Tharindu Withanage – Page 4 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Police News - SI

පොලිස් පරීක්ෂක ඩී.බාලේන්ද්‍ර මහතා ඝාතන සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සක්‍රියව කටයුතු කළ පොලිස් පරීක්ෂක ඩී  බාලේන්ද්‍රසිංහ මහතා  නාඳුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් 2023.10.09 වන දින ඝාතනයට ලක්වූයේ ගාල්ල කරාගොඩ ප්‍රදේශයේදී ය. එම ඝාතනය සඳහා වෙඩික්කරු ප්‍රවාහනය කළ යතුරුපැදිකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 2026.05.09 වන දින අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු බව අනාවරණය වී තිබේ වයස අවුරුදු 38 ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී 2026.05.11 වන දින මීටියාගොඩ කිරලගහවෙල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබූ ටී-56 වර්ගයේ ගිනි අවියක් එම ජීව පතරොම් 15 ක් හා පතරොම් ගැබක් සොයාගැනීමටද හැකිවිය.  මේ වන විට රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරු ඩී. බලේන්ද්‍රසිංහ මහතා ඝාතන සිද්ධියේදී මෙම ගිනි අවිය භාවිතා කර තිබේද යන්න සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් තවදුරටත් විමර්ශන සිදුකරයි.

Police News - SI

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත 2026.05.01 දින සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව 2026 මැයි 01 වන දින සිට රක්ෂණ ආයතන මඟින් මුද්‍රිත මෝටර් රථ රක්ෂණ කාඩ්පත වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් (Digital Motor Insurance Cards) නිකුත් කරයි.  ඒ් අනුව පොලිස්පතිතුමා විසින් සියළු පොලිස්ථාන දැනුවත් කරමින් අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී ඇත. මෝටර් රක්ෂණාවරණ පහත ආකාරවලින් මහජනතාව වෙත ලබා දීමට නියමිතයි. • ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card) • මුද්‍රිත සහතිකයක් (රක්ෂණ හිමියාගේ ඉල්ලීම මත පමණක්) • රක්ෂණ සමාගම මඟින් රක්ෂණ හිමියාට ජංගම දුරකථන යෙදුමක් මඟින් (Phone App)  ලබාදෙන ඩිජිටල් රක්ෂණ කාඩ්පත. එමෙන්ම ඩිජිටල් මෝටර් රථ රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට සමගාමීව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය (National Insurance Verification System) හඳුන්වා දී ඇති අතර, එයට පහත සඳහන් ක්‍රම මඟින් ප්‍රවේශ විය හැක. මෙමඟින් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව දන්වා ඇත. i). USSD Code: *1338# ඔස්සේ පහත පියවර අනුගමනය කරන්න. ඕනෑම ජංගම දුරකථන සම්බන්ධතාවක් මඟින් *1338# අංකයට ඇමතීම මගින්, • වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීම. • අදාල රක්ෂණාවරණයේ වත්මන් තත්ත්වය (Active Status) ක්ෂණිකව ලබාගත හැකි බව සඳහන් කර ඇත. ii). SMS: 1338 කෙටි පණිවිඩ සේවාව. • ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මඟින් 1338 වෙත යොමු කල හැක. • එවිට රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව (Active) පවතින්නේ ද යන්න ක්ෂණිකව කෙටි පණිවිඩයක් මඟින් පිළිතුරු ලැබෙනු ඇත. iii). ක්ෂණික දුරකථන අංකය වන 1338 අංකයට ඇමතීම. • ඇමතුම ලබා ගත් පසුව ලැබෙන උපදෙස් අනුව අදාල රක්ෂණ ආයතනය තෝරා ගන්න. • එවිට අදාල රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අංශය වෙත යොමු වේ. • අදාල රක්ෂණ සමාගම වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දෙන්න. • ඔවුන් විසින් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරනු ඇත. *1338# මඟින් සහ කෙටි පණිවිඩ (SMS) ලෙස තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුළත් කිරීමේදී – වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් සමන්විත ඉලක්කම ඇතුළත් කළ යුතුවේ.  වාහන අංකය ඇතුළත් කිරීමේ දී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ (Space) නොතැබිය යුතු වේ. යම් මෝටර් වාහනයක අංකය “ශ්‍රී” වශයෙන් පවතින විට එම අක්ෂරය “SRI” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කිරීමට කටයුතු කල යුතුවේ. උදා: 311-1234, CC-1234, CCC-1234, 1-SRI-1234 ඉහත ක්‍රම මඟින් මෝටර් වාහනයක රක්ෂණය පරීක්ෂා කරන අවස්ථාව වන විට වලංගුව පවතින්නේ ද නැද්ද යන්න ක්ෂණිකව දැන ගත හැකි අතර  කෙටි පණිවිඩ සේවාව මඟින් වඩා පහසුවෙන් මෙම තොරතුරු ලබා ගත හැකිය.  1338 කෙටි දුරකථන අංකයට ලබා ගන්නා ඇමතුම් හෝ කෙටි පණිවිඩ සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොකරන බව දැනුම් දී ඇත. රක්ෂණ සමාගම් මඟින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළ ද තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. ඉදිරියේදී තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම නතර කිරීමට අපේක්ෂා කර ඇති අතර එතෙක් තාවකාලික රක්ෂණ ආවරණ පෙර පරිදි ම වලංගුව පවතින බව තවදුරටත් දන්වා ඇත. 2026 මැයි 01 දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කිරීම සිදු කළ ද මේ දක්වා නිකුත් කර ඇති රක්ෂණ කාඩ්පත් වල වලංගු කාලය නියමිත කාලය අවසන් වනතුරු එලෙසම පවතී. යම් රියදුරෙකු විසින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අවස්ථාවකදී ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ මුද්‍රිත ඡායා පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවක දී, කෙටි දුරකථන අංකය භාවිතයෙන් හෝ කෙටි පණිවිඩ සේවාව  මඟින් එම රක්ෂණයේ වලංගුභාවය තහවුරු කර ගැනීමට හැකියාව පවතියි. 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය ප්‍රකාරව මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම, එහි බලපෑම හෝ වලංගුභාවය අහිමි කළ නොහැක.

Police News - SI

සංවිධානාත්මක අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වන බටුවත්තේ චාමර නම් සැකකරු අත්අඩංගුවට

මෙරට රාජ්‍ය බුද්ධි සේවාව හා අසර්බයිජාන් බුද්ධි සේවාව වන රාජ්‍ය ආරක්‍ෂක සේවාව (State Security Service of Azerbaijan) එක්ව පසුගිය දිනක අසර්බයිජානයේ  සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් ශ්‍රී  ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බටුවත්තේ චාමර යන අනවර්ත නාමයෙන් හදුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.  රාජතාන්ත්‍රික සබඳතා හරහා එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.05.10 දින දිවයිනට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදී සැකකරු වයස අවුරුදු  48 ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. • සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගණේමුල්ල සංජීව, කෙහෙල්බද්දර පද්මේ හා  කමාන්ඩෝ සලින්ත යන අයවලුන් සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවල නිරතවී ඇති බවට අනාවරණය වීම. • 2020.12.06 වන දින සුරාබදු නිලධාරින් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා වාහන 04 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම හා සැකරුවන්  මෙහෙයවීම ඩුබායි සිට මොහු විසින් සිදුකර ඇති බවට අනාවරණය වීම. • 2023.12.31 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය මොහු විසින් මෙහෙයවා ඇති බවට හා එම අපරාධය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සිදුවීමක් මුල්කරගෙන සිදුකර ඇති බවට අනාවරණය වීම.  • 2024.07.25 වන දින  ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවකට හා ත්‍රී රෝද රථ රියැදුරකු වෙඩි තබා ඝාතනය කිරීමේ  සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙම සැකකරු විසින් බවට අනාවරණය වීම.  • 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේදී වීදි මාවත කඳාන ලිපිනයේ පිහිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකුගේ නිවසකට වෙඩි තබා අලාභ කිරීමේ සිදුවීම මෙම සැකකරුගේ අනුගාමිකයින් යොදවා සිදුකර ඇති බවට අනාවරණය වීම. යන චෝදනා හා වැරදි යටතේ මෙම සැකකරුහට පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.

Notable Services - SI

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම අන්තර්ජාතික පර්යේෂණ සමුළුව පිළිබඳව මාධ්‍ය ප්‍රචාරණය අරඹයි

160 වන ජාතික පොලිස් දිනයට සමගාමීව කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කිරීමට නියමිත පළමු අන්තර්ජාතික පර්යේෂණ සමුළුව (NPAIRC-2026) 2026.08.31 වන දින ජාතික පොලිස් අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී සහ 2026.09.01 වන දින කොළඹ හෝටල් පරිශ්‍රයක් තුළ පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කරමින් පවතී. දෙස් විදෙස් රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාල වෙත, අධ්‍යාපන ආයතන වෙත, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දෙස් විදෙස් පොලිස් නිලධාරීන් වෙත මෙම සමුළුවට සහභාගී වී නූතන ලෝකයේ සිදුවන අපරාධ පර්යේෂනාත්මක ඇසින් විග්‍රහ කරමින් විසඳුම් ඉදිරිපත්කිරීමට මේ වනවිටත් ඇරයුම් කර ඇත.   ඒ් අනුව මෙම සමුළුව සඳහා ඉදිරිපත්වීමට පැමිණෙන පිරිස ඉහල නැංවීම සඳහාත්, පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් මගින් මෙම ක්ෂේත්‍රයට නැඹුරු පිරිස් වෙත අවබෝදයක් ලබාදීම සඳහාත්, කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පොලිස් මාධ්‍ය කොට්ඨාසය  ඒ්කාබද්ධව ක්‍රියාත්මක වීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සඳහා 2026.05.11 වන අද දින උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්, එම අභ්‍යාස ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි අතපත්තු මහතා‌ගේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතාගේ, කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අනුරුද්ධි එදිරිසිංහ, මහාචාර්ය අනූෂා එදිරිසිංහ යන මහත්මීන්ගේ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වෙබ් හා සමාජ මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර සාකච්ඡා වූ පරිදි නුදුරු කාල සීමාව තුළ ශ්‍රී ලංකා පොලිස් නිල සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සමුළුව පිළිබඳව නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නෙමු.   (වැඩිදුර විස්තර සඳහා පොලිස් අභ්‍යාස ආයතනයේ නිල වෙබ් අඩවිය –  https://npa.gov.lk/?page_id=3552)

Notable Services - SI

පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ මැදිහත්වීමෙන් අපවිත්‍රව තිබූ කාක දූපත වෙරළතීරය පවිත්‍ර කෙරේ

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපවිත්‍ර වූ මෙරට වෙරළ තීරයන්  පිරිසිදුකරමින් වෙරළ ආශ්‍රිත වැදගත් පරිසර පද්ධතිය රැකගැනීම සඳහා පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය නිරන්තරයෙන් විවිධාකාරයේ වැඩසටහන් සංවිධානය කරයි. ඒ් අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් හා පරිසර ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සහභාගීකරගනිමින් නිරන්තරයෙන් අපවිත්‍රවන මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරය පිරිසිදු කරීමේ වැඩසටහනක් 2026.05.09 වන දින උදෑසන ක්‍රියාවට නැංවුනි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති අතිරේක ලේකම් එස්.ජි.සී සුගීෂ්වර, ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ්.ආර්.එන් රාජපක්ෂ, යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා වෙරළ තීරය සුරැකීමේ කාර්යභාරයේ මෙරට පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ලාභ නොලබන සංවිධානයක් වන Clean Ocean Force සංවිධානය ඇතුළු පුද්ගලික වෙළඳ ආයතන රැසක අනුග්‍රහය යට‌තේ ද්‍රව්‍ය උපකරණ හිමිවිය.  පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ මනෝජ් පෙරේරා, කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඇතුළු ජාත්‍යන්තර පොලිස් සංගමයේ Green IPA ව්‍යාපෘතියේ සහයද සමඟ එම සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ මහ ලේකම් කාන්තා ප්‍රධාන පොලිස් පරික්‍ෂක සුනේත්‍රා සෙනවිරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Notable Services - SI

පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය මගින් පොලිස් නිලධරයන්ට හිමිවන ප්‍රතිලාභ ඉහළ නැංවේ

ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය යනු පොලිස් නිලධරයන්ගේ යහපැවැත්ම හා සුබසාධනය වෙනුවෙන් මූල්‍ය පහසුකම් සලසන අරමුදලයි.  මෙමගින් පොලිස් නිලධාරීන්ට යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම සඳහා මෙන්ම විවිධ රෝගාබාධ හා ශල්‍යකර්මවලදී, අවමංගල්‍ය කටයුත්තකදී අවශ්‍ය මූල්‍ය සහන සලසයි. පෙර පැවති පොලිස් වෛද්‍ය සේවා අරමුදල සහ පොලිස් සුඛ විහරණ අරමුදල ඒකාබද්ධ කරමින් ආරම්භ කරන ලද 2757/2023 පොලිස් සෞඛ්‍ය සුබ සාධක යෝජනා ක්‍රමයෙහි දිමනා සහ ප්‍රතිලාභ වැඩි කිරිමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මෙම නව යෝජනා ක්‍රමය හදුන්වා දී ඇත. මීට අදාළ පොලිස්පති චක්‍රලේඛය 2757/2026 (1) මැයෙන් 2026.03.23 වන දින සියළු පොලිස් කොට්ඨාස වෙත නිකුත්කෙරුණි. සාමාජිකත්වය දරන සියළු පොලිස් නිලධාරීන්ගේ මාසික වැටුපෙන් රුපියල් 150 ක් වැනි සුළු මුදලක් මෙම අරමුදලට බැර වන අතර පොලිස් ත්‍යාග අරමුදලින් මාසිකව රුපියල් මිලියන දහයකට අධික මුදලක් පොලිස්පතිතුමාගේ අනුමැතිය යටතේ පොලිස් සුඛ විහරණ අරමුදලට බැර කෙරේ. යම් නිලධාරියෙකු සේවා කාලය තුලදී උග්‍ර රෝගී තත්වයක්ට පත්වී ජීවිත හානි විය හැකි හෘදය, මොළය,පිළිකා, වකුගඩු, ඇට මිදුළු ශල්‍යකර්ම, අක්මාවේ ශල්‍යකර්මයකට ලක් වුවොත් එම ශල්‍යකර්මය වෙනුවෙන් සහ රෝගී තත්වය වෙනුවෙන් භාවිතාකිරීමට සිදුවන ඖෂධ හා එන්නත් සඳහා වියදම සේවා කාලය තුළදී උපරිමය රු. 2,000,000 ක (ලක්ෂ 20) මුදලක් දක්වා ගෙවීම මෙමගින් නිලධාරියෙකුට ලබාගත හැකි ඉහළම ප්‍රතිලාභයයි. එවැනි රෝගී තත්වයකට නිලධාරියෙකු ජාතික රක්ෂණ භාර අරමුදලේ රන් යෝජනා ක්‍රමයෙන්/ ජනාධිපති අරමුදලෙන්/ වෙනත් අරමුදකින්/ වෙනත් රක්ෂණ ක්‍රමයකින් ප්‍රතිලාභ ලබාගෙන, එහෙත් ප්‍රතිකාර සඳහා වියදම පියවාගත නොහැකිනම් ආවරණය නොවූ මූල්‍ය ශේෂය රු. 2,000,000 ක (ලක්ෂ 20) මුදලට යටත්ව පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය මගින් ලබාගෙන ගෙවීමට හැකිවීම මෙහි විශේෂත්වයකි. එ‍ම ශල්‍යකර්මය සඳහා නැවත මුදල් ගෙවීමට සිදුවුවත් මෙම ක්‍රමවේදය යටතේ උපරිමය රුපියල් ලක්ෂ 20 ක මුදලක් දක්වා පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය මගින් මුදල් ලබාගැනීමේ හැකියාව පවතී.  එමෙන්ම පෙනහලු, ගර්භාෂය, RF Ablation ශල්‍යකර්ම, ප්‍රාථමික පෙහලු ධමනි, අගන්‍යාශයික ප්‍රදාහය, Fulminant Hepatitis (FH), Multiple Sclerosis(MS) රෝග සඳහා සිදුකරන ශල්‍යකර්ම, කොඳුඇටපෙළ ශල්‍යකර්ම, අවයව බද්ධ කිරීම යන ශල්‍යකර්ම නිලධරයෙකුට හදිසියේ සිදුකිරීමට සිදුවුවොත් එම එක් එක් අවස්ථාවන් සඳහා රුපියල් 500,000 (ලක්ෂ 5 ) උපරිමය යටතේ ගෙවීම සිදුකරයි.  ජාතික රක්ෂණ භාර අරමුදලේ රන් යෝජනා ක්‍රමයෙන්/ ජනාධිපති අරමුදලෙන්/ වෙනත් අරමුදලකින්/ වෙනත් රක්ෂණ ක්‍රමයකින් ප්‍රතිලාභ ලබාගෙන, එහෙත් ප්‍රතිකාර සඳහා වියදම පියවාගත නොහැකිනම් මෙම ලක්ෂ 5 ක උපරිම මුදල ලබාගෙන හිඟ මුදල ප්‍රතිපූර්ණය කරගැනීමේ අවස්ථාව සලසා තිබේ. එ‍ම ශල්‍යකර්මය සඳහා නැවත මුදල් ගෙවීමට සිදුවුවද මෙම ක්‍රමවේදය යටතේ උපරිමය රුපියල් 500,000 (ලක්ෂ 5 ) මුදලක් දක්වා පොලිස් සෞඛ්‍ය සහ සුඛ විහරණ යෝජනා ක්‍රමය මගින් මුදල් ලබාගැනීමේ හැකියාව පවතී.  මීට අමතරව *සියලුම අංශභාග රෝගී තත්වයන් සඳහා රු.100,000 (ලක්ෂයක්) ගෙවීම  *පොලිස් රෝහලේ සිදුකරදීමට පහසුකම් නොමැති, රජයේ රෝහලක පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් රැදී සිටීමට සිදුවන අත්‍යවශ්‍ය ශල්‍යකර්ම වන දණහිස්, ශ්‍රෝණි මේඛලා, අත හෝ පාදයේ අස්ථි බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් 250,000/= (දෙලක්ෂ පනස්දහසක්) දෙවතාවක් පමණක් ගෙවීම. *සක්‍රිය සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු හට ශ්‍රවණාබාධයක් ඇතිවුවොත් වෛද්‍ය නිර්දේශය පරිදි කෘතිම අවයව වෙනුවෙන් ‌ නිලධාරියා දැරූ පිරිවැය රුපියල් 50,000/= ක උපරිමයකට යටත්ව ප්‍රතිපූර්ණය කිරීම. *රජයේ රෝහලක හෝ පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාරලබමින් සිටින නිලධරයෙකුට MRI /   Angiogram/ CT Scan / PET Scan / Eco පරීක්ෂණ පිරිවැය නිලධාරියාගේ ස්වකීය මුදලින් පුද්ගලික පරීක්ෂණාගාර මගින් සිදුකරගැනීමට සිදුවුවහොත් රුපියල් 20,000/= ක උපරිමයකට යටත්ව අවස්ථා 03කදී පමණක් ප්‍රතිපූර්ණය කිරීම.  *සක්‍රිය සේවයේ නිලධාරියෙකු වකුගඩු රෝගී තත්වයකදී රජයේ අනුමත පුද්ගලික රෝහලකින් රුධිර කාන්දුකරණයන් (Dialysis) සඳහා වියදම් කිරීමට සිදුවුවහොත් තුන්වරකදී පමණක් රුපියල් 2,000,000 ක උපරිමයකට යටත්ව වියදම ප්‍රතිපූර්ණය කිරීම. *ඉහත සඳහන් සැත්කම් නොවන සැත්කමට ලක් වී රෝගියාට රජයේ රෝහලකින් ඖෂධ සැපයීම සිදු නොකරන්නේ නම් වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි වසර 3 ක කාලයක් මාසිකව රුපියල් 25,000 ක උපරිමයට යටත්ව පොලිස් රෝහල මගින් ඖෂධ මිලීදී ගෙන ලබාදෙනු ඇත. *වයස අවුරුදු 40 ට වැඩි සාමාජික නිලධරයන්ගේ ඇස්වල පෙනීම දුර්වල වූ විට ඇස් කණ්ණාඩි මිලදී ගැනීම සදහා වැය වූ මුදල ප්‍රතිපූර්ණය සඳහා රුපියල් 15000/= ක උපරිමයකට යටත්ව මුදල් ගෙවීම. වැනි ප්‍රතිලාභ රැසක හිමිකරුවන් වීමට පොලිස් සෞඛ්‍ය හා සුඛ විහරණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පොලිස් නිලධරයන්ට අවස්ථාව උදාකර ඇති අතර පොලිස්පති චක්‍රලේඛය 2757/2026 පරිශීලනය කිරීම මගින් මේ සම්බන්වද පූර්ණ අවබෝදයක් ලබාගත හැකි බව දන්වා සිටින්නෙමු.

Special Events - SI

බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් විවෘතයි

අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර, සැමට බියකින් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ යටතේ, සහස්පුර නව පොලිස් ස්ථානය අද දින (2026 මැයි 08) උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහභාගී වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ  පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ප්‍රදේශයේ නීතිය හා සාමය තහවුරු කරමින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසීම, නවීන තාක්ෂණය හා ප්‍රජා පොලිස් සංකල්පය ඔස්සේ අපරාධ පාලනය කිරීමට නව පොලිස් ස්ථානය මූලිකත්වය ගනු ඇත. එමෙන්ම ප්‍රදේශවාසීන්ට ඉතා පහසුවෙන් සහ කඩිනමින් පොලිස් සේවාවන් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.

Special Events - SI

මහජන ආරක්ෂාව සම්බන්ධව වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි.

වියට්නාම ජනාධිපතිතුමාගේ මෙරට නිල සංචාරයට සමගාමීව වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍ය Luong Tam Quang මහතා හා මෙරට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා අතර දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය නව ක්ෂේත්‍ර කිහිපයකින් වර්ධනය වන අවබෝධතා ගිවිසුමක් 2026.05.08 දින උදෑසන පොලිස් මුලස්ථානයේදී අත්සන් කෙරුණි. මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගිවිසුම ප්‍රකාරව සයිබර් අපරාධ,මිනිස් වෙළඳාම වැනි  සංවිධානාත්මකව සිදුවන අපරාධ වලක්වාගැනීමට හා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධව ක්‍රියකිරීමේදී, තොරතුරු හුවමාරුකරගැනීමේදී මෙන්ම පොලිස් නිලධාරීන් වෙනුවෙන් පුහුණු අවස්ථා ඇතිකිරීම සඳහා අවශ්‍ය සහයෝගය පිලිබඳව ඵලදායී වූ සාකච්ඡා පැවැත්වුනි. මෙම විශේෂ අවස්ථාව සිහිගන්වමින් පොලිස්පතිතුමා, කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලය, නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා සහ විදෙස් දූත පිරිස අතර සමරු සිහිවටන හුවමාරුවිය.

Uncategorized

වියට්නාම් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ රථවාහන සැලැස්ම

වියට්නාම් ගරු ජනාධිපතිතුමා 2026.05.07 වන අද දින සිට 2026.05.08 දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා පොලිසිය විසින් එම සංචාරක කාලසීමාව තුල කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  ජනාධිපතිවරයා 2026.05.07 වන දින රාත්‍රී කාලයේ කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ‌හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ශාන්ත මයිකල් පාර හන්දිය, ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, යෝර්ක් වීදිය ඔස්සේ පැමිණීමට නියමිතව ඇත. ගමනාගමනය සීමා කිරීම ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමට පැය 02 කට පෙර සිට ඉහත ගමන් මාර්ගයට බරවාහන ඇතුළු නොකරන අතර ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු ගමන් මාර්ගයට සියළුම වාහන ඇතුළුවීම සීමා කරනු ලැබේ.    විකල්ප මාර්ග – නුවර පාරෙන් කොළඹට ඇතුළුවන සැහැල්ලු වාහන   කැලණි පාලමෙන් කොළඹට ඇතුළු වී ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක පාරෙන් දකුණට හැරී ඉඟුරුකඩේ හන්දිය දක්වා ගමන් කර, වමට හැරී වේල්ස් කුමාර මාවත, ආමර් බාබර් වීදිය හන්දියෙන් වමට හැරී පංචිකාවත්ත වටරවුම, මරදාන පාලම් හන්දියෙන් වමට හැරී මරදාන පාර ඔස්සේ බොරැල්ල දක්වා ගමන් කර ප්‍රභූ රථ පෙළට අවහිරයක් නොවන ‌අන්දමින් අවස්ථානුකුලව බොරැල්ල හන්දියෙන් ‌කොටා පාරට ඇතුල්විය  හැකිය.  ගාලු පාර, හයිලෙවල් පාර සහ බේස්ලයින් ‌පාර ඔස්සේ කොළඹට ඇතුළුවන වාහන   බොරැල්ල කනත්ත වටරවුම, පරණ බුලර්ස් පාර, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය, පරණ පාර, ඔබේසේකරපුර හන්දිය, කොලොන්නාව, වැල්ලම්පිටිය, අංගොඩ හන්දිය, කැලණිමුල්ල, කැලණිය හරහා නුවර පාරට හෝ මීගමුව පාරට ගමන් කළ හැකිය. කොළඹ කොටුව, පිටකොටුව දෙස සිට මීගමුව පාරට, නුවර පාරට සහ අවිස්සාවේල්ල පාරට ගමන් ගන්නා වාහන  ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල හන්දිය, පංචිකාවත්ත වටරවුම, ආමර් වීදිය හන්දිය, ආමර් බාබර් වීදිය හන්දිය, වේල්ස් කුමාර මාවත හන්දිය, ඉඟුරුකඩේ හන්දිය, තොටළග හන්දිය, නවලෝක හන්දිය, නවලෝක වටරවුම, මීගමුව පාරට හෝ අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන නුවර පාර හතරේ කණුව හන්දියෙන් දකුණට හැරී කැලණිය – බියගම මාර්ගයේ ගමන් කර බණ්ඩාරවත්ත හන්දියෙන් දකුණට හැරී කඩුවෙල හන්දියට ගමන් කර වමට හැරී අවිස්සාවේල්ල දෙසට ගමන් කළ හැකි අතර, මීට අමතරව රෙක්මලේෂන් පාර ඔස්සේද කොළඹින් පිටවිය හැකිය. කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය දෙස සිට ගාලු පාරට හයිලෙවල් පාරට 120 මාර්ගයට ගමන් කරන වාහන  ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නන්ගර මාවත ඔස්සේ ගමන් කර ප්‍රභු රථ පෙළට බාධාවක් නොවන පරිදි අවස්ථානුකුලව හරහා යාමට අවස්ථාව ලබා දෙන අතර, ඒ අනුව කන්නන්ගර මාවතින් පැමිණ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත ඔස්සේ තුම්මුල්ල දක්වා ගමන් කර පිටවිය හැක. 2026.05.08 දින උදෑසන ප්‍රභූවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම.  එම කාලය තුල එන්.එස්.ඒ.වටරවුම, ගාලු මැද පාර, බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්‌යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුළු වීම ප්‍රභුවරයාගේ සංචාරය සිදුවීමට පැය දෙකකට පෙර නැවැත්වීම සිදු කරන අතර, ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු සියළුම වාහන ඇතුළු වීම සීමා කරනු ලැබේ. විකල්ප මාර්ග – කොළඹින් පිටවන සියළුම වාහන   සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, ටෙක්නිකල් හන්දිය ඔස්සේ සංඝරාජ මාවතින්, මාලිගාවත්ත හා ආමර් බාබර් වීදිය ඔස්සේ ද, මරදාන ගාමිණි වටරවුම හා මරදාන පාර ඔස්සේද ගමන් කල හැකි අතර, කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුම, කුමාරරත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, සර් ජේම්ස් පිරිස් මාවත, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය , පුස්තකාල වටරවුමෙන් දකුණට හැරී ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුමෙන් වමට හැරී ආර්.ඒ ද මෙල් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැකිය. ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන  ගාලු මුවදොර වට රවුමෙන් දකුණට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකිය. 2026.05.08 දින උදෑසන ප්‍රභූවරයා මහජන පුස්තකාලය, පාර්ලිමේන්තුව හා ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීම. එම කාලය තුල ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, ධර්මපාල මාවත, රතුකුරුස වටරවුම, හෝටන් වටරවුම, හෝටන් පෙදෙස, ඩී.එස්. හන්දිය, මොඩල්ෆාම් හන්දිය, ආයුර්වේද හන්දිය, ආයුර්වේද වටරවුම, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල්පාර හන්දිය, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර හන්දිය, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ. විකල්ප මාර්‌ග – ගාලු පාර ඔස්සේ කොළඹට ගමන් කරන සියළුම වාහන   ගාලු මුවදොර වටරවුමෙන් දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ බාලදක්ෂ මාවත, නව ගුවන්පාලම හා කොම්පඤ්ඤවීදිය, නවම් මාවත දෙසින් කොම්පඤ්ඤවීදිය හන්දිය හා කොම්පඤ්ඤවීදිය පොලිසිය දෙසට ගමන් කිරීම හා යුනියන් පෙදෙස ඔස්සේ ඉබ්බන්වල හන්දිය, ඩාලි පාර, ගාමිණී වටරවුම ඔස්සේද, රීගල් වටරවුමෙන් වමට හැරී ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේද කොළඹට ඇතුළු විය හැක.  නුවර පාර, අවිස්සාවේල්ල මාර්ගයන් ඔස්සේ ඇතුළු වන සියළුම වාහන බාධාවකින් තොරව ඇතුළුවිය හැකිය. කොළඹින් පිටවන සියළුම වාහන   ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන/බොරැල්ල දෙසට හා ආමර් බාබර් හන්දිය දෙසට හා මාලිගාවත්ත ඔස්සේ බේස්ලයින් මාර්‌ගයට ගමන් කරද ගාමිණී වටරවුම, ඩාලි පාර, කොම්පඤ්ඤවීදිය, මැලේ වීදිය දෙසින් ගමන් කර ගාලු මුවදොර වටරවුම වෙත ගමන් කර කොළඹින් පිටවිය හැක. 2026.05.08 දින දහවල් කාලයේ ජනාධිපති මන්දිරයේ සිට හිල්ටන් හෝටලය වෙත ගමන් කිරීම. එම කාලය තුල ජනාධිපති මාවත, බැංකු මාවත, හිල්ටන් හෝටලය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ. විකල්ප මාර්‌ග – කොළඹ පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන  සෙරමික් හන්දියෙන් ‌වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියළුම වාහන ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම කන්නන්ගර මාවත ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රිඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක. ගාලු පාර, හැව්ලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළුවන ‌වාහන  ලිබර්ටි වට රවුමෙන් වමට හැරී පිත්තල හන්දිය ඔස්සේද, තුන්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත තර්ස්ටන් පාර, ජේ.ඕ.සී. හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝර්ටස් හන්දිය, නෙළුම් පොකුණ හරහා කන්නංගර මාවත ඔස්සේ සොයිසා වටරවුම හරහා ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. 2026.05.08 දින සවස කාලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගමන් කිරීම. එම කාලය තුල යොර්ක් වීදිය, බැංකු මාවත, ජනාධිපති මාවත, එන්.එස්.ඒ.වටරවුම, චෛත්‍ය පාර, වරාය පරිශ්‍රය, අධිවේගී මාර්‌ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතව ඇත. විකල්ප මාර්ග – පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන    සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියළුම වාහන ටෙක්නිකල් වටරවුම ඔස්සේ මරදාන බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නංගර මාවත ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක. ගාලු පාර, හැව්ලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළුවන වාහන   ලිබර්ටි වටරවුමෙන් වමට හැරී පිත්තල හන්දිය ඔස්සේද තුම්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත, තර්ස්ටන් පාර, ජේ.ඕ.සී.

Special Events - SI

විශ්‍රාමිික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විචිත්‍රවත් අවුරුදු උත්සවය

මෑත අවුරුදු කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබූ නිලධාරීන් යනු තිස් වසරක යුද සමයද ඇතුලුව මෙරට මුහුණදුන් අභියෝගාත්මක කාලසීමාවේ රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා පොලිසියේ භාරදූර්ය කාර්යයන් ඉටුකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමූහයකි. ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලතල දැරූ එවැනි විශ්‍රාමික පොලිස් නිලධරයන් පිරිසක් වෙනුවෙන් විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් පසුගියදා කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නය ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්‍රාමික ‌‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම් රවී සෙනෙවිරත්න මහතා‌  සහභාගී වූ අතර පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතාද විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් මෙම අවස්ථාවට එක්විිය. විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලක්ෂ්මන් බණ්ඩාර මහාතා ඇතුළු එම සංගමය විසින් මෙහිදී විනෝද ක්‍රීඩා,  ජන ක්‍රීඩා රැසක් සමඟ කැවිලි මේසයක් මැනවින් සංවිධානය කර තිබූ අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එකිනෙකා හමුවූ සුහඳ හමුවක් ලෙසද ඔවුන්ට මෙම උත්සවය ඉතා වින්දනාත්මක අවස්ථාවක් විය.

Scroll to Top