Tharindu Withanage – Page 6 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Police News - SI

සොරෙකු ඔබේ නිවසට ගෘහ සේවකයෙකු ලෙස ඇතුල්විය හැකියි !

මිරිහාන,මහරගම,දෙහිවල, ගල්කිස්ස  වැනි කොළඹට ආසන්න තදාසන්න ප්‍රදේශවල නිවෙස් හිමියන් ගෘහ සේවය සඳහා මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා සේවක සේවිකාවන් සොයා ගැනීම බොහෝ විට නියෝජිත ආයතන මගින් හෝ තැරැව්කරුවන් මගින් සිදුකරගනී. ඇතැම් අවස්ථාවල එම සේවකයින් අදාල නිවසේ හිමිකරුවන්ගේ මුදල්, රන් ආභරණ, දේපල හා විදේශීය මුදල් ඇතුළු වටිනා දේ සොරකම් කර පළා ගිය අවස්ථා අවස්ථා පිළිබඳව වාර්තා වන බැවින් යම් අයෙකු සේවකයෙකු ලෙස බඳවා ගන්නේ නම් පහත සඳහන් මගපෙන්වීම් සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව දැනුම් දෙන්නෙමු. * සේවයට බඳවා ගැනීමට පෙර ඔහුගේ හෝ ඇයගේ පසුබිම පරීක්ෂා කරන්න. * ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාරූප පිටපතක් ලබාගෙන එහි මුල් පිටපත පරීක්ෂා කර සත්‍ය  පිටපතක් බව තහවුරු කර ගැනීම. * ස්ථිර හා තාවකාලික පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ඔහු හෝ ඇය සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා ගන්න. * පවුලේ සාමාජිකයන්ගේ දුරකථන අංක ඉල්ලාගෙන තහවුරු කරගන්න. * නිවසේ රන් ආභරණ, මුදල් සහ වටිනා ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක සඟවා තබාගන්න.  

Police News - SI

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 344 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 688 ක් ප්‍රවාහනය අතරතුර අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරට අනුයුක්ත විශේෂ මෙහෙයුම් ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.03.10 වන දින සවස නිට්ටඹුව පොලිස් වසමේ මීඅබේවත්ත පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 344 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ගෑම් 688 ක් යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකුගේ හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධව බන්ධනාගාරගතකර සිටින්නෙකුගේ අනුගාමිකයින් ලෙස මොවුන් හඳුනාගෙන ඇති අතර තවදුරටත් විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

Police News - SI

කැබිලිත්ත රක්ෂිතයේ ගංජා අක්කර 02 ක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් ස්ථානය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය 2026.03.09 වන දින උදෑසන ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල රක්ෂිත ප්‍රදේශයේ අක්කර 02 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා වගාවක් වැටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අඩි 06 ක් පමණ උසට වැඩී තිබූ ගංජා ගස් 55220 ක ප්‍රමාණයක් භූමි ප්‍රමාණයේ වගාකර තිබී ඇති අතර වගාව ගිණිතබා විනාශ කිරීමට පියවර ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 34 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඇතිමලේ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Police News - SI

දඹුල්ල හබරණ මාර්ගයේ ලොජ් හන්දිය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 46 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හබරණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2025.03.07 වන දින දඹුල්ල මාර්ගයේ ලොජ් හංදිය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 46 මිලි ග්‍රැම්ස් 200 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙක් වයස අවුරුදු 27 ක් වන බකමූණ යාය 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම්ස් 35 මිලි ග්‍රැම්ස් 100 ක් තිබී ඇත. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වයස අවුරුදු 24 ක් වන පලුගස්වැව හබඳිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සන්තකයේ තිබී ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 100 කි. මෙම සැකකරුවන් දෙදෙනා හබරන පොලිස් ස්ථානයේ දින 05 ක රදවා ගැනිමේ නියෝග මත රඳවා ගෙන ජාවරමට සම්බන්ධ අනෙකුත් සැතකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  විමර්ශන සිදුකරයි.

Police News - SI

2026.01.16 ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී 2026 ජනවාරි 16 දින  පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් පරිදි කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ හා කොළඹ මධ්‍යම දිස්ත්‍රික් 1 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඩී ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කරනු ලැබුවේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගිනි.   එම විමර්ශන වල ප්‍රථිපලයක් ලෙස අපරාධය සිදු කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවෙකු උඩවලව ප්‍රදේශයේ  සිටින බවට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද සාර්ථක තොරතුරක් මත එම සැකකරු 2026.03.09 දින උඩවලට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.  ඔහු වයස අවුරුදු 26ක් වන මිරිස්යාය, කොළඹගේආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදුකිරීමේදී සැකකරු භාවිතා කර ඇති ජංගම දුරකතන 02ක් ඇතුළු දේපළ ද, විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු සමඟ එම නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලිස් ස්ථානයට භාරදී ඇත.  මෙම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි අනෙක් වෙඩික්කරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් 2026.03.03 දින දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 830 ක් සමඟ අත්අඩංගුවට ගත් අතර එම සැකකරු අද දින මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.  

Special Events - SI

මහජන චීන ජනරජයේ ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍යතුමා හා පොලිස්පතිතුමන් හමුවේ

චීන ජනරජය හා ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවයන් වෙනුවෙන් ද්විපාර්ශික සාකච්ඡා සඳහා මෙරටට පැමිණි මහජන චීන ජනරජයේ ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ඇතුළු චීන ජනරජයේ නියෝජිත පරිසක් 2026.03.14 වන දින පොලිස් මූලස්ථානයේදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවිය. එහිදී සංවිධානාත්මක අපරාධ, මිනිස් ජාවාරම්, සයිබර් අපරාධ, ආදී දෙරටෙහි මහජන ආරක්ෂාවට තර්ජනයක් වන ක‍්‍රියාකාරකම් වැළක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව හා නව තාක්ෂණය භාවිතයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී ඇත. මෙදින Zhang Yong මහතා ඇතුළු දූත පිරිස හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවත්වුනු ද්විපාර්ශික සාකච්ඡා සඳහාද පොලිස්පතිතුමා සහභාගී වූ අතර එහිදී දෙරටෙහි ආගමන විගමන පරිපාලනය හා සංවිධානාත්මක අපරාධ වැලැක්වීම,  මහජන ආරක්ෂාව සම්බන්දව වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ සාකච්ඡා කෙරුණි.  මෙම අවස්ථාව සඳහා  ශ‍්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති Qi Zhenhong මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේඛම් රවී සෙනෙවිරත්න මහතා, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගී විය.

Special Events - SI

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191 ග්‍රෑම් 673 ක ප්‍රමාණයක්ම හා මත්පෙති 3482 ක් දවා විනාශ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකළ වැටලීම් මගින් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 40 ග්‍රෑම් 539 ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132 ග්‍රෑම් 79 ක්, කොකේන් ග්‍රෑම් 55 ක් හා මත්පෙති 3482 ක් දවා විනාශ කිරීම සඳහා 2026.03.13 ක් දවා වන දින උදෑසන ගරු කොළඹ මහාධිකරණයේ සිට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරන ලදී. මෙම තොගයට අමතරව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග නඩු විභාග වී අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 19 ක්, රස පරීත්ෂක කාර්යාලයේ තිබෙන නඩු කටයුතු 1500 කට ආසන්න ප්‍රමාණයක සියළුම නඩු භාණ්ඩද මෙදින විනාශ කිරීමට නියමිතය. පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාව යටතේ උදෑසන 09.00 පමණ වන විට වනාතවිල්ලුව ප්‍රදේශයේ ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත ප්‍රවාහනය කළ මෙම තොගය දවා විනාශ කිරීම අධීක්ෂණය සඳහා ගරු මහේස්ත්‍රාත්වරුන්, රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සහභාගී විිය.

Special Events - SI

ඉස්ලාම් නිලධාරින්ගේ ඉෆ්තාර් උත්සවය

2026 වර්ෂයේ රාමසාන් උත්සවයට සමගාමීව පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන කරනු ලබන ඉස්ලාම් භක්තික නිලධරයන් වෙනුවෙන් සංවිධානය කළ ඉෆ්තාර් උත්සවය 2026.03.12 වන දින සවස කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි Marino Beach උත්සව ශාලාවේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ප්‍රභූවරුන් රැසක් හා සියළුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ඉස්ලාම් භක්තික නිලධරයන් 400 ක් සහභාගි විය.

Police News - SI

මාධ්‍ය ක්ෂේත්‍රයට සිදුකරන මෙහෙවර වෙනුවෙන් තෙවන වරටත් සම්මානයක්

වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා මාධ්‍ය ක්‍ෂෙත්‍රයට වෙනුවෙන් ඉටුකරන කැපී පෙනෙන කාර්ය භාරය වෙනුවෙන් තෙවන වරටත් ජනතා සම්මානයට පාත්‍ර වෙමින් 2026 මාර්තු මස 12 වන දින සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනු SLI-BA 2026 – Sri Lanka International Business Awards සම්මාන උළෙලේදී විශ්ව අභිමාන්න්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. 2025 දෙසැම්බර් මස 29 වන දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනු  People’s Excellency Awards 2025 සම්මාන උළෙලේදී Public Communication Award සම්මානයට පාත්‍රවීම එතුමා ලැබූ පළමු සම්මානයයි. දෙවන සම්මානය, 2025 වසරේ මෙරට වෙනුවෙන් කැපි පෙනෙන සමාජ සේවයක් ඉටුකළ පුද්ගලයන් ඇගයීමට ලක්කරමින් 2026 පෙබරවාරි මස 02 වන දින කොළඹ 07 පදනම් ආයතනයේදී පැවැත්වුනු ජාතිකාභිමානී උත්තමාචාර 2026 ( Pride of the Nation Award 2026 ) සම්මාන උළෙලේදී පිරිනැමූ  Pride of the Nation සම්මානයයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මාධ්‍ය නිවේදන මාධ්‍ය ආයතන වෙත යොමුකිරීමෙන් ප්‍රජාව දැනුවත් විය තොරතුරු ප්‍රසිද්ධ  කිරීමට කැපවීම, Sri Lanka Police නිල Facebook ගිණුම ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ජාලා සහ පොලිස් නිල වෙබ් අඩවිය ඔස්සේ සෘජුවම මහජනතාව වෙත තොරතුරු, අවවාද, උපදෙස් ගෙනයාමට කටයුතු කිරීම, වැනි ප්‍රශංසනීය මාධ්‍ය මෙ‌හෙවරක නිරතවීම මෙවරද සම්මානයට පාත්‍රවීමට පාදක විය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සාම්ප්‍රදායික මාධ්‍යකරනයෙන් ඔබ්බට ගෙන යමින් නව මාධ්‍ය රටාවට අනුගත වෙමින් ජනාතාවට තොරතුරු සමීපකරවීම සඳහා පොඩ්කාස්ට් (Podcast) වැනි අන්තර්ජාලය හරහා ඕනෑම වේලාවක සවන් දිය හැකි, එපිසෝඩ (episodes) ලෙස නිකුත් වන ඩිජිටල් ශ්‍රව්‍ය/දෘශ්‍ය වැඩසටහන් මාලාවක් පොලිස් නිල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය වෙත මුදාහැරීම වැනි නව සංකල්ප ක්‍රියාවට නැංවීම මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක්විය. එමෙන්ම බාහිර උපදේශකවරයෙකු වශයෙන් සිසුන් හා ආයතන දැනුවත් කිරීමේ වැඩමුළු මෙහෙයවීම මගින් වුට්ලර් මහතා සමාජීය වශයෙන් ලබා ඇති කීර්තිය හා ශ්‍රී ලංකා පොලිසියට එක් කර ඇති අභිමානය මෙවර  උළෙලේදී විශ්ව අභිමාන්න්‍ය ගෞරව සම්මානය හිමිවීමට හේතු සාධක වී තිබේ.

Police News - SI

‘පොඩි ලැසී’ නම් සංවිධානාත්මක අපරාධ සැකකරු මෙරටට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට

ඉන්දියාවේ සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ නම් මෙරට සංවිධානාත්මක අපරාධ සිදුකර පළාගොස් සැඟව සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් 2026.02.27 වන දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන එන ලදී. විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය. මෙම පුද්ගලයා දකුණු පළාත තුල මත්ද්‍රව්‍ය ජාවාරම්, මීටියාගොඩ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ සාහසික මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකි. මහජන ආරක්ෂක අමාත්‍යංශය හා පොලිස්පතිතුමාගේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක ශක්තිමත් යාන්ත්‍රණයක් යටතේ සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒ්මට හැකියාව ලැබුනු අතර රතු නිවේදන නොමැතිව දෙරට අතර ගොඩනගාගත් සහයෝගීතාවය මගින් සැකකරු මෙරටට ලබාගැනීමට හැකිවිය. මෙම සැකකරු සමඟින් ශ්‍රී ලංකා පොලිසිය මේ දක්වා විදෙස් ගතව සැඟව සිටි සැකකරුවන් 14 දෙනෙක් මෙරටට ගෙන්වා ගෙන ඇත. ජාත්‍යන්තර රතු නිවේදන මගින් 2024,2025,2026 තෙවසර තුළ සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇත. ලබාගත් රතු නිවේදන 89 ක් මගින් ඉදිරියේදී විදෙස්ගතව සැඟව සිටින ප්‍රධාන පෙළේ සැකකරුවන් ගණනාවක්  අත්අඩංගුවට ගෙන මෙරට අධිකරණය හමුවට ඉදිරිපත්කිරීමට  නියමිතය.

Scroll to Top