Special Events – SI – Page 4 – ශ්‍රී ලංකා පොලිසිය

Special Events – SI

Special Events - SI

උද්ගතව ඇති ආපදා තත්වය හේතුවෙන් විදෙස් සංචාරකයින් වෙත තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක හඳුන්වාදීම  

දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදේශීය සංචාරකයින්ද අපහසුතාවයට පත්ව සිටින බවට නිරීක්ෂණය වේ.   පවතින ආපදා තතත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව ඇති විටකදී හෝ ගුවන්තොටුපල වෙත පැමිණීමට නොහැකිව සිටී නම් ඔවුන් පිළිබඳව සොයා බලා ඔවුන්ට උපරිම ආරක්ෂාව සහ සහාය ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබයි.    ඒ අනුව, පහත තොරතුරු හා දුරකථන අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකි බව දන්වා සිටිමි.   *අධ්‍යක්ෂ, පොලිස් සංචාරක කොට්ඨාසය   ජංගම දුරකථන අංකය – 071 – 8591894   *ස්ථානාධිපති, පොලිස් සංචාරක කොට්ඨාසය   ස්ථාවර දුරකථන අංකය – 011 – 2421070 ජංගම දුරකථන අංකය – 071 – 8591895   *ස්ථානාධිපති, ගුවන්තොටුපල පොලිසිය   ස්ථාවර දුරකථන අංකය – 011 – 2251475 ජංගම දුරකථන අංකය – 071 – 8591640   *ස්ථානාධිපති, ගුවන්තොටුපල සංචාරක පොලිසිය   ජංගම දුරකථන අංකය – 071 – 8596057    

Special Events - SI

ආපදා තත්ත්වය සම්බන්ධව තොරුතුරු දැනුම් දීම සඳහා පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල  අධික වැසි, ගංවතුර, තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතැම් ප්‍රදේශ වලින් මහජනතාවට ඉවත්වීමේ නිවේදන ද නිකුත් කිරීමට මේ වන විට කටයුතු කර ඇත.   උද්ගතවී ඇති මෙම හදිසි තත්ත්වය පිළිබද නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සදහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිතුමාගේ අධික්ෂණය යටතේ පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ  ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.     දුරකථන අංක Whatsapp අංක Email ලිපිනය 011 – 2013051 011 – 2027148 011 – 2027149 011 – 2472757 011 – 2430912 071 – 8595880071 – 8595881071 – 8595882071 – 8595883071 – 8595884   igp.opsroom@police.gov.lk   එසේම සියලු පොලිස් බල ප්‍රදේශයන් හී ඇති වන අපදා තත්ත්වයන් වලට මුහුණදීම සදහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් වශයෙන් පොලිස් ස්ථාන වල සුදානම් කර ඇති අතර, කෙටි දැනුම් දීමකදී ක්‍රියා කිරීමට හැකිවන පරිදි බෝට්ටු, කිමිදුම්කරුවන් ඇතුළු ආපදා උපකරණ ද සූදානම් කර ඇත. එසේම මෙම අපදා තත්ත්වයන් වලට මුහුණ දීමට මෙන්ම මහජන අවශ්‍යතාවයන් සපුරාලීම සදහා අපදාකළමණාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදා ඇතුළු අනෙකුත් අදාළ ආයතන වල බලධාරීන් සම්බන්ධකර ගැනීම සිදු කර ඇත. පොලිසිය විසින් අවතැන් වූ තැනැත්තන්ගේ නිවාස හා දේපළ ආරක්ෂා කිරීමට සුදුසු වැඩපිළිවලක්ද සෑම පොලිස් වසමකම ක්‍රියාත්මක කර ඇති අතර, ආරක්ෂිත ස්ථානවල රැදී සිටින අවතැන් වූ පිරිස් වෙත අවශ්‍ය ආරක්ෂාව හා සුබසාධන පහසුකම් සැලසීමටද කටයුතු යොදා ඇත.   ශ්‍රී ලංකා පොලීසිය ත්‍රිවිධ හමුදාව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සමග ආපදාවන්ට ලක්වුවන් බේරා ගැනීම, සහන සැලසීම, එම ප්‍රදේශ වල ආරක්ෂාව සැලසීම ආදී කටයුතු කලමණාකරනය කර සිදු කර ගැනිමට ආවශ්‍ය සහාය ලබා දෙන මෙන් ශ්‍රි ලංකා පොලිසීය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අවදානම් ස්ථාන වලට යාම, ආපදා ස්ථාන නැරඹීමට යාම, ජලයෙන් යට වී ඇති මාර්ග ඔස්සේ අනාරක්ෂිත ලෙස වාහන ධාවනය කිරීම ඇතුළු අපරික්ෂාකාරී කටයුතු වල නොයෙලෙන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසීය තවදුරටත් මහජනතාව දැනුවත් කර සිටී press conference (Video)

Special Events - SI

INTERPOL 93 වන සැසිවාරයට සමඟාමීව රටවල් රැසක් සමඟ පැවැත්වූ සාකචඡා ඵලදායී

2025 නොවැම්බර් 24 සිට 27 දක්වා මොරොක්කෝවේ Marrakech හි පැවති ජ්‍යාත්‍යන්තර පොලිස් සංගමයේ (INTERPOL)  93 වන සැසිවාරයට සඳහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහභාගී වූ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ඇතුලු නිලධාරීන් එහිදී ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක නිරත වී තිබේ. මෙහෙයුම් සහයෝගීතාව ශක්තිමත් කිරීම, තොරතුරු බෙදාගැනීමේ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම සහ අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීම සඳහා ඒ්කාබද්ධ උත්සාහයන් තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සඳහා විදෙස් ආරක්ෂක අංශ සමඟ පවත්නා සහයෝගීතාවය පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යමුකර ඇත.  පොලිස්පතිතුමන් හා මෙරට නියෝජිතයින් තායිලන්තය, බෙලරුස්, ඕමානය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, රුසියාව සහ ජපානය යන රටවල නියෝජිතයින් සමඟ පැවැත්වූ සාක්ච්ඡා වඩාත්ඵලදායී  ලෙස නිමාවී ඇති අතර ජ්‍යාත්‍යන්තර පොලිසිය (INTERPOL) රාමුව තුළ අන්‍යෝන්‍ය සහයෝගය උපරිම මට්ටමින් ලබාදීමට කැපවන බව ප්‍රකාශ වී ඇත.

Special Events - SI

2025 රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය පොලිසියටයි.

පසුගිය නොවැම්බර් මස 20,21 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාන්ගනයේදී පැවැත්වුනු 39 වන රාජ්‍ය සේවා තරගාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 678 ක් ලබාගත් ශ්‍රී ලංකා පොලිසියට හිමිවිය. පොලිසියේ ක්‍රීඩික ක්‍රීඩාවන් රාජ්‍ය අයතන 80ක ක්‍රිඩක ක්‍රිඩිකාවන් 1200 ක් සමඟ අති දක්ෂ ලෙස තරඟ ඉසව් සඳහා තරඟවැදී මුල් පෙළ ජයග්‍රහණ රැසකට හිමිකම් කියමින් සමස්ථ ශූරතාවය සඳහා අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය පහසුවෙන් රැස් කර ගැනීමට සමත්විය. තරඟාවලියේ විශිෂ්ඨම මළල ක්‍රීඩිකාවට හිමි කුසලානය 23 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 5 ක්‍ ලබා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුත්කව රාජකාරි නියුතු කාන්තා පොලිස් කොස්තාපල්.7809 බී.ජී.සචිත්‍රා හර්ෂණී ජයකාන්ත නිලධාරිනිය හිමිකරගනිමින් ඇය ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් දක්ෂතම මළල ක්‍රීඩාව බව නැවතත් තහවුරු කරන ලදී. විශිෂ්ඨම මළල ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් 90433 ටි.ජි.එස් විජේතුංග නිලධාරියා කුසලානය හා සහතිකපත්‍රය ලබාගත්තේය. විශිෂ්ඨම නවක මළල ක්‍රීඩකයා ලෙස පොලිස් විද්‍යාලයේ පොලිස් කොස්තාපල් 107601 ඩි.එම්.පි ප්‍රබෝද් නිලධාරියාත් තරඟාවලියේ විශිෂ්ඨම නවක මළල ක්‍රීඩිකාව ලෙස ඉදුල පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල් 13288 දිසානායක නිලධාරිනියත් ඇගයීමට ලක්විය. එමෙන්ම වයස අවුරුදු 50-54 අතර හොදම ක්‍රීඩිකාව මොනරාගල පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂක දිල්රුක්ෂි නිලධාරිනියයි. වයස අවුරුදු 35-39 අතර හොදම ක්‍රීඩකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් 6216 උදය කුමාර නිලධාරියායි. එම වයස් කාණ්ඩයේ හොදම මළල ක්‍රීඩිකාව ගාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල් 8646 නිලධාරිනියයි. වයස අවුරුදු 45-49 අතර හොදම ක්‍රීඩකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් 39931 ජී.එම්.සි සරත් කුමාර නිලධාරියායි. ඒම ජයග්‍රහණයන් සමඟ අවුරුදු 55-59 , 45-49, 40-44, 40-44, 35-39 යන වයස් කණ්ඩාවල අනුශූරතාවයන් ශ්‍රී ලංකා පොලිසියට හිමි වූ අතර 50-54 වයස් කාණ්ඩයේ, නවක මළල ක්‍රීඩක හා විවෘත මළල ක්‍රීඩා තරඟ කාණ්ඩයේ ශූරයින් ලෙස පොලිස් ක්‍රීඩකයින්ට ඉහළ ලකුණු ලබාගැනීමට හැකිවිය. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රධානව පොලිස් මලළ ක්‍රීඩා සභාපති නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව මහතාගේ සහ පොලිස් මලළ ක්‍රීඩා ලේඛම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ නායකත්වය හා දිරිමත්කිරීම් මෙවර රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරගාවලිය ජයග්‍රහණය හිමිකරගැනීම සඳහා මහෝපකාරී වූ බව ක්‍රීඩක ක්‍රීඩිකාව් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබන බව සඳහන් කළ යුතුය.

Special Events - SI

දකුණු පළාතේ සුවිශේෂී වැටලීම් හා සාර්ථක වූ විමර්ශන වෙනුවෙන් ත්‍යාග හා ප්‍රශංසා

විෂ මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය මෙරටින් මුලිනුපුටා දැමීම එ්කායන අරමුණුකරනිමින් ගරු ජනාධිපති අනුර කුමාර මහතාගේ උපදෙස් මත ඇරඹූ  ‘ඉවත්වෙනු’ රටම එකට ජාතික මෙහෙයුමේ දෙවන අදියර ආරම්භකරමින්, 2025.11.20 වන දින සවස තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදී සියළු පාර්ශව එක් වූ මහජන හමුවක් පැවැත්වුනි. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවේ ප්‍රධාන අංගයක් ලෙස දකුණු පළාත තුල සාර්ථකව වැටලීම් සිදුකළ පොලිස් නිලධාරීන් අතරින් මත්ද්‍රව්‍ය තොග සොයාගැනීමට මෙන්ම  නීති විරෝධී දේපළ අවි හා උණ්ඩ අත්අඩංගුවට ගැනීමට හැකි වූ, බරපතල ඝනයේ දක්ෂ ලෙස විසඳමින් ගෞරවාන්විත ලෙස පොලිස් රාජකාරි ඉටුකළ පොලිස් නිලධරයන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් අගයමින් ඔවුනට ත්‍යාග මුදල් හා ප්‍රශංසා පිරිනැමීම සිදුකෙරුනි. අනතුරුව මෑත කාලය තුල දකුණු මුහුදු තීරයේදී විශාල මත්ද්‍රව්‍ය තොග, අවි හා උණ්ඩ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදා නිලධාරීන් ත්‍යාග හා ප්‍රශංසා සමඟින් ඇගයීමට ලක්කළ අතර සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් හා මෙම හමුවට සහභාගී කර නොගත් පුද්ගලික ඔත්තුකරුවන්ද ඇගයීමට ලක් විය. 2025.04.13 වන දින කුඩාවැල්ල ධීවර වරාය අසලදී හෙරොින් ම්ත්ද්‍රව්‍ය කිලෝගෑම් 53 ග්‍රෑම් 300 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ග්‍රෑම් 660 ක්  සමඟ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම. 2018.04.04 දින කොස්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවන්, ටී-56 ගිනි අවිය අත්අඩංගුවට ගැනීම. 2020.08.06 දින වීරකැටිය හන්ඹුන්න ප්‍රදේශයේදී ටී-56ගිනි අවියක් හා උණ්ඩ 30 ක් අත්අඩංගුවට ගැනීම. 2020 ජූනි මස 05 හිනිදුම පොලිස් වසමේ සිදුවූ  කාත්තාවකගේ අතුරුදහන් වීමක් මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය කරගෙන සැකකරු අත්අඩංගුවට ගැනීම.  2023.06.30 දින මාතර හා දෙයියන්දර ප්‍රදේශවලදී AK 47 ස්වයංක්‍රීය ගිනි අවියක්, පිස්තෝල ගිනි අවියක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12080 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම. එලෙස අදාළ පොලිස් නිලධාරීන්ට  ත්‍යාග හිමි වූ සාර්ථක අත්අඩංගුවට ගැනීම් කිහිපයකි. ඉදිරියට එළඹෙන මෙහෙයුමේ සක්‍රිය කාලය තුල තවත් සාර්ථකව වැටලීම් සිදුකිරීමට, නායකත්වය ලබාදීමට මෙන්ම තොරතුරු ලබාදීමට කැපවන බව සනාථකරමින් ගරු ජනාධිපතිතුමන්, නිලධාරීන් හා මහජනාතව ඇතුලු වගකිව යතු සියළු පාර්ශව මව්බිය හමුවේ ප්‍රතිඥාවක් ලබාදීම ඉන් අනතුරුව සිදුවිය. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ හම්බන්තොට දිසාවේ මහා සංඝනායක අතිපූජ්‍ය සපුගහයාය සරණංකර හිමියන් සමඟ අතිපූජ්‍ය සංඝරත්නය හා සර්ව ආගමික නායකයින්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුලුව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමිවිය.  

Special Events - SI

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සංජීව ධර්මරත්න මහතා තනතුරේ රාජකාරි භාරගත් මොහොත

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ සංජීව ධර්මරත්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිතුමාගේ ස්ථාන මාරුවීම් නියෝග පරිදි පසුගිය 2025 නොවැම්බර් 18 දින පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන නිලධාරීවරයා වශයෙන් වැඩ භාර ගත්තේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) යනු පොලිස්පතිවරයා නිවාඩු ලබන හෝ විදෙස්ගතවන අවස්ථාවකදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටුකිරීමට නිතැතින්ම පත්වන, ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිධූරයට පමණක් දෙවෙනි වන භූමිකාව නියෝජනය කරමින් පොලිසියේ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවන නිලධාරීවරයායි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ( භෞතික විද්‍යා) උපාධියක් හිමිකරගනිමින් 1999 වසරේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කොට්ඨාස භාර නිලධාරියෙක් ලෙස මෙන්ම ජ්‍යෙෂ්ඨ, නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස දිවයිනේ සෑම ප්‍රදේශයකම සේවයේ නිරත වූ අත්දැකීම් සපිරි විනයගරුක කීර්තිමත් නිලධාරිවරයෙකු ලෙස ප්‍රකටය.

Special Events - SI

අවසන් තරඟ උණුසුම කැටි වූ 2025 අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාවලියේ සමාප්ති උළෙල

2025.11.05 දින සිට තෙදිනක් පුරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු 2025 අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලිය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.11.07 දින සවස පැවති සමාප්ති උළෙලින් නිමා විය. කණ්ඩායම් 104 ක් අතරින් පිරිමි අංශයෙන් අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ හා ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිරිමි කණ්ඩායම් අතර අවසන් මහා තරඟය මෙන්ම කාන්තා අංශයෙන් අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කාන්තා හා අනුරාධපුර පොලිස් කොට්ඨාස කාන්තා කණ්ඩායම් අතර අවසන් මහා තරඟයේ ආශ්වාදය විඳගැනීමේ අවස්ථාව එහිදී පැමිණ සිටි පිරිසට හිමිවිය. පිරිමි අංශයේ අවසන් තරඟයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම වට 3 ට 2 ක් ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පරඳා තියුණු ජයක් ලැබීය. කාන්තා අවසන් තරඟයේදී අනුරාධපුර පොලිස් කොට්ඨාස කාන්තා කණ්ඩායම 3-0 ක් ලෙස පරාජය කළ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කාන්තා කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් විය. උළෙල සාර්ථකව නිමා වෙමින්  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා පොලිස් වොලිබොල් සංගමයේ සභාපති පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ජයග්‍රාහක කණ්ඩායම් වෙත කුසලාන හා සහතික පත්‍ර බෙදාදෙමින් සුභ පැතුම් කළ අතර ඒ් සඳහා විශේෂ අමුත්තන් ලෙස උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා සහ ශ්‍රී ලංකවේ අංක 1 ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන ජේසන් ලියනගේ මහතා එක්විය. දක්ෂතම පිට පළාත් පිරිමි කණ්ඩායමට හිමි කුසලානය නුවර කොට්ඨාස කණ්ඩායමත් දක්ෂතම පිට පළාත් කාන්තා කණ්ඩායම හිමි කුසලානය මාතර කොට්ඨාස කණ්ඩායමත් ලබාගන්නා ලදී. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ 79686 ටෙරන්ස් ක්‍රීඩකයා කුසලානය හා සහතික පත්‍රය ලබාගත්තේය. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සැරයන් 6105 P.A.V චමරිකා ක්‍රීඩිකාව ඇයට හිමි කුසලානය හා සහතික පත්‍රය ලබාගත් අතර දක්ෂතම ප්‍රහාරක, දක්ෂතම පන්දු පිරිනැමීම, දක්ෂතම පන්දු ලබාගැනීම දක්ෂතම පන්දු සැකසීම, දක්ෂතම පිටිය රැකීම යන දක්ෂතාවයන් සඳහාද පිරිමි හා කාන්තා වශයෙන් පදක්කම් සහ සහතික පත්‍ර ලබාදීමද සිදුවිය. ශ්‍රී ලංකා ‌වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී සමන්තද සිල්වා මහතා,  විශේෂ ආරක්ෂක හා මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා, පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෂාන්තද සිල්වා මහතා, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව මහතා, පොලිස් ‌වොලිබෝල් සංගමයේ ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

2025 – පොලිස් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලි‌යේ සමාරම්භය – කණ්ඩායම් 104 ක් තරඟබිමට

2025 – පොලිස් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලි‌ය නොවැම්බර් මස 05 වන අද දින උදෑසන 06.30 ‌ට කොළඹ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. වොලිබෝල් කුසලාන දිනාගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සෑම පොලිස් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් පැමිණ සිටින කාන්තා පොලිස් කණ්ඩායම් 37 ක් හා පිරිමි පොලිස් කණ්ඩායම් 67 ක් සමඟින් ශ්‍රී ලංකා ‌වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වුනි. මෙම කණ්ඩායම් කොට්ඨාස මට්ටමින් පැවැත්වුනු තරඟ මගින් තෝරාගත් අතිදක්ෂ කණ්ඩායම් වන බැවින් අති උද්වේගකර තරඟ මාලාවක් අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත. 2025.11.07 වන දින සවස පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන සමාප්ති උළලේදී ජයග්‍රාහක කණ්ඩායම සහ දක්ෂතම ක්‍රීඩකයින්ට හිමි කුසලාන හා තිළිණ පිරිනැමීමට නියමිතය.  තරඟාවලිය අරඹමින් සමාරම්භක ප්‍රතිඥාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් ලබාදෙමින් කණඩායම් හැඟී‌මෙන් සුහඳශීලීත්වය වර්ධනය කරගනිමින් තරඟාවලිය සාර්ථකව නිමාකිරීමට සුභාසිංශන එක් කළ අතර ක්‍රීඩක ප්‍රතිඥාව පොලිස්  වොලිබෝල් කණ්ඩායමේ නායක සුපුන් උෂාන්ත ක්‍රීඩකයා විසින්ද, විනිසුරු ප්‍රතිඥාව ප්‍රධාන විනිසුරු විමලරත්න රාජකරුණා මහතා විසින්ද ලබාදෙන ලදී. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී සමන්තද සිල්වා, පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෂාන්තද සිල්වා, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව,  පොලිස් ‌වොලිබෝල් සංගමයේ ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ තරගාවලියේ ශූරතාවය පොලිස් විශේෂ කාර්ය බලකායට

පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ ශූරතාවලියේ සමාප්ති උළෙල කොරියානු තානාපතිතුමිය මියොන් ලී (Miyon LEE) මහත්මියගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා‌ගේ සහභාගීත්වයෙන් 2025.11.04 වන දින සවස කොළඹ පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි. කොරියානු රාජ්‍යයෙන් උපත ලබා ලෝකප්‍රසිද්ධ සටන් කලාවක් වන ටයිකොන්ඩෝ (Taekwondo) ක්‍රීඩාව මෙරට පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ පුහුණු අවධියේදීම හඳුන්වා දීම වසර ගණනාවක් මුළුල්ලේ සිදුවන්නකි. මෙවන් තරඟාවලි වෙනුවෙන් පළාත් මට්ටමින් තරඟ වැදීම සඳහා වැඩිදුර හැදෑරීමට අවස්ථාව හිමිවන අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද ටයිකොන්ඩෝ සටන් කලාවේ කොරියානු ගෞරව උපාධියක් හිමි 6th Dan black belt ධාරියෙකු බව ප්‍රකටය. මෙවර තරඟාවලියේ මූලික වටයේ තරඟ පසුගියදා කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවත්වුනු අතර කිලෝග්‍රෑම් 58 ට අඩු බර පන්තියේ අවසන් තරඟය පමණක් මෙම උළෙල අතරතුර පැවැත්වුනි. පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් 105855 ඒන්. පී. ඒන් ප්‍රනාන්දු සමඟ පොලිස් කොස්තාපල් 101324 ආර්.එම්. කේ. එන් රත්නායක අතර පැවැත්වුනු එම තියුණු සටනින් පොලිස් කොස්තාපල් 101324 ආර්.එම්. කේ. එන් රත්නායක නිලධාරියා ජය ලැබීය. අනතුරුව ත්‍යාග හා කුසලාන පිරිනැමීම අරඹමින් ආධුනිකයින්ගේ තරඟ මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා වූ බස්නාහිර පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 74-80 බර පංතියේ තරඟ වැදුනු කළුතර පොලිස් විද්‍යාලයේ 60105 ඩබ්.එම්. එම් විජේසිංහ නිලධාරියාට හිමි කුසලානය ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මානව සම්පත් කළමානාකරන ජ්‍යාත්‍යන්තර සබඳතා දිසාව නියෝජ්‍ය පොලිස් එම්.එන් සිසිර කුමාර මහතාගේ සුරතින් පිරිනැමීය. ආධුනිකයින්ගේ තරඟ මාලාවේ දක්ෂතම ක්‍රීඩිකාව වූ සබරගමුව පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49-53 බර පන්තිය  යටතේ තරඟ වැදුනු වරකාපොළ පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල් 10398 එන්.ඩී.එස්.පී වීරවර්ධන නිලධාරිනියට හිමි කුසලානය කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා විසින් පිරිනැමීය. ජ්‍යෙෂ්ඨ තරඟාවලියේ දක්ෂතම නිලධාරියා වූ 101324 ආර්.එම්. එන්. කේ රත්නායක නිලධාරියා සඳහා වූ කුසලානය හා ත්‍යාග, තරඟාවලියේ දක්ෂතම විනිසුරුවරයා වූ ජ්‍යාත්‍යන්තර විනිසුරු එච්.එස්.ඩී.එස් දිල්රුක් මහතාට හිමි සහතිකපත්‍රය හා තිළිණ පිරිනැමීම ඉන් අනතුරුව සිදුවිය. පොලිස්පතිතුමන් හා කොරියානු තානාපතිතුමිය මෙවර තරඟාවලියේ ආධුනිකයින්ගේ තරඟ මාලාවේ සමස්ථ ශූරතාවය දිනාගත් බස්නාහිර පළාතට හිමි කුසලානය සහ සමස්ථ තරඟාවලියේ කුසලානය, එනම් පොලිස්පති ටයිකොන්ඩෝ ශූරතාව දිනාගත් පොලිස් විශේෂ කාර්ය බලකා ටයිකොන්ඩෝ සංචිතයට හිමි කුසලානය පිරිනැමීම සඳහා එක්විය. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා, ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ ලේකම් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී නිරෝෂා කුමාරි මහත්මිය ඇතුලුව ශ්‍රී ලංකා පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්වී සිටි අතර ටයිකොන්ඩෝ කලාව අති දක්ෂ ලෙස පුරුදු පුහුණුවන රත්නපුර Diamond Kick ටයිකොන්ඩෝ සමාජය දැක්වූ ශිල්පීය ක්‍රම සපිරි සන්දර්ශනයක් මගින් සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනාංගයන්ගෙන් වේදිකාව වර්ණවත් කෙරුණි. මෙම සියලු අවස්ථා  Sri Lanka Police නිල Facebook පිටුව මගින් සජීවීව විකාශය කරන ලදී.

Special Events - SI

84 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල සමාප්ති උත්සවය

පාසල් කාලය තුල මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන අවධියේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලුනු දක්ෂයින් මෙන්ම ස්වොත්සාහයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ හැකියාවන් දියුණුකරගත් කාය ශක්තියෙන් හෙබි මෙරට පුරවැසියන්, සිය රට දැය මෙහෙවර අගය කොට සලකමින් ශ්‍රී ලංකා පොලිසියට එක්වී දිවයින පුරා පොලිස් ක්‍රීඩා කොට්ඨාස 68 ක විවිධ වූ පොලිස් රාජකාරි ඉටුකරමින් සිටී. එම නිලධාරීන්ගෙන් ක්‍රීඩා හැකියාවන් වියැකෙන්නට නොදී, ඔවුන්ව ජාතික හා ජ්‍යාතන්තර ක්‍රීඩා තලයට ඔසවා තැබීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් 2025 වසරේ පවත්වන 84 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල 2025.09.12 වන දින සිට 2025.09.14 වන අද දිනය දක්වා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකා පොලිසියේ කෙලි බිම මහා මංගල්‍ය වන මෙම ක්‍රීඩා උළෙල සඳහා හිමි නිසි ගෞරවය හා අභිමානය ලබාදෙමින් එහි සමාප්ති උත්සවය ගරු අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.09.14 වන දින සවස අවසන් මහා තරඟ ඇතුලුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකිවිය. ගරු අග්‍රාමාත්‍යතුමිය සමඟ ගෞරවනීය අමුත්තා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමඟ එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමිවිය.  උත්සව සභාවේ පිළිගැනීමේ කතාව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහා විසින් සිදුකරමින් ප්‍රධාන ආරාධිත අමුත්තිය ඇතුලු ආරධිත අමුත්තන් පිළිගෙන උත්කර්ෂවත් සන්ද්‍යාවක් වෙනුවෙන් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතුම් එක්කරන ලදී. අනතුරුව පිරිමි හා කාන්තා ධාවන අවසන් තරඟ, තරඟාවලියට විචිත්‍රවත්බවක් එක්කර ගැනීම සඳහා එක්කර ගත් ආරාධිත පාසල් ධාවන තරඟ හා සියළු දෙනාගේ ආකර්ශනය දිනා ගනිමින් කඹ ඇදීමේ පිරිමි හා කාන්තා තරඟ පැවැත්වුනි.  සියළු ක්‍රීඩා කොට්ඨාස ගරු අග්‍රාමාත්‍යතුමියට අචාර දක්වමින් සියලු ආරාධිත අමුත්තන් ඉදිරියෙන් පෙළපාලි සන්දර්ශනය ඉදිරිපත් කළ පසු සම්භාවනීය අමුත්තන්‌ගේ සුරතින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ විශිෂ්ඨයින්ට හා විශිෂ්ඨතම කණ්ඩායම් සඳහා වූ කුසලාන/පලිහ පිරිනැමීම ඇරඹුනි. එම ජයග්‍රහණයන් – 100 x4 පිරිමි අවසන් තරඟයේ ජයග්‍රාහකයින් -පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම100 x4 කාන්තා අවසන් තරඟයේ කාන්තා ජයග්‍රාහකයින් – පොලිස් මූලස්ථාන කණ්ඩායම400×4 පිරිමි අවසන් තරඟයේ ජයග්‍රාහකයින් – පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම 100X4 පිරිමි ආරාධිත පාසල් තරඟය – ශාන්ත බෙනඩික් විද්‍යාල කණ්ඩායම100X4 කාන්තා ආරාධිත පාසල් තරඟය – පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කණ්ඩායම කඹ ඇදීම කාන්තා – මහනුවර කොට්ඨාසයකඹ ඇදීම පිරිමි – පොලිස් විශේෂ කාර්ය බලකාය දක්ෂතම පිටපළාත් ක්‍රීඩිකාව – කන්කසන්තුරේ කොට්ඨාසය කාන්තා උප පොලිස් පරීක්ෂක එච්.ඩි.ඩබ්. මෙන්ඩිස් ( යගුලිය මීටර් 11.6 )දක්ෂතම පිටපළාත් ක්‍රීඩකයා – යාපනය කොට්ඨාසය උප පොලිස් පරීක්ෂක එච්.ඒස්.ජී.එච්.සිල්වා ( හෙල්ල විසි කිරීමේ තරඟ ඉසව්ව මීටර් 68.99 )විශිෂ්ඨ දක්ෂතාවය විසිකිරීමේ ඉසව්ව පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් කොස්තාපල් ජි.එම්.සි සරත් කුමාර (හෙල්ල විසිකිරීම මීටර් 61.23 )විශිෂ්ඨ දක්ෂතාවය පැනීම – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 අයි.ජි.පි.එස් විජේතුංග ( දුර පැනීමේ ඉසව්ව මීටර් 7.11 ) දක්ෂතම ක්‍රීඩකයා ජවන ඉසව්ව – පොලිස් විශේෂ කාර්යංශය පොලිස් කොස්තාපල් 92453 ජගත් ( මීටර් 400 තප්පර 50.8 )දක්ෂතම ක්‍රීඩිකාව පිටියේ ඉසව්ව – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ( දුර පැනීම මීටර් 5.38 )දක්ෂතම ක්‍රීඩකයා පිටියේ ඉසව්ව – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග ( දුර පැනීම මීටර් 7.11 )මළල ක්‍රීඩා උළලේ උපරිම දක්ෂතාවය දැක්වූ ක්‍රීඩිකාව පිටියේ ඉසව්ව – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ( දුර පැනීම මීටර් 5.38 )මළල ක්‍රීඩා උළලේ උපරිම දක්ෂතාවය දැක්වූ ක්‍රීඩිකයා – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග ( දුර පැනීම මීටර් 7.11 ) දක්ෂතම පිටපළාත් කණ්ඩායම හිමි කුසලනාය ලකුණු 63 කුරුණෑගල කොට්ඨාසයට හිමිවිය.හොඳම අචාර පෙළපාලියට හිමිකම් කියනු ලැබුවේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයයි.සමස්ථ කාන්තා ශූරතා කණ්ඩායම – ලකුණු 80 ක් ලබාගත් පොලිස් විශේෂ කාර්ය බලකා කාන්තා කණ්ඩායම.සමස්ථ පිරිමි ශූරතා කණ්ඩායම – ලකුණු 222 ක් ලබාගත් පොලිස් විශේෂ කාර්ය බලකා පිරිමි කණ්ඩායම සමස්ථ මලළ ක්‍රීඩා උළලේ දක්ෂතම මළල ක්‍රීඩිකාවට හිමි පළිහ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ක්‍රීඩිකාවසමස්ථ මලළ ක්‍රීඩා උළලේ දක්ෂතම ක්‍රීඩිකයාට හිමි පළිහ – සම ළකුණු දිනාගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග, පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් පරීක්ෂක ඒ.එම්.එම් පෙරේරා, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර යන නිලධාරීන් දිනාගත්හ. ගරු අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළලේ සමස්ථ අනුශූරතාවයට හිමි අග්‍රාමාත්‍ය කුසලානය ලකුණු 97 ක් ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිමිකරගැනීමට සමත්වූ අතර ලකුණු 302 ක් ලබාගනිමින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළලේ ජයකෙහෙළි නැංවූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමස්ථ ශූරතාවයට හිමි ජනාධිපති කුසලානය දිනාගත්හ.  පොලිස් සංස්කෘතික කොට්ඨෘසයේ දර්ශනීය නැටුම් ගැයුම් ඉදිරිපත්කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමිය විසින් පැවැත්වූ උත්සවයේ ප්‍රධාන කතාව සහ උළෙලේ සමාප්ති ප්‍රකාශය සමඟින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළෙල අතිසාර්ථකව සමාප්ත කිරීමට ක්‍රීඩා කොට්ඨාස ධජ අඩකුඹු කර පහත හෙලන ලදී. මෙම අවස්ථාවට පූර්ණ සහයෝගය එක්කරමින් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ක්ෂේත්‍ර බලකා නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, පොලිස් මළල ක්‍රීඩා සංගමයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, කාන්තා නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී චන්දන ගමගේ, පොලිස් මළල ක්‍රීඩා සංගමයේ ලේකම් සුගත් ගලගමගේ මහතා සහ ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පින්නදූව යන මහත්ම මහත්මීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන් රැසකගේ සහභාගීත්වය, මාධ්‍ය හා තාක්ෂණික මෙන්ම ශ්‍රම බලය ඔස්සේ පොලිස් කොට්ඨාස රැසක, පාර්ශව රැසක දායකත්වය හිමිවූ බව සඳහන් කළ යුතුය.

Scroll to Top