Tharindu Withanage – Page 23 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Police News - SI

ගන්දර කපුගම වෙඩිතැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට

ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඉලක්කකර 2025.08.03 වන උදෑසන ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකළ වෙඩික්කරු සහ වෙඩික්කරු ප්‍රවාහනකළ යතුරුපැදිකරුව මාතර කොට්ඨාස අපරාධ කාර්යංශය 2025.08.24 දින උදෑසන වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සහ ගනේමුල්ල ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. වෙඩිතැබීමෙන් අදාළ ව්‍යාපාරිකයා සුලු තුවාල ලැබීය. වෙඩික්කරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි යුධ හමුදා සේවයෙන් පලාගිය අයෙකු බවත් යතුරුපැදිකරු 28 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර මෙම අපරාධය විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇත. මෙම සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් ලෙස හදුනාගෙන ඇත. ඔවුන්ගේ මඟ පෙන්වීම මත අපරාධය සඳහා දෙවිනුවර ප්‍රදේශයට පැමිණ රැදී සිටි ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4230 ක්, අපරාධය සඳහා ඇඳපැළගත් ඇඳුම් පැළඳුම්, දුරකථනද පොලිස් භාරයට ගෙන ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

Police News - SI

2025 Mr.Universe තරඟාවලියේ මුල්‍පෙළ ජයග්‍රහණ ලැබූ නිලධාරීන්

2025 අගෝස්තු මස 23,24 දෙදින තායිලන්තයේ පැවැත්වුනු 2025 Mr Universe තරඟාවලිය සඳහා සහභාගී වූ පොලිස් සැරයන් 12190 කේ. ඩි . මායාදුන්න නිලධාරියා සහ පොලිස් කොස්තාපල් 89528 ජි. ඩි . වනිගසේකර නිලධාරියා එහිදී ප්‍රථම ස්ථාන ඇතුලුව මුල් පෙළ ජයග්‍රහණ කිහිපයක්ම දිනාගැනීමට සමත්වී ඇත. මායාදුන්න නිලධාරියා විසින් දිනාගත් වයස අවුරැදු 40 සහ 49 අතර තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Master Overall තරගයේ ප්‍රථම ස්ථානය,  70kg – 80kg තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Bodybuilding Overall තරගයේ තෙවන ස්ථානය,   පොලිස් කොස්තාපල්  89528 ජි. ඩි . වනිගසේකර නිලධාරියා විසින් දිනාගත් වයස අවුරැදු 40ට වැඩි physique උස 173cm අඩු තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Fit Modal තරග කාණ්ඩයේ  දෙවන ස්ථානය, උස 173cm ට අඩු විවෘත තරග කාණ්ඩයේ තෙවන ස්ථානය, එම ජයග්‍රහණයි. මාස්ටර් අංශයේ දක්ෂතම ක්‍රිඩකයා හට ලබා දෙන Pro Card එක තමන් සතු කරගැනීමට පොලිස් සැරයන් 12190 කේ. ඩි . මායාදුන්න නිලධාරියා හට එහිදී හැකියාව ලැබීම වඩාත් කැපී පෙනුනු අවස්ථාවක් විය. International fitness and bodybuilding federation විසින් සංවිධානය කර ඇති මෙම තරඟාවලිය සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් 150කට අධික ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇත.

Special Events - SI

පොලිස්පතිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට 2025.08.25 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.   ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු බුද්ධික පියසිරි මහතා විසින් පොලිස්පතිතුමන්ව පිළිගනු ලැබූ අතර අංක 43 වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී. අනතුරුව පොලිස්පතිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් සුහද පිලිසදරක නිරත විය.  එහිදී ගුවන් හමුදාපතිතුමන් විසින් පොලිස්පතිතුමා වෙත සිය සුභාශිංෂණද පල කරන ලද අතර හමුව සිහි ගන්වමින් දෙදෙනා අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය.

Special Events - SI

පොලිස්පතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් හමුවීම

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.25 වන දින උදෑසන ආරක්ෂක අමාත්‍යංශයේදී මෙරට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා හමුවිය. පොලිස්පතිතුමන් පොලිස්පති ධූරයට පත්වූ පසු ආරක්ෂක ලේකම්වරයා නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි. පොලිස්පතිතුමන් එහිදී මෙම හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක් ආරක්ෂක ලේකම්වරයා වෙත පිළිගැන්වූ අතර ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිතුමා වෙත සිය සුභාශිංසන පිරිනැමීය.

Special Events - SI

අභිනව පොලිස්පතිතුමන් අග්‍රාමාත්‍යතුමිය හමුවීම

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.22 වන දින පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හා අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි මහතා හමුවිය. අභිනව පොලිස්පතිතුමන් වෙත අග්‍රාමාත්‍යතුමිය සහ ලේකම්වරයා එහිදී  සුභාශිංශන පිරිනැමූ අතර, පොලිස්පතිතුමන් අග්‍රාමාත්‍යතුමිය වෙත මෙම හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක් පිළිගැන්වීය.

Special Events - SI

අභිනව පොලිස්පතිතුමන්ට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ උත්තමාචාරය

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.22 වන අද දින උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයට පිවිස පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.සමන්ත ද සිල්වා මහතා ඇතුලු මූලස්ථානයේ රාජකාරි නියුතු නිලධරයන් හමුවිය. පොලිස්පතිතුමන් පොලිස්පතිධූරයට පත්වූ පසු පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිල සංචාරයක යෙදුනු ප්‍රථම වාරය මෙම අවස්ථාවයි.  දිවයිනේ ඕනෑම හදිසි අවස්ථාවකට සූදානමින් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කාර්යභාරය ප්‍රමුඛව නීතිය හා සාමය සුරුකීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන පොලිස් විශේෂ කාර්ය බලකායේ හැකියාවන් සහ ශක්තීන් මෙරටට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් අභිමානයක් බව පොලිස්පතිතුමන් එහිදී ප්‍රකාශ කළේය.

Special Events - SI

පහසුකම් සපිරි නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ලක් කොළඹ උතුර කොට්ඨාසයට

නවීන පහසුකම් සහිතව මෝදර පොලිස් ස්ථානය තුල ඉදිකළ කොළඹ උතුර කොට්ඨාස  ළමා හා කාන්තා කාර්යංශයේ නව ගොඩනැගිල්ල 2025.08.21 වන දින දහවල් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. ප්‍රදේශයේ ළමුන්ට සහ කාන්තාවන්ට, තමන්ට ඇතිවූ ගැටළුවක් සම්බන්ධව හෝ මුහුණපෑමට සිදුවූ අපරාධයක් සම්බන්ධව සිය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි සුදුසු වටපිටාව ඇතිකරලීම, ඔවුනට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට සුදුසු රාජකාරි පරිසරය ඇතිකිරීම, මෙලෙස නවීන පහසුකම් සහිතව ක්‍රමවත්ව ළමා හා කාන්තා කාර්යංශය ස්ථාපිත කිරීමේ අරමුණයි. මෙරට ජපන් තානාපති කාර්යාලයේ සෘජු මැදිහත්වීමෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජපන් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය යටතේ දිවයින පුරා මෙම ළමා හා කාන්තා කාර්යංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙම අවස්ථාව සඳහා ජපන් තානාපති කාර්යාලයේ ආර්ථික හා සංවර්ධන සහයෝගිතා අංශයේ පලමු ලේකම් සහ ප්‍රධානී Ohashi kenji මහතා ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී විය. පැමිණිලි ඉදිරිපත්කිරීමට පැමිණෙන මව්වරුන්ට සිය දරුවන්ට මව්කිරි ලබාදීම සඳහා වෙන්කළ ස්ථානයක්, කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට මෙන්ම කාන්තාවන්ට විවේක ගැනීමට වෙන්කල ස්ථාන වැනි පහසුකම් මෙම ගොඩනැගිල්ල තුලද සකස්කර තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී B.A රෝහන් පුෂ්පකුමාර මහතා, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී H.W.I.S මුතුමාල මහත්මිය, ඉදිකිරීම් සහයෝගය ලබාදුන් World Vision ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ධනන් සේනාධිරාජා මහතා ඇතුලුව කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්, නිලධාරීන්ගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමිවිය.

Special Events - SI

මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන්, නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් සහ ලේකම්තුමාගෙන් සුබ පැතුම්

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.20 වන දින පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, එම අමාත්‍යංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිි ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිරත්න මහතා හමුවිය. අමාත්‍යවරුන් දෙපළ සහ ලේකම්වරයා එහිදී නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට පොලිස්පතිධූරයේ රාජකාරි සාර්ථකව ඉටුකිරීම සඳහා සුභාශිංෂන එක්කළ අතර පොලිස්පතිතුමන් ඔවුනට හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක් පිළිගන්වන ලදී.

Special Events - SI

You tube රිදී සන්නාම පුවරුව (Silver Play Button) පොලිස්පතිතුමා වෙත නිල වශයෙන් පිළිගැන්වීම

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පවත්වාගෙන යනු ලබන Sri Lanka Police  නිල යූටියුබ් නාලිකා‍වට ග්‍රාහකයින් (Subcribes) ලක්ෂ‍යේ සීමාව පසුකිරීම වෙනුවෙන් හිමිවන රිදී සන්නාම පුවරුව (Silver Play Button) මෑතකදී හිමිවිය.    එම ජයග්‍රහණය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ එෆ්.යූ වුට්ලර් මහතා සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වෙබ් හා සමාජ මාධ්‍ය අංශයේ අධීක්ෂණ නිලධාරී සහකාර ‍පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා විසින් 2025.08.19 වන අද දින උදෑසන පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමා වෙත නිල වශයෙන් භාර කළහ.  මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ මානුෂීය හා ප්‍රජා සත්කාරක සේවාවන් පිළිබඳව සමාජයේ පැසසුමට ලක්වන ආකාරයේ නිර්මාණාත්මක වීඩියෝවන් මගින් මහජනතාවට තොරතුරු ඉදිරිපත් කිරීමට ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැක්වූ සුවිශේෂි හැකියාව කෙටි කාලයක් තුළ ග්‍රාහකයින් 100,000 ක සීමාව පසුකර යෑම සඳහා උපකාරී වූ බව මෙහිදී පැවසූ පොලිස්පතිතුමන්, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා පොලීසිය සහ මහජනතාව අතර පවතින සබඳතාවය තවදුරටත්  ශක්තිමත් කිරීමට  දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් බව ප්‍රකාශකළේය. නීතිය හා සාමය සුරැකීමේ කාර්යයේදී නිවැරදි තොරතුරු ජනතාව වෙත ආකර්ශනීය ලෙස ගෙන යෑමට මෙම යූටියුබ් නාලිකාව තවදුරටත් ආකර්ශනීය ලෙස පවත්වා‍‍ගෙන යා යුතු බවත් ලොව පුරා ග්‍රාහකයින් ලක්ෂයක් සපුරාලන නිර්මාණශීලී සහ ගුණාත්මක නාලිකා සඳහා ලබා දෙනු ලබන මෙම ගෞරව සම්මානය රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට හිමි කරගැනීමට හැකිවීම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසත්  පොලිස්පතිතුමන් අදහස් දැක්වීය.

Special Events - SI

ශ්‍රී ලංකා පොලිස් ඉතිරිකිරීමේ සංගමයේ 98 වන මහ සභා රැස්වීම

පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික ජීවිතය තුල මුහුණදීමට සිදුවන මූල්‍ය ගැටලුවකදී උපකාරී වීම සදහා 1924 වර්ෂයේදී එවකට පොලිස් අධිකාරීවරයෙකු වූ ජේ.ඩී එයිට්කන් මහතා විසින් ආරම්භ කරන ලද පොලිස් ඉතිරි කිරීමේ සංගමය නිසි ක්‍රමවේදයන් යටතේ අද ලෝකයට ගැලපෙන පරිදි සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. එහි 98 වන වාර්ෂික මහ සභා රැස්වීම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු මස 18 වන දින දහවල් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්වුනි. පොලිස් ඉතිරිකිරීමේ සංගමයේ පාලන කමිටු සභාපති සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, සංගමයේ සාමාජික නිලධරයන් මීට සහභාගී විය. ව්‍යාවස්ථාපිතව සංගමයේ සභාපති ලෙස පත්වන පොලිස්පතිතුමා ඇතුලුව සංගමයේ ප්‍රධාන තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් මෙහිදී පත්කළ අතර නව යෝජනා මෙන්ම අදහස් ඉදිරිපත් කෙරුණි.

Scroll to Top