Tharindu Withanage – Page 18 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Notable Services - SI

බදුල්ල සහ මහියංගනය ප්‍රදේශ වල විපතට පත් ජනයා වෙනුවෙන් පෙරට ආ කුට්ටිගල ජනතාවට සහය

ගංවතුරෙන් සහ නාය යාම් වලින් විපතට පත් ආදරණීය ජනතාව සදහා කුට්ටිගල පොලිස් නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ  සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එක්රැස් කර ගත් ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් 2025.12.01 වන දින ඇඹිලිපිටිය නගර සභාවේ ස්ථාපිත කර තිබූ භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදීම සිදු කරන ලදී.  මේ සදහා ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුසිත කුමාර මහතා සහ ඇඹිලිපිටිය දිස්ත්‍රික් 1 භාර සහකාර පොලිස් අධිකාරී ඒ.එස් ප්‍රියන්ත මහතා සහභාගි වූ අතර කුට්ටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර රාජපක්ෂ මහතා මෙම සත්ක්‍රියාව සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

Notable Services - SI

අයහපත් කාලගුණය හේතුවෙන් අක්‍රිය වූ දුරකථන කුළුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යමින්

විදුලි බලය ඇණහිටීමෙන් අක්‍රිය වී ඇති දුරකථන කුළුනු යථා තත්වයට පත්කර ගැනීම අවශ්‍ය ජෙනරේටරයක් හා ඩීසල් රැගෙන බල්ලෙකැටුව හා ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් බැල්ලෙකැටුව ප්‍රදේශයෙන් නමුණුකුල කන්ද තරණය කරමින් සිටී. කඳුකර පෙදෙස්හි විපතට පත්වූවන් මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කණ්ඩායම් සඳහා දුරකථන සන්නිවේදනය අත්‍යවශ්‍යය වී ඇති අතර මෙම ප්‍රයත්නය සාර්ථක වූ පසු ඔබටද දුරකථන මාර්ග ඔස්සේ බදුල්ල ප්‍රදේශය අවට ජීවත්වන සමීපතමයන් සම්බන්ධ කරගැනීමේ පහසුව හිමි වනු ඇත.

Notable Services - SI

උතුරු මැද පළාතේ අවතැන් වූ ජනතාවට ආධාර බෙදා දෙමින්

බලාපොරොත්තු පොදිබැඳන් දුක් මහන්සියෙන් කුඹුරු කර නෙලාගත් අස්වැන්නෙන් වී මිටි සහල් ගොඩගැසූ උතුරුමැඳ ජනතාවගේ නිවෙස් බහුතරයක් අයහපත් කාළගුණය ගෙනා ජල කඳේ ගිලී හානියට පත්වී අවසන්. වේදනාව සංසිඳුවීමට අධාර උපකාර කළ යුතු ප්‍රමාණය සිතාගත නොහැකි තරම් වුවත් මේ මොහොත් උතුරු මැඳ ජනතාවගේ කුසගිනි නිවාලීමට දකුනේ පරිත්‍යාශීලී ජනතාව එවූ වියළි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ආධාර පොලිස් ට්‍රක් රථ යොදාගිනිමින් බෙඳාදීමට උතුරුමැඳ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටී. පානීය ජල බෝතලයකට වුවත් නොසෑහෙන වටිනාකමක් ඇති වී ඇති මේ මොහොතේ පරිත්‍යාගශීලීවෙමින් ආධාර උපකාර කිරීමට සහය වන අපේම ජනතාවට ශ්‍රී ලංකා පොලිසියේ හද පිරි ආචාරය !

Notable Services - SI

විපතට පත්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් අඛන්ඩව

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර, නායයෑම් සහ අනෙකුත් ව්‍යසනයන්ගෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදා, විවිධ සහන කණ්ඩායම් සහ අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන්  අඛණ්ඩව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි.  පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සුභසාධන සහාය ලබා දීම සිදු කරයි. Video 1 Video 2 Video 3 Video 4 Video 5 Video 6 Video 7

Notable Services - SI

දිවි රැකගැනීමේ ශිල්පයට පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකය හමුවූ සරසවි සිසුන්

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර තාක්ෂණ පීඨයේ සිසු සිසුවියන්ගේ ඉල්ලීමක් පරිදි පොලිස් නාවික කොට්ඨාසයේ පානදුර ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් උදෙසා සංවිධානය කළ එක් දින ජීවිත ආරක්ෂක වැඩමුළුවක් 2025 නොවැම්බර් 9 වන දිනය පුරා පානදුර වෙරළ ආශ්‍රිතව පැවැත්වුනි. සිසු සිසුවියන් 70 දෙනෙකු පමණ සහභාගී වී සිටි එම වැඩමුළුවේදී දියේ ගිලීමකදී මෙන්ම ජලාශ්‍රිත පරිසරයකදී මුහුණ පෑමට සිදුවිය හැකි අනතුරකින් ජීවිතය බේරාගැනීම සඳහා අනුගමනය කළ හැකි මූලික ක්‍රියාමාර්ග පිළිබඳව අංගසම්පූර්ණ දැනුවත් කිරීමක් ලබාදුුුන් අතර දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් වැඩමුළුව සමන්විත විය. සිසු සිසුවියන් භාරව පරිසර  තාක්ෂණ පීඨයේ  සභාපති මොනාරා වීරකෝන්, එම පීඨයේ උප සභාපති මදුන් ඩිල්හාර යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.  උප පොලිස් පරීක්ෂක නිමල් සිරි, පොලිස් සැරයන් 35491 සුමිත්, පොලිස් සැරයන් 50342 ඥානරත්න, පොලිස් කොස්තාපල් 33628 ලක්මාල්, පොලිස් කොස්තාපල් 101557 ධනුක, පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් විසින් වැඩසටහන මෙහෙයවන ලදී.

Notable Services - SI

“රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව ස්ටිකර

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.30 වන දින උදෑසන සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී  ආරම්භ වූ “රටම එකට” ජාතික මෙහෙයුම සමාජගතකිරීම අරමුණුකරගනිමින් පොලිස්පති නීතිඥ ප්‍රීයන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ත්‍රී රෝද රථ සඳහා එම ස්ටිකර ලබා දීම සිදුකෙරුණි.

Notable Services - SI

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් පසුකළ “TAKE CARE” 50 වන කඩඉම

කොළඹ රථවාහන මූලස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධරයන් සමස්ථ දිවයින ආවරණය වන පරිදි 2025 වර්ෂයේ පවත්වන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් රිය නියාමක දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 50 වන වැඩමුළුව 2025.10.28 වන දින මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්වුනි.  වැඩමුළුව සදහා අවට පාසල් 25 ක සිසු සිසුවියන් 1500 ක් පමණ සහභාගී කරගත් අතර රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් එහිදී රථ හැසිරවීමේදී යොදාගන්නා හස්ත සංඥා පිළිබඳව දැනුම, මාර්ග නීති පිළිබඳව දැනුම සහ මාර්ග ආරක්ෂාව සඳහා පාසල් සිසුන් දැනුවත් විය යුතු දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ලබා දීමට ක්‍රියා කළහ. උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා විසින් ප්‍රධාන දේශනය ඇතුලු ප්‍රයෝගික ක්‍රියාකාරකම් මෙහෙයවින් සිසු සිසුවියන් අතරින් උදෑසන පාසල් ඉදිරිපිට රථවාහන අතරින් සිසුන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීම සඳහා රිය නියාමක සිසුන් 150 දෙනෙකුද තෝරාගන්නා ලදී. මෙවරද ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් (Fairfirst Insurance) පුද්ගලික ආයතනය විසින් දැක්වූ අනුග්‍රහය මගින් රිය නියාමක පැළදුම්, වැඩමුළුවට තවත් පාසල් ද්‍රව්‍ය සිසු සිසුවියන් වෙත පිරිනැමීම සිදුකෙරුනි. රථ වාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ නායකත්වය යට‌තේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතාගේ  අධීක්ෂණය පරිදි මෙම වැඩසටහන තවදුරටත් දීප ව්‍යාප්තව පැවැත්වීමට අරමුණුකර ඇත.

Notable Services - SI

GovPay භාවිතයෙන් උතුරු පළාත තුල රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුව – සමාරම්භක අවස්ථාව.

රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) සහ LankaPay ආයතනය එක්ව හඳුන්වා දුන් “GovPay” ඩිජිටල් ගෙවීම් ක්‍රමය ඔස්සේ රථවාහන දඩ ගෙවීමේ පහසුකම උතුරු පළාත තුල නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අස්ථාව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.28 වන දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි. මෙම අවස්ථාව සඳහා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  තිලක් සී.ඒ් ධනපාල මහතා, වවුනියාව දිසාව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා , කිලිනොච්චි සහ මුලතිව් නියෝජ්‍ය පොලිස්පති ජේ. ඒ. චන්ද්‍රසේන මහතා, යාපනය සහ කංකසන්තුරය නියෝජ්‍ය පොලිස්පති ජී. එච්. මාරපන මහතා සමඟ උතුරු පළාතේ පොලිස් කොට්ඨාශ 6 නියෝජනය කරමින් එම කොට්ඨාස භාර අධ්‍යක්ෂකවරුන්, රථවාහන හැසිරවීමේ රාජකාරි සඳහා අනුයුක්ත පොලිස් නිලධාරීන් 150කට වැඩි සංඛ්‍යාවක් සහභාගී විය. මෙම අවස්ථාවද ඇතුලුව GovPay භාවිතාකිරීමේ තාක්ෂණික දැනුම ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් පසුගිය තෙදින තුල  වවුනියාව සහ කිලිනොච්චිය පොලිස් කොට්ඨාස තුල වැඩමුළු පැවැත්වුනු අතර අවශ්‍ය දුරකථන නිලධාරීන් වෙත ලබාදීමද සිදුවිය. උතුරු පළාත ශ්‍රී ලංකාවේ GovPay මගින් රථවාහන දඩ ගෙවිය හැකි තෙවන පළාතයි. බස්නාහිර සහ දකුණු පළාත තුල මේ වන විටත් Govpay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ සාර්ථකව ක්‍රියාත්මකය. එමගින් GovPay පහසුකම ආරම්භකළ 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා රථ වාහන දඩ මුදල් අයකරගැනීමේ වාර 23,539 ක් වාර්තා වී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 31කට ආසන්න බව LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්නද ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. මේ අනුව උතුරු පළාත තුලදීද Govpay හරහා දඩ මුදල් ගෙවීම සඳහා ඔබට දඩ පත්‍රිකාව ලබාදෙන පොලිස් නිලධාරියාගෙන් උපදෙස් ඉල්ලා සිටි හැකිය. ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවත් දැනුම්දෙන්නෙමු.

Notable Services - SI

සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ දායකත්වය

මෙරට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව නියැලෙන දේශීය ශ්‍රමිකයන්, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු අවස්ථා පිළිබඳව මෙන්ම සේවය ලබන සංචාරකයින් හට යම් අවස්ථාවක ආරක්ෂාව පිළිබඳ ගැටළුකාරී අවස්ථාවක් පැන නැගුනහොත් ඔවුන් විසින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කෙරෙන වැඩමුළු සඳහා පොලිස් නිලධාරීන්ගේ සම්පත් දායකත්වය හිමි වේ. Jetwing Travels පුද්ගලික ආයතනයේ ඇරයුමක් පරිදි පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්.යූ වුට්ලර් මහතා සහභාගී වූ එවැනි දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025.10.28 දින උදෑසන Jetwing Travels පුද්ගලික ආයතනයේදී පැවත්වුනි.  සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධව මෑත කාලයේ වාර්තා වූ සිදුවීම් ඇසුරින් පැහැදිලිකිරීම් සිදුකරමින් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව හරවත් දේශනයක් මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් එහිදී පැවැත්වූ අතර එම ආයතනය යටතේ සේවය සපයන මඟ පෙන්වන්නන්, වාහන සැපයුම් කරුවන්, රියදුරන්, හෝටල් හිමියන්, ආපන ශාලා පවත්වාගෙන යන්නන්, සන්නිවේදකයින් වැනි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු වෘත්තිකයින් හා ශ්‍රමිකයන් පූර්ණ දැනුවත්භාවයක් එමගින් ලබාගත්හ.

Notable Services - SI

විදෙස් කාන්තාකගේ නැති වූ මුදල් පසුම්බිය භාරදීම

අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් 12093 සමන්මලී යන නිලධාරිනියන්, 2025.10.23 වන දින නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේ තිබී ඔවුන්ට හමුවූ මුදල් පසුම්බියක් එහි හිමිකාරිය වන බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් මහත්මියට හරි ආකාරාව භාර දීමට ක්‍රියාකළහ. නිලිධාරිනියන් මුදල් පසුම්බිය හමුවූ අවස්ථාවේදීම අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා මගින් එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුමිත්‍ර ද සිල්වා මහතා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර අධ්‍යක්ෂකවරයා විසින් පසුම්බියේ තිබූ තොරතුරු අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය දැනුවත් කර සබ්‍රිනා කැමරන් මහත්මිය පදිංචි නිවස සොයාගෙන ඇත. ඒ් අනුව අගමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණි සබ්‍රිනා කැමරන් මහත්මියට අධ්‍යක්ෂකවරයා ඉදිරියේ පසුම්බිය සොයාගත් පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ නිලධාරිනිය විසින්ම මුදල් පසුම්බිය භාරදී තිබේ. පසුම්බිය හමුවූ අවස්ථාවේදී එය තුල රුපියල් 6000.00 ක්, ඩොලර් සහ ස්ටාර්ලින් පවුම් යන විදේශ මුදල් තිබී ඇති අතර එම මුළු මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට ආසන්න වේ. අමතරව දේශීය සහ විදේශීය ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක්, ජ්‍යාතන්තර රියදුරු බලපත්‍රය හා හැදුනුම්පත, අත්‍යවශ්‍ය ලියකියවිලි කිහිපයක් තිබී ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ අවංක ක්‍රියා කලාපය සම්බන්ධව සහ පොලිස් නිලධාරීන් වශයෙන් මෙලෙස ක්‍රියාත්මක වීම සම්බන්ධව සබ්‍රිනා කැමරන් මහත්මිය එම අවස්ථාවේ ප්‍රශංසනීයව අදහස් පළකර ඇති අතර බෙහෙවින් ස්තූතිවන්ත වී ඇත.

Scroll to Top