Tharindu Withanage – Page 2 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Special Events - SI

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක මහතා විසින් රචිත “අපරාධ නිවාරණය සහ වින්දිත උපදේශනය” ග්‍රන්ථය පොලිස්පතිතුමා වෙත පිළිගන්වයි

විශේෂ ආරක්ෂක සහ මැතිවරණ භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක මහතා විසින් රචිත අපරාධ නිවාරණය සහ වින්දිත උපදේශනය නැමති ග්‍රන්ථය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පිළිගැන්වීම 2026.06.10 වන අද දින පොලිස් මූලස්ථානයේදී සිදුවිය. එම අවස්ථාවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.  ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක මහතා ශ්‍රී ලංකා පොලිසිය තුල සිටින දක්ෂ ග්‍රන්ථ රචකෙයකු මෙන්ම ගීත නිර්මාණ කරුවෙකුද වෙයි. එතුමා විසින් මීට පෙර 2012 වර්ෂයේදී  “මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම සහ පුනුරුත්ථාපනය” නැමති ග්‍රන්ථය සහ 2023 වර්ෂයේදී  “පොලිස් නිලධාරීන්ගේ රැකියා තෘප්තිය සහ කාර්යක්ෂමතාවය” යන ග්‍රන්ථයද රචනා කරන ලදී. ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් නිර්මාණය කල “මිනිසා නුඹයි”, දළදා වහන්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් නිර්මාණය කරන ලද “ශ්‍රී දළදා” යන ගීතය මෙන්ම තවත් ගීත රැසක පදරචනයටද දිනේෂ් කරුණානායක මහතා දායක වී ඇත. 

Police News - SI

ව්‍යාජ ඩොලර් නෝට්ටු මගින් මුදල් වංචා සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට

පුද්ගලයෙකු සන්තකයේ තිබී ව්‍යාජ ඩොලර් නෝට්ටු හමුවූ සිද්ධියක් සම්බන්ධව විමර්ශන ආරම්භකළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2026.06.08 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ කොටිකාවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු 6300ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වයස අවුරුදු 53 ක් වන මෙම සැකකාරිය සම්බන්ධව අනාවරණය කරගැනීමට හැකි වී ඇති අතර  සැකකාරිය  විසින් වර්තමානයේ පවතින ඩොලර් මුදල් අගයට සාපේක්ෂව අඩු මුදලකට දිවයිනේ සුප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයන් තුලදී විවිධ පුද්ගලයින් වෙත මෙම මුදල් නෝට්ටු අළෙවි කිරීමට තැත්කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.  මුල් අවස්ථාවේදී ව්‍යාජ නොවන ඩොලර් නෝට්ටු කිහිපයක් ගැණුම්කරුවන්ට ලබා දී ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගත් පසු ව්‍යාජ ඩොලර් නෝට්ටු ලබාදීම ආරම්භකර මෙම මුදල් වංචාව සිදුකරගෙන ගොස් ඇත.  සැකකාරිය වයස අවුරුදු 53 ක් වන කොටිකාවත්ත ප්‍රදේශයෙහිම පදිංචිකාරියකි.  මෙම මුදල් වංචාව සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් තවදුරටත් විමර්ශන සිදුකරයි.

Police News - SI

ව්‍යාජ ලේඛණ සකස් කල සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

2026.06.05 වන අද දින උදෑසන කාලයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාලව බොරැල්ල පොලිස් වසමේ එන්.එම්.පෙරේරා මාවත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර ඇත. එහිදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත් ඇති මුල් ගොනු 02ක්, ඉඩම් වලට අදාලව සකස් කරන ලද ව්‍යාජ ලිපි ලේඛණ, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 04 ක්, ව්‍යාජව සකස් කරන ලද නිල මුද්‍රා 600 ක්, ව්‍යාජ ලේඛණ සකස් කිරීම සඳහා යොදා ගත් විද්‍යුත් උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවද මෙම අපරාධයන් සඳහා යොදා ගත් බවට සැකකරන  කාර් රථයක්, යතුරුපැදියක් හා මුදල් රුපියල් ලක්ෂ 15ක් ඇතුළු දේපල රැසක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙල්කඳ ප්‍රදේශයේදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 54, 55 හා 59 වයස්වල පසුවන බොරැල්ල, දික්වැල්ල හා හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Police News - SI

දෙමටගොඩ ප්‍රදේශයෙන් ගිනි අවි 19 ක්, ටී-56 උණ්ඩ 19 ක් අත්අඩංගුවට ගත් විමර්ශනය

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය සති දෙකක පමණ කාලයක්  කොළඹ නගරය අවට සිදුකළ දීර්ඝ උපායශීලී විමර්ශනයක් මගින් 2026.06.03 වන දින දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී-කටස් ගිනි අවි 19 ක්, ටී-56 උණ්ඩ 19 ක්, අයිස් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක්, ප්‍රිගැබ්ලින් මත්පෙති 100400 ක් සොයාගෙන පොලිස් භාරයට ගත්හ. මෙම තොගය සොයාගැනීම සඳහා 2026.05.12 වන දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 150 ක් හා හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 200 ක් සමඟ රාගම ප්‍රදේශයේ පදංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවීම  සහ 2026.05.18 දින අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 568 මිලිග්‍රෑම් 100 ක ප්‍රමාණයක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවීම පාදක වී ඇත. එම වැටලීම් මගින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී 2026.05.22 වන දින සැකකරුවෙකු නොමැතිව දෙමටගොඩ ශ්‍රී ධර්මාරාම මාවතේදී අයිස් කිලෝග්‍රෑම් 45 ග්‍රෑම් 867 ක් හා කේරල ගංජා කිලෝග්‍රෑම් 07 ග්‍රෑම් 325ක් පොලිස් පොලිස් භාරයට ගැනීමට හැකිවිය. අනතුරුව මෙම ‌තොගය සමඟ ජාවාරමේ යෙදී සිටි සැකකරුද අඛන්ඩ පොලිස් විමර්ශන මගින් අනාවරණය කරගැනීමටත් සැකකරු කාන්තාව සමඟ නෙලුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමටත් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සමත් විය.  එම සැකකරු මගින් මත්ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන ආවේ මාතර ප්‍රදේශයෙන් බව අනාවරණය කරගත් පසු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාතර සුල්තානාගොඩ ප්‍රදේශයට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට ගත්හ. සැකකාරිය මගින් මාතර ප්‍රදේශයට මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 300ක ප්‍රමාණයක්  සන්තකයේ තබාගැනීමේ වරදට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය-මාතර ඒ්කකයේ අත්අඩංගුවට පත්වී බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. අවසන් වශයෙන් නැවතත් මාතර ප්‍රදේශයෙන් කොළඹට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය සඟවා තැබූ ස්ථාන පිළිබඳව නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් විමසීමේදී අනාවරණය වූ තොරතුරක් අනුවයි විමර්ශක නිලධාරීන්ට මෙම  ටීටී-කටස් ගිනි අවි 19 ක්, ටී-56 උණ්ඩ 19 ක්, අයිස් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක්, ප්‍රිගැබ්ලින් මත්පෙති 100400 ක් සොයාගැනීමට හැකිවී තිබේ.  බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දින 14කට ආසන්න කාලයක්  සූක්ෂමව අනාවරණය කරගත් තොරතුරු විශ්ලේෂණයට ලක්කිරීමෙන් හා විමර්ශනය සඳහා රෑ දිවා සිදුකළ කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවි තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව සඳහන් කළ යුතු අතර අවි සහ මත්ද්‍රව්‍ය තොග වශයෙන් සඟවාතබන, ප්‍රවාහනය කරන මෙම සැකකරුවන් හා සම්බන්ධ අයවළුන් සොයා තවදුරටත් විමර්ශනය ක්‍රීයාත්මකයි.

Notable Services - SI

රටම එකට “ඉවත්වෙනු” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව නිකවැරටිය පොලිස් කොට්ඨාශය විසින් ගුරු,විදුහල්පතිවරුන් දැනුවත්කළ හමුවක්

මත්ද්‍රව්‍ය භාවිතයට සිසු දරුවන් ඇතුළු සමාජය නැඹුරුවීමෙන් වළක්වාගැනීම සඳහා නිකවැරටිය පොලිස් කොට්ඨාසය සංවිධානය කළ දැනුවත් කිරීමේ හමුවක් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අචාර්ය නීතීඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.06.02 දින මහව විජයබා ජාතික පාසලේ සයිමන් නවගත්තේගම ශ්‍රවනාගාරයේ දී පැවැත්වුනි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොහොලානේගෙදර මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වමින් දැනුවත් කිරීමේ හමුව සඳහා කැඳවා තිබූ නිකවැරටිය හා මහව අධ්‍යාපන කළාප වල අධ්‍යාපන බලධාරීන් හා පාසල් විදුහල්පතිවරුන් පවතින තත්වය හා වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තරව දැනුවත් කරන ලදී. එමෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරිය කුරුණෑගල දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරිණී එම්.කාංචනා සුභසිංහ මිය විසින්ද දේශණයක් පවත්වා ළමුන් සම්බන්ධව අවධානය යොමුකළ යුතු නිසි පියවර සම්බන්ධයෙන් එහිදී හරවත් දේශනයක් පැවැත්විය.   මෙම අවස්ථාව සදහා  කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා, නිකවැරටිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ මහතා, මහව දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරි සමීර රාජපක්ෂ මහතා ඇතුළු නිකවැරටිය කොට්ඨාශයේ පොලිස් ස්ථාන 16 හි ස්ථානාධිපතිවරුන් ද, වයඹ පළාත් අතිරේඛ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ඒ.එම්.ඩී. වෑදණ්ඩ මහත්මිය, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිකවැරටිය ලක්ෂමන් හපුආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.

Special Events - SI

අනාගත ලෝකයට ගැලපෙන පිරිදි පොලිස් බලකාය පුහුණුකිරීම සඳහා අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතනය වැඩිදියුණු කිරීමට පියවර

නූූතන තාක්ෂණය සමඟ මෙන්ම ගෝලීයකරණය තුළ ශ්‍රීඝ්‍රයෙන් වෙනස්වන සමාජ වටපිටාවන්ට ගැලපෙන පරිදි පොලිස් රාජකාරි ඉටුකිරීම සඳහා සෑම පොලිස් නිලධරයෙකුම දැනුමෙන් සපිරි යාවත්කාලීන පුරවැසියෙකු වීම අනිවාර්ය වේ. එවැනි අපේක්ෂාවන් සඵල කර ගැනීම සඳහා සේවයේ යෙදීසිටින නිලධාරීන් හට විවිධ පුහුණු පාඨමාලා  ලබාදෙමින් දැනුමෙන් සන්නද්ධකිරීම සඳහා අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මේ වන විටත් විශිෂ්ඨ අන්දමින් ක්‍රියාත්මකයි. ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමඟ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා හා පොලිස්පති නීතිඥ ප‍්‍රියන්ත වීරසූරිය මහතා ඇතුලූ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් තවදුරටත් අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතනය වෙනුවෙන් කළයුතු වැඩිදියුණුකිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා 2026.06.05 වන දින අත්තිඩිය ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ගරු අමාත්‍යතුමන් විසින් මෙහිදී ශ‍්‍රී ලංකා පොලිසිය වෙත අවශ්‍ය ගුණාත්මක වශයෙන් ඉහළ තලයේ විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට මෙහි ඇති ශක්‍යතාවය විමර්ෂණයට උපදෙස් ලබාදී ඇති අතර තොරතුරු තාක්ෂණ පාඨලාවන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමටත්, සිදුවෙමින් පවතින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් උපදෙස් ලබාදෙමින් ප්‍රතිපාදන සඳහා කඩිනම් පියවර ගනිමින් සුවවන බව සඳහන් කර ඇත.

Notable Services - SI

පොලිස් පවුල් සුබසාධක සංගමයේ නවීන උත්සව ශාලාව වෙන්කරගැනීමේ අවස්ථාව ඔබටත් විවෘතයි

අංක 07, ජෝශප් ප්‍රේෂර් පාර, කොළඹ 05 ලිපිනයේ පිහිටි පොලිස් පවුල් සුබසාධක සංගමයේ නවීන උත්සව ශාලාව දැන් ඔබටත් වෙන්කරවා ගත හැකියි. වායුසමනය කළ (A/C) ශාලාවක් වන මෙම උත්සව ශාලාව පළමු පැය 03 සඳහා: රු. 30,000/- ක මුදලකට ලබාගත හැකි අතර අමතර සෑම පැයක් සඳහාම: රු. 5,000/- ක මුදලක් පමණි. ඔබේ පවුලේ උත්සව, ප්‍රියසම්භාෂණ, නිල රැස්වීම් මෙන්ම ගෘහස්ථ ක්‍රීඩා (Indoor Games) සඳහාම ඉතාමත් සුදුසු ස්ථානයක් ලෙස මෙම ශාලාව හැදින්විය හැකි අතර පොලිස් නිලධාරීන්ට මෙන්ම මේ වන විට ඉල්ලීම පරිදි සිවිල් පුරවැසියන්ටද වෙන්කරවාගැනීමේ අවස්ථාව ලබාදී ඇත. අමතර පහසුකම් ලෙස ඔබේ අවශ්‍යතාවය පරිදි සකස් කරගත හැකි මේස සහ පුටු හිමි වේ. ඉඩකඩ ඇති, ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම් (Parking), ඔබේ අවශ්‍යතාවය පරිදි ආහාර පාන ඔබ කැමති තැනකින් සපයා ගැනීමේ  හැකියාවද සහිතයි. ඔබේ උත්සවය ඉහළම ප්‍රමිතියෙන් සහ සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා දිනයක් වෙන් කරවා ගන්න. අමතන්න – 0112 588 877ලිපිනය -අංක 07 ජෝශප් ප්‍රේෂර් පාර,කොළඹ 05

Notable Services - SI

ජගත් පරිසර දිනය වෙනුවෙන් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක්: පැළ 22,000ක් බෙදා හැරේ

ජගත් පරිසර දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති ජාතික පරිසර සතිය නිමිත්තෙන්, දිවයින පුරා පුළුල් රුක් රෝපණ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය කෙරෙන පැළ විසිදෙදහසක් (22,000) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහක දායකත්වය යටතේ ලබා දී ඇති අතර, පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ සම්බන්ධීකරණයෙන් දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස වෙත එම පැළ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ. මෙම රුක් රෝපණ වැඩසටහනට සමගාමීව, පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ සංවිධානයෙන් අද දින (2026.06.05) උදෑසන වැල්ලවත්ත පොලිස් වසමේ, වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්න වෙරළ තීරයේදී විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. පරිසර ආරක්ෂණ හා ප්‍රජා පොලිස් දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. මෙහිදී සංකේතාත්මකව පොල් පැළ රෝපණය කිරීම සිදු කෙරුණු අතර, ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත විවිධ වර්ගයේ පැළ යොමු කිරීමට නියමිතව ඇත. මෙම අවස්ථාව සඳහා පරිසර කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා, පොලිස් පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Special Events - SI

“බුද්ධ රශ්මි” වෙසක් කළාපයේ නිමාව සනිටුහන් කරමින් විථි සංචාරය කළ පොලිසියේ මල් පෙරහැර

කොළඹ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2026.05.30 වන දින ඇරඹුනු දර්ශනීය “බුද්ධ රශ්මි” වෙසක් කළාපය 2026.06.02 වන දින සවස නිමාවට පත්විය. නිමාව සනිටුහන් කරමින් එදින සවස පොලිසිය විසින් ගංගාරාම විහාරස්ථානයේ සිට සීමා මාලකය දක්වා මල් පෙරහැරක් පැවැත්විය.  පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ සංවිධානයෙන් පොලිස් නිලධරයන් 170කට අධික ප්‍රමාණයක් සේසත්, මුතුකුඩ,බෞද්ධ රජ, මල් වට්ටි රැගෙන, හේවිසි කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් සමඟ පෙරහැරේ ගමන් ගත්හ. පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධරයන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධරයන් සහ පොලිස් මූලස්ථානයේ නිලධරයන් පෙරහැරට විශේෂාංග සමගින් සහභාගීත්වය ලබාදුන් අතර අවට පොලිස් ස්ථානවල සහයෝගය හා ආරක්ෂාව යටතේ පෙරහැර දර්ශනීයව අන්දමින් පැවැත්වීමට හැකිවුනි. ‌පෙරහැර අවසානයේ විහාරස්ථානට පැමිණසිටි කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පොලිස්ලතිතුමන් සුහඳ පිළිසඳරක නිරතවූ අතර විහාරස්ථාන පරිශ්‍රය තුළ සංවිධානය කළ බත් දන්සලේ කටයුතු සඳහා සහභාගී විය.

Special Events - SI

පොලිස් නිලධර වෙසක් බැති ගී සුගායනය 2026

පොදු ජන සිත්තුල ආගමානුසාරයෙන් ආකල්පමය වෙනසක් ඇති කිරීම සමාජය වරදින් මුදවාගැනීම සඳහා වැදගත් පියවරක් වන බැවින් ශ්‍රී ලංකා පොලිසිය වන අප වෙසක් පොහෝ දිනය අරමුණුකරගනිමින් පසුගිය දින කිහිපය තුල දිවයින පුරා විවිධ වූ ආගමික වැඩසටහන් පවත්වන  ලදී.  ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරනු ලබන මෙවර වෙසක් උත්සවයට සමගාමීවද පොලිස් මූලස්ථානය පරිශ්‍රයේ උත්කර්ෂවත් බැති ගී සරණියක් පවත්වා එය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ඔබවෙත ගෙන ඒමට කටයුතු සංවිධානය වූයේද එහි එක් ප්‍රධාන පියවරක් වශයෙනි. ඒ් අනුව පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ මනා සංවිධානය යටතේ  මෙවර “වෙසක් බැති ගී සුගායනය- 2026” ,  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා‌ගේ ප්‍රධානත්වයෙන් 2026.06.01 වන දින සවස පොලිස් මූලස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. වැඩමවාවදාල ගරු සංඝරත්නයේ ආශිර්වාද සමඟින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා ආරාධිත ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් සවස 07.00 ට පමණ ඇරඹුනු මෙම බැති ගී සරණිය මියුරු හඩ ඇති පොලිස් නිලධාරීන්ගෙන් හා පොලිස් බටහිර තූර්ය වාදන වෘන්දයේ සංගීතයෙන් පුරා හෝරා 2ක් පුරා රසගැන්වුනි. පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනාංගයන් මෙන්ම ප්‍රවීන ගායකයින් වන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්,  පොලිස් කොස්තාපල් බුද්ධික උෂාන් යන නිලධාරීන් ඇතුළු ගීත ගායනයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ ඉමහත් ප්‍රසිද්ධියක් අත්කරගෙන ඇති නිලධාරීන්ගේ ගීත ගැයුම් මෙහිදී කාගෙත් සිත් අමන්දානන්දයට පත්කිරීමට සමත් විය. පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ සභාපති ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ උපසභාපති ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙන්ම ලේකම් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ උපදෙස් හා සෘජු මෙහෙයවීම යටතේ එලෙස අති සර්ථකව පැවැත්වුනු මෙවර “වෙසක් බැති ගී සුගායනය” පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය, සන්නිවේදන කොට්ඨාසය ඇතුලු පාර්ශව රැසකගේ සහයෝගය ඇතිව Sri Lanka Police නිල Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශනය කරන ලදී.

Scroll to Top