුපියල් 5,400,000/= ක් වටිනා කැබ් රථයක්, රුපියල් 14,500,000/= ක් වටිනා වෑන් රථයක්, රුපියල් 4,566,805.30 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 35,956,514.66 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 12,623,628.81 ක් තැන්පත් කර ඇති ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්,  රුපියල් 19,883,810.23 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 118.31 ක තැන්පතුවක් ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, ඇමරිකානු ඩොලර් 544.66 ක තැන්පතුවක් සහිත  කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක් ( විදේශීය මුදල් ) එම දේපල හා වත්කම්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද පැමිණිල්ලට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනය සිදුකර ඇති අතර මින් පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවක සැකකරු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද  මුදල් රුපියල් 283,300,000/= ( විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක මුදලක්) අධිකරණය භාරයට ගෙන අධිකරණ ගිණුමේ තැන්පත් කර ඇත. ඒ අනුව සම්පූර්ණ මුදල රුපියල් 376,230,877.31 ( තිස් හත් කෝටි හැට දෙලක්ෂ තිස් දාස් අටසිය හැත්තැ හතයි ශත තිස් තුනයි) ක මුදලක් වේ.  මෙවැනි ආකාරයේ අනීතික ලෙස උපයාගන්නා සියළු වත්කම් හා දේපල  ක්‍රියා විරහිත කිරීම සඳහා පොලිස්පතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරයි.

Police News - SI

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපල හා වත්කම් ක්‍රියා විරහිත කිරීම

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් යොමු කරන ලද පැමිණිල්ලට අනුව තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මිලදී ගෙන ඇති දේපල හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර ඇත. එහිදී එම සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති අතර ඒ් අනුව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. සැකකරුගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී ඔහු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද  මුදලින් සැකකරුගේ බිරිඳගේ නමින් පහත සඳහන් දේපල හා වත්කම් උපයාගෙන ඇති බව අනාවරණය වී ඇති අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඇඹිලිපිටිය හා  තංගල්ල මහාධිකරණ මඟින් ලබාගත් එම දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයන් 2025.12.11 වන දින සිට දින 07 කාලයක් සඳහා දීර්ඝ කර ඇත. I. රුපියල් මිලියන 30 ක වටිනාකමින් යුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි බෙහෙත් අලෙවිසැලක්. II. රුපියල් මිලියන 70 ක වටිනාකමින් යුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 39.5 ඉඩමක් හා හෝටලයක් III. රුපියල් මිලියන 15 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමර දෙකකින් යුතු ගොඩනැඟිල්ලක් IV. රුපියල් මිලියන 7.5 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමරයක් සහිත ගොඩනැඟිල්ලක් V. රුපියල් මිලියන 7.5 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමරයක් සහිත ගොඩනැඟිල්ලක් VI. රුපියල් මිලියන 35 ක වටිනාකමින් යුතු කීරවැල් කටුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 25 ක ඉඩම හා දෙමහල් නිවසක් VII. රුපියල් මිලියන 15 ක වටිනාකමින් යුතු පනාමුර පාර, මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පිහිටි ඉඩම හා දෙමහල් ගොඩනැගිල්ලක් එම දේපළ වේ. මෙවැනි ආකාරයේ නීති විරෝධී ලෙස උපයාගන්නා ලද දේපල හා වත්කම් රජය සතුකර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් පවතී. පොලිස්පතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය යටතේ මෙවැනි ආකාරයේ අනීතික ලෙස උපයාගන්නා සියළු වත්කම් හා දේපල  ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරයි.

Police News - SI

ඝාතනයකට ඝාතනයකින් පලිගැනීමට සැලසුම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැළසුම් සකස් කරමින්, කුමන්ත්‍රණය කරමින්, එම වරදට ආධාර අනුබල දෙමින්, නීති විරෝධි අයුතු ජනරාශියක සමාජිකයින් වශයෙන් ක්‍රියා කරන ලද සැකකරුවන් 05 දෙනෙකු 2025.12.10 වන දින උදෑසන දෙහිවල පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී තිබේ. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් ආනාවරණය වූ තොරතුරු මත ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඝාතනය 2025.12.06 වන දින දෙහිවල පොලිස් වසමේ වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය තිබේ. සැකකරුවන් පස් දෙනා අවුරුදු 22 හා 36 යන වයස්වල පසුවන පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව, හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය අත්අඩංගුවට ගත් පංකුලම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් සොයා ගෙන ඇති අතර ඔහු 2025.01.19 වන දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙඩි තබා  ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති අතර එම අපරාධය සම්බන්ධව ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අයෙකු වේ.  තවද සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදුකිරීම සඳහා භාවිතා කිරීමට සුදානම් කර තිබූ යතුරුපැදියක්ද සොයා ගෙන ඇත. එම යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩුවේ ලියාපදිංචිය අනුව හෝමාගම පොලිස් වසමේදී සොරකමකට ලක්වූ යතුරුපැදියක අංකය බවත් අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.  සැකකරුවන් 2025.12.11 වන අද දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Police News - SI

සැකකරුවෙකු හා සැකකාරියක් ජීව පතරොම් හා අපරාධ මගින් උපයාගත් මුදල් බවට සැකකරන අත්අඩංගුවට

2025.12.09 වන දින රාත්‍රී කාලයේ මරදාන පොලිස් වසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 32 ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 25 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරය පරික්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුල සඟවා තිබූ 9mm ජීව පතරොම් 15 ක්ද, සැකකරුගේ ප්‍රකාශ මත කුට්ටිගල පොලිස් වසමේ තුංකම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කර එම නිවසේ අල්මාරියක් තුල සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ සංවිධානාත්මක අපරාධ සිදු කර උපයා ගත් බවට සැකකරන රුපියල් පහලොස් ලක්ෂ තිස්හතර දහසක මුදලක්ද (රු. 1,534,000/=) විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.  මෙම සැකකරු හා සැකකාරිය මේ වන විට රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතීන් බවටද අනාවරණය වී ඇති අතර මොවුන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Wanted - SI

රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර, වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු

වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර, වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර, වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින් දෙදෙනා පුද්ගලයෙකු අතුරුදහන් වීමකට සැකපිට අත්ඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත කීරකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතුරුදහන් පුද්ගලයා මෙම සැකකරුවන් දෙදෙනා සමඟ 2025.10.11 දින සාදයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එදින සිට සැකකරුවන් දෙදෙනාද ඔවුන් පදිංචි ප්‍රදේශයේ නොමැති බැවින් අතුරුදහන් බවට පැමිණිලි වී ඇති පුද්ගලයා පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් දන්වා ඇත. (1) රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර(2) වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු                        ලුණුවිල, දකුණ මිරිසන් කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් ස්ථානාධිපති – ග්‍රෑන්ඩ්පාස් – 071 5891575පොලිස් ස්ථානය – ග්‍රෑන්ඩ්පාස් – 011 2421414

Police News - SI

මන්දාරම් නුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී වාතාවරණය සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම

මන්දාරම්නුවර ප්‍රදේශයේ සහනාධාර බෙදාදීමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වී එම ප්‍රදේශයේ ජනතාව විසින් මන්දාරම්නුවර පොලිසියට විරෝධය එල්ල කරන බවට සඳහන් කරමින් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් සංසරණය වන බව නිරීක්ෂණය වී ඇත. මෙම සිදුවීම සම්බන්ධව ස්ථානාධිපති මන්දාරම්නුවර මඟින් වාර්තාවක් කැඳවීමට කටයුතු කල අතර එම වාර්තාව අනුව පහත කරුණු පැහැදිලි කිරීම සිදු කරමි. පසුගියදා රට තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මන්දාරම්නුවර පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ම නායයාමට ලක් වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සුරක්ෂිත කඳවුරුවල ස්ථානගත කර ඇත. ආපදා තත්ත්වයට පත්වූ මහජනතාවට ලබාදෙන සහනාධාර මහාමාර්ගයේ ප්‍රවාහනය කිරීමට නොහැකි බැවින් ගුවන් යානා මඟින් රැගෙන ඒමට කටයුතු කර ඇත. එසේ රැගෙන එන භාණ්ඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසු  බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇත. ගුවන්යානා ගොඩබෑමේදී එහි ආරක්ෂාව සහ මහජනයාගේ ආරක්ෂාව සඳහා මන්දාරම්නුවර ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති අතර භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා පොලිසිය මැදිහත්වීමක් සිදු නොවුණු බවට ස්ථානාධිපති විසින් වැඩිදුරටත් වාර්තා කර ඇත. 2025.12.07 වන දින මන්දාරම්නුවර පොලිසිය අවට පදිංචි පවුල් 50 ක පමණ පුද්ගලයින් 150 ක 200 ක පමණ පිරිසක් විසින් ගුවන් මඟින් රැගෙන එන ලද ද්‍රව්‍ය ග්‍රාම නිලධාරීන් හට භාරගැනීමට ඉඩ නොදී පාසලක ගබඩා කර ඉබියතුරු දමා ඇත. එහිදී සාමය කඩවීමක් සිදු නොවීමට පොලිස් නිලධාරීන් විසින් කටයුතු කර ඇති අතර, මන්දාරම්නුවර ස්ථානාධිපති විසින් ඒ පිළිබඳව ප්‍රාදේශිය ලේකම්තුමිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.  එහිදී  මන්දාරම්නුවර ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් විසින් තත්ත්වය පාලනය කර පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ආරක්ෂාකාරීව පිටත් කර හැරීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පිරිසක් පොලිසිය අප්‍රසාදයට ලක්වන ආකාරයට කෑ කෝ ගසමින් එම අවස්ථාවන් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදා හැරීමට කටයුතු කර ඇති බවට දන්වා ඇත. මන්දාරම්නුවර ග්‍රාම නිලධාරී කාර්යාලයේ ස්ථාපිත කර ඇති සේවා පියස හා මන්දාරම්නුවර පොලිස්  ස්ථානය එකම භූමියක තේ කම්හලක් ඉදිරිපස කොටසේ පිහිටා ඇති බවත්, මෙම සිද්ධිය සිදු වූ අවස්ථාවේ කළහකාරීව හැසිරුණු පිරිස කිසිඳු අවස්ථාවක පොලිස් ස්ථානයට ඇතුළුවීමක්  සිදු වී නොමැති බවද ස්ථානාධිපති මන්දාරම්නුවර විසින් වාර්තා කර ඇත.  මන්දාරම්නුවර ග්‍රාම නිලධාරී කාර්යාලය හා පොලිස් ස්ථානය එකම භූමියක පිහිටා ඇති බැවින් පොලිස් ස්ථානය මහජනතාව විසින් වැටලූ බවට වැරදි අදහසක් ඇතිවීමට සහ එවැන්නක් හුවා දැක්වීමට මෙවැනි වීඩියෝ මඟින් අවස්ථාව සැලසෙන බව නිරීක්ෂණය වී ඇත. රට තුළ උද්ගත වූ හදිසි ආපදා තත්ත්වය හමුවේ පැය 24 පුරාම මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට මෙන්ම මහජනයාගේ සුබසාධනය උදෙසා කැපවීමෙන් කටයුතු කල සහ මේ වන විටත් එම කටයුතු සිදු කරමින් සිටින ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිරූපය කෙරෙහි වැරදි මතයක් සමාජගතවීමක් මෙමඟින් සිදුවන බව කණාගාටුවෙන් සඳහන් කරමි. ඒ අනුව මෙම නිවැරදි තත්ත්වය පිළිබදව ඔබව දැනුවත් කරමි.

Notable Services - SI

විපතට පත් ජනතාව වෙනුවෙන් කොළඹ මධ්‍යම කොට්ඨාසය ‍ඉටුකළ යුතුකමින් බිඳක්

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 08 හි රාජකාරි නියුතු නිලධාරීන් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රැසකළ වියළි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් 2025.12.02 වන අද දින උදෑසන පොලිස් කැබ් රථ මත පටවා  මධ්‍යම පළාතේ කොත්මලේ ප්‍රදේශයට බෙදා දීම සදහා රත්මලාන ගුවන් හමුඳා කඳවුර වෙත පිටත් කර හරින ලදී. ආපදා තත්වයට මැදිව පීඩාවට පත්ව සිටින අපේම සහෝදර ජනතාවට හැකි උපරිම අයුරින් අස්වැසිල්ලක් වෙමින් රට නැවත ගොඩනැගීම සඳහා ප්‍රමුඛ පෙලේ දායකත්වය ඉදිරියටත් ලබාදීමට කැපවන්නෙමු.

Notable Services - SI

පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ මූලිකත්වයෙන් වෛද්‍ය කදවුරක් සහ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක්.

ජල ගැලීමෙන් විපතට පත් සේදවත්ත ප්‍රදේශයේ ජනතාව රදවා සිටින සේදවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා කදවුරේ සිටින අපේම සහෘද ජනතාව වෙනුවෙන් පවත්වන ලද වෛද්‍ය කදවුරක් අද දින පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ මූලිකත්වයෙන් පැවැත්විණි.  ඒ සදහා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාද සහභාගිවූ අතර පොලිස් රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු සහ හෙද කාර්ය මණ්ඩලයක් මෙම වෛද්‍ය කදවුර සදහා සහභාගි වූහ. මෙහිදී සුරක්ෂා කදවුරේ රදවා සිටි 200 කට ආසන්න අපේම ආදරණීය ජනතාව පරීක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ සෞඛ්‍යමය උපදෙස් ලබාදීමද සිදු කරන ලදී.  මීට සමගාමීව සුරක්ෂා කදවුරේ රැදී සිටින ජනතාව සදහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක්ද පැවති අතර ඒ සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රී දමින්ද, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, නිශාන්ත ද සොයිසා, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂිකා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මදාරා ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී. 

Scroll to Top