Tharindu Withanage – Page 9 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Notable Services - SI

78 වන නිදහස් සැමරුම් දිනයට සමගාමීව ප්‍රජා පොලිස් කොට්ඨාසය

ජීවිතයේ සැඳෑ සමය වැඩිහිටි සුරාක්ෂා නිවාසයක් තුළ ගෙවමින් පසුවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක් සැනසීම සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිලධරයන් 2026.02.05 වන දින උදෑසන බොරැල්ල ලංකාරාම විහාරස්ථානය වෙත ගියහ. වැඩිහිටියන් සෙනෙහසින් රැකබලා ගැනීම බාල පරම්පරාවට හුරු පුරුදු කිරීම අරමුණුකරගනිමින් ප්‍රජා පොලිස් කොට්ඨාසයෙන් පවත්වාගෙන යනු ලබන ටයිනි ටොට්ස් පෙර පාසල් ත්‍රිත්වයේ දරු දැරියන් සමූහයක්ද මෙම අවස්ථාවට එක් කර ගත් අතර පොලිස් බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සංගීතය මුසු කරගනිමින් රසාස්වාදයෙන් පිරි සංගීතමය හෝරා කිහිපයකින් වැඩිහිටි පිරිසට ලබාදීමට කටයුතු කරන ලදී. හාස්‍ය උත්පාදිත රංගනයේ හා ගායනයේ නම් දැරූ කලාකරුවන් දෙදෙනෙක් වන සුනෙත් චිත්‍රානන්ද මහතා සහ අනුර ශ්‍රීනාත් මහතා වැඩසටහන සඳහා එක්වෙමින් සංගීත හෝරා කිහිපය තවත් රසගැන්වීය.  එදින වැඩිහිටි නිවාසය සඳහා දිවා ආහාර වේලද ප්‍රජා පොලිස් කොට්ඨාසය විසින් පිරිනමන ලදී. පොලිස්පතිතුමාගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් සහ පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ සංවිධානයෙන්, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ඩි.කේ ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වූ වැඩසටහනට ආරාධනය පරිදි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ සහභාගීීත්වය හිමිවිය.

Special Events - SI

නවීකරණය කළ පොල්පිටිය පොලිස් ස්ථානය ජනතා අයිතියට

හැටන් කොට්ඨාසයේ පොල්පිටිය ග්‍රාමය වෙනුවන් ඉදිකළ නව පොලිස් ස්ථානය 2026.02.06 වන දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණි. නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා, නුවරඑලිය දිසාව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා, හැටන් කොට්ටාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා ඇතුලු හැටන් පොලිස් කොට්ටාශයේ සියලුම ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් රැසක් විවෘත කිරීමේ උත්සව සභාවට සපැමිණ සිටි අතර පොල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක පි.එච්.එම්.එන් උපුල් කුමාර මහතා විසින් සැවොම ගෞරවාන්විත පිළිගන්නා ලදී. පොලිස්පතිතුමන් උත්සව සභාව අමතමින් සියලු පහසුකම් සහිත ස්ථිර, නවීන ගොඩනැගිල්ලක ස්ථාපනය කර ජනතා අයිතියට පත් කිරීමට ලැබීම පිළිබඳව සිය නිහතමානී සතුට ප්‍රකාශකළ අතර ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පර්චස් 78.43 ක භූමිය පවරා ගෙන 2025 නොවැම්බර් මාසයේ සිට මෙලෙස  නව පොලිස් ස්ථානයක් ලෙස ගොඩනැංවීම වෙනුවෙන් සහයෝගය දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රධාන සියලුම පාර්ශව වෙත සිය ස්තූතිය පළකලේය. 2021 වසරේදී කුලී පදනම මත ලබාගත් කුඩා නිවසක පවත්වාගෙන යමින් අවම ඉඩ පහසුකම් යටතේ වුවද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 07ක වෙසෙන 9,000කට අධික පිරිසක් වෙනුවෙන් සුවිශාල පොලිස් සේවයක් සැලසූ පොල්පිටිය පොලිස් ස්ථානය, මේ අනුව මෙතැන් සිට සියලු පහසුකම් සහිතව මැනවින් සකස්කළ පොලිසියටම වෙන්වූ භූමියක වඩාත් කාර්යක්ෂමව මහජන මෙහෙවරට කැපවනු ඇත.

Notable Services - SI

රූ සිරි රූපලාවන්‍යාගාරයක් අනුරාධපුර පොලිස් ස්ථානයට

පොලිස්පතිතුමාගේ භාර්යයාව, සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මියගේ සංකල්පයක් අනුව මින් පෙර කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ හා පාර්ලිමේන්තු වෙළඳ සංකීර්ණය තුල  රූ සිරි නමින් ස්ථාපිත කළ රූපලාවන්‍යාගාරය දිවයිනේ සෙසු ප්‍රදේශකරා ද ව්‍යාප්තකිරීම ආරම්භකරමින් අනුරාධපුර පොලිස් ස්ථානය පරිශ්‍රයේ සකස්කළ නව රූපලාවන්‍යාගාරය  2026.02.07 වන දින විවෘත කරන ලදී. ගැටළු ඉදිරිපත්කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත පැමිණීමට සාමාන්‍ය ජනතාව දිරිගන්වමින් පොලිස් ස්ථාන කාන්තාවන්ට සමීප කරවීම ප්‍රධාන අරමුණක් කර ගනිමින් ඉතා සහනදායී මිලක් යටතේ මෙම රූපලාවන්‍යාගාරය මගින් සේවා සැපයීමට නියමිත අතර මෙමගින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වය ලබාගත් පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකාවන් උදෙසා රැකියා අවස්ථාවන්ද ලබාදීමට හැකිවේ. සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීතිඥ නිල්මිණී සමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී 1 ප්‍රභාත් විතානගේ මහතා ඇතුලුව අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර, අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍යාමලී දිසානායක, පොලිස් සේවා වනිතා ඒ්කකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණී ජයවීර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණි.

Police News - SI

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්මක්

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026.02.04 වන දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.   උත්සවයට සමඟාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් 2026.01.30 වන දින සිට 2026.02.02 වන දින දක්වා පැවැත්වෙන අතර එම දිනයන් හා 2026.02.04 වන දින නිදහස් උත්සව දිනය මූලික කරගෙන කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  ඒ අනුව, 2026.01.30, 31 හා 2026.02.02 දින පෙරහුරු පුහුණුවීමේ කටයුතු සඳහා පැය 0745 සිට පැය 1330 දක්වාත්, පූර්ණ පෙරහුරුව පැවැත්වෙන 2026.02.01 වන දින පැය 0500 සිට පැය 1330 දක්වා සහ 2026.02.04 වන දින පැය 0500 සිට නිදහස් දින උත්සවය අවසන් වන තුරු අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත. 1. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම. 2. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම. 3. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම. 4. බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම. 5. විජේරාම මාවත, විද්‍යා මාවත, හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම. 6. මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම. 7. නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම. 8. හෝර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම. විශේෂ රථවාහන සැලැස්මට අනුව 2026.02.04 වන දින උත්සව අවස්ථාවේ පැය 0300 සිට ජාතික නිදහස් සැමරුම් උත්සවය අවසන් වන තෙක් පහත සඳහන් මාර්ගයන්හි ගමනාගමනය සීමා කරනු ඇත.  1. හෝර්ටන් වටරවුමෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළු වීම. 2. පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවත හෝර්ටන් වටරවුම දෙසට ඇතුළුවීම. 3. ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම. 4. කන්නංගර මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම. 5. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම. 6. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම. 7. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම. 8. බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම. 9. විජේරාම මාවත, විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම. 10. මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම. 11. නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම. 12. හොර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම.  • ඉහත දිනයන්හිදි ගමනාගමනය සීමා කරනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන් හා ආයතන වෙත රාජකාරියට බාධාවක් නොවන අයුරින් ගමන් කිරීමට අවස්ථාව සලසා ඇත.  

Police News - SI

2026.01.30 වන දින නුගේගොඩ ගම්සභා හන්දිය අසල විරෝධතාවය සම්බන්ධව

026.01.30 වන දින නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවක් සඳහා පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනෙකු නඩු විභාගයෙන් අනතුරුව කාර් රථයකින් පිටව යන අවස්ථාවේ නුගේගොඩ ගම්සභා හන්දිය ආසන්නයේදී පිරිසක් කාර් රථයට මාර්ගය අවහිර කර මරණ තර්ජනය කරමින් වාහනයට පහරදී අනර්ථයක් සිදුකළ බව සඳහන් පැමිණිල්ලක් මිරිහාන පොලිස් ස්ථානයට වෙත ලැබී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති අතර 2026.02.01 වන අද දින අළුයම මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මාදම්පේ පොලිස් වසමේ කජුලන්දවත්ත ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අයුතු ජන රාශියක සාමාජිකයෙකුව සිටිමින් අයුතු අවහිරය, සාපරාධී බියගැන්වීම සහ අනර්ථය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 43 ක් වන කජුලන්දවත්ත, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නීතිඥ වෘත්තියට බාධාකිරීම සම්බන්ධව සියළු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  

Police News - SI

හෙරොයින් කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 105 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2026.01.31 දින අළුයම බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 105 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 40 සහ 45 වයස්වල පසුවන බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Missing Person - SI

විල්ලැෆ් ෆැන්සිස්කුගේ මයුමි ප්‍රාර්ථනා

හලාවත ප්‍රදේශයේ පිහිටන ළමා නිවාසයකින් 2025.07.17 වන දින පළාගිය වයස අවුරුදු 15 ක දැරියක් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ඇය මින් පෙරද රඳවාසිටි මීගහකොටුව රජයේ රැඳවුම් බාලිකා නිවාසයකින් පළාගොස් අනාරක්ෂිතව සිටියදී 2025.07.14 වන දින හලාවත පොලිස් ස්ථානය භාරයට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ දැරියකි. නම – විල්ලැෆ් ෆැන්සිස්කුගේ මයුමි ප්‍රාර්ථනා වයස – අවුරුදු 15 ස්ථිර පදිංචිය සඳහන් ලිපිනය – අංක 06, හේනේගෙදර, උඩුබද්දාව මැය රැදී සිටින ස්ථානයක් පිළිබඳව හෝ සොයාගැනීමට සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහත දුරකථන අංක වෙත නොපමාව දැනුම් දෙන්න. ස්ථානාධිපති, කුලියාපිටිය පොලිස් ස්ථානය – 071 8591263 කුලියාපිටිය පොලිස් ස්ථානය – 037-2281222    

Police News - SI

මහල් නිවාස සංකීරණයක සිදුවූ ඝාතනයක සැකකරු අත්අඩංගුවට

අඟුලාන‌ සයුර මහල් නිවාස සංකීර්ණයේ ඉහල මහලක තිබී පහරකෑමට ලක්ව මිය ගිය කාන්තා මළ සිරුරක් සොයාගැනීමට හැකිවන්නේ 2026.01.27 වන දින සවස අගුලාන පොලිස් ස්ථානය වෙත ලද දුරකථන ඇමතුමක් අනුවයි. විමර්ශනයේදී ඇය වාද්දූව, කුඩාවස්කඩුව ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරියක් වන 24 හැවිරිදි කාන්තාවක් බවත්, 2026.01.26 දින සවස් කාලයේ සිට මෙම මහල් සංකීර්ණයේ නිවස තුළ ඇය නවාතැන් ගෙන සිටි පුද්ගලයා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බව අසල්වාසීන් විසින් පැවසූ කරුණු අනුව අනාවරණය වී ඇත. ඒ් අනුව පහරදී ඝාතනයට සැකකරු වන එම පුද්ගලයා හඹා ගිය අගුලාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් 2026.01.28 දින සැකකරු ප්‍රදේශයෙන් පළා යමින් සිටයදී අත්අඩංගුවට ගෙන තිබේ.  සැකකරු සයුරුපුර, අඟුලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වන තරුණයෙකි.  අඟුලාන පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.  

Police News - SI

2026 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ නිලධර දස්කම්

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලණයේ සංවිධානයෙන් 2026 ජනවාරි 23,24 හා 25 යන තෙදින නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2026 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය පැවැත්වුනි. ක්‍රීඩා සමාජ 19 ක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 208 ක් අතරට පොලිස් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 ක් සහ ක්‍රීඩිකාවන් 07 ක් එක්ව ඉර පංති කිහිපයක් යටතේ තරඟවැදුනු අතර ඉන් අට දෙනෙකු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. ලබාගත් ජයග්‍රහණ  1. පොලිස් කොස්තාපල් 96761 ඩබ්.එච්.එච්.ටී.වීරසිංහ 74 බරපංතිය – ප්‍රථම ස්ථානය 2. පොලිස් කොස්තාපල් 90601 එස්.එම්.ඩී.අයි.සී සෙනෙවිරත්න කිලෝග්‍රෑම් 87 බරපංතිය – දෙවන ස්ථානය 3. පොලිස් කොස්තාපල් 106505 ආර්.එම්.යූ රාජගුරු කිලෝග්‍රෑම් 80 බරපංතිය – දෙවන ස්ථානය 4. පොලිස් කොස්තාපල් 105855 එම්.පී.එන් ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 54 බර පංතිය – තෙවන ස්ථානය 5. පොලිස් කොස්තාපල් 98709 එච්.එම්.ඩි.ජි බංඩාර කිලෝග්‍රෑම් 58 බර පංතිය තෙවන ස්ථානය 6. කාන්තා පොලිස් කොස්තාපල් 12643 ඩබ්.පී.වයි කුමාර රත්න කිලෝග්‍රෑම් 67 බර පංතිය දෙවන ස්ථානය 7. කාන්තා පොලිස් කොස්තාපල් 12665 කේ.එම්.එච් වීරකෝන් කිලෝග්‍රෑම් 67 බර පංතිය තෙවන ස්ථානය 8. කාන්තා පොලිස් කොස්තාපල් 12578 එච්.එම් අයේශනී කිලෝග්‍රෑම් 73 බර පංතිය තෙවන ස්ථානය මෙම ක්‍රීඩකයන් 8 දෙනාම Kyorugi තරඟ කාණ්ඩය යටතේ තරඟ වැදුනු ක්‍රීඩකයන්ය. ටයිකොන්ඩෝ කණ්ඩායමේ සභාපති ලෙස මේ වන විට නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර මහතා ක්‍රියා කරන අතර කණ්ඩායමේ ලේකම් ලෙස කාන්තා සහකාර පොලිස් අධිකාරී එන්.ටී නිරෝෂා කුමාරි මහත්මිය, කළමාණාකරු පොලිස් පරීක්ෂක ඒ්.ඩී.එස් අමරසිංහ. ප්‍රධාන පුහුණුකරු පොලිස් සැරයන් 15970 ඩබ්ලිව්. පී.එස් හෙට්ටිආරච්චි, සහය පුහුණුකරු පොලිස් කොස්තාපල් 79389 ඒ්.එල්.ඒ් අරණ ශාන්ත, භෞත චිතික්සත පොලිස් කොස්තාපල් 79393 එස්.ජේ. පී සුගතදාස, කණ්ඩායම් නායක ලෙස පොලිස් කොස්තාපල් 23785 ටී.එම්.පී.සී තෙන්නකෝන් යන නිලධාරීන් කටයුතු කරයි.

Police News - SI

අනවසර වැලි කැනීම් වටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසියෙන්

පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ නිලධාරීන් 2026.01.26 දින උදෑසන මහඔය පොලිස් වසමේ කරදහ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් බලපත්‍ර නොමතිව ටිපර් රථයකට වැලි පටවමින් සිටි 24 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව එදින රාත්‍රියේ මහිංගණය ඉකිරියගොඩ කොලයාය ප්‍රදේශයේ එදින රාත්‍රියේ සිදුකළ වැටලීමක් මගින්ද බලපත්‍ර නොමැතිව ටිපර් රථයකට වැලි පටවමින් සිටි 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මාපකඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන එම සැකකරු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහියංගණය පොලිස් ස්ථානය ඉදිරිපත් කර තිබේ. අම්පාර කඳවුරේ නිලධාරීන් එදින සවස උහන පොලිස් වසමේ ආදල්ඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 40 ක් වන උහන වෑරංකැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

Scroll to Top