Special Events – SI – Page 5 – ශ්‍රී ලංකා පොලිසිය

Special Events – SI

Special Events - SI

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සංජීව ධර්මරත්න මහතා තනතුරේ රාජකාරි භාරගත් මොහොත

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ සංජීව ධර්මරත්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිතුමාගේ ස්ථාන මාරුවීම් නියෝග පරිදි පසුගිය 2025 නොවැම්බර් 18 දින පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන නිලධාරීවරයා වශයෙන් වැඩ භාර ගත්තේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) යනු පොලිස්පතිවරයා නිවාඩු ලබන හෝ විදෙස්ගතවන අවස්ථාවකදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටුකිරීමට නිතැතින්ම පත්වන, ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිධූරයට පමණක් දෙවෙනි වන භූමිකාව නියෝජනය කරමින් පොලිසියේ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවන නිලධාරීවරයායි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ( භෞතික විද්‍යා) උපාධියක් හිමිකරගනිමින් 1999 වසරේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කොට්ඨාස භාර නිලධාරියෙක් ලෙස මෙන්ම ජ්‍යෙෂ්ඨ, නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස දිවයිනේ සෑම ප්‍රදේශයකම සේවයේ නිරත වූ අත්දැකීම් සපිරි විනයගරුක කීර්තිමත් නිලධාරිවරයෙකු ලෙස ප්‍රකටය.

Special Events - SI

අවසන් තරඟ උණුසුම කැටි වූ 2025 අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාවලියේ සමාප්ති උළෙල

2025.11.05 දින සිට තෙදිනක් පුරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු 2025 අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලිය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.11.07 දින සවස පැවති සමාප්ති උළෙලින් නිමා විය. කණ්ඩායම් 104 ක් අතරින් පිරිමි අංශයෙන් අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ හා ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිරිමි කණ්ඩායම් අතර අවසන් මහා තරඟය මෙන්ම කාන්තා අංශයෙන් අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කාන්තා හා අනුරාධපුර පොලිස් කොට්ඨාස කාන්තා කණ්ඩායම් අතර අවසන් මහා තරඟයේ ආශ්වාදය විඳගැනීමේ අවස්ථාව එහිදී පැමිණ සිටි පිරිසට හිමිවිය. පිරිමි අංශයේ අවසන් තරඟයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම වට 3 ට 2 ක් ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පරඳා තියුණු ජයක් ලැබීය. කාන්තා අවසන් තරඟයේදී අනුරාධපුර පොලිස් කොට්ඨාස කාන්තා කණ්ඩායම 3-0 ක් ලෙස පරාජය කළ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කාන්තා කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් විය. උළෙල සාර්ථකව නිමා වෙමින්  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා පොලිස් වොලිබොල් සංගමයේ සභාපති පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ජයග්‍රාහක කණ්ඩායම් වෙත කුසලාන හා සහතික පත්‍ර බෙදාදෙමින් සුභ පැතුම් කළ අතර ඒ් සඳහා විශේෂ අමුත්තන් ලෙස උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා සහ ශ්‍රී ලංකවේ අංක 1 ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන ජේසන් ලියනගේ මහතා එක්විය. දක්ෂතම පිට පළාත් පිරිමි කණ්ඩායමට හිමි කුසලානය නුවර කොට්ඨාස කණ්ඩායමත් දක්ෂතම පිට පළාත් කාන්තා කණ්ඩායම හිමි කුසලානය මාතර කොට්ඨාස කණ්ඩායමත් ලබාගන්නා ලදී. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ 79686 ටෙරන්ස් ක්‍රීඩකයා කුසලානය හා සහතික පත්‍රය ලබාගත්තේය. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සැරයන් 6105 P.A.V චමරිකා ක්‍රීඩිකාව ඇයට හිමි කුසලානය හා සහතික පත්‍රය ලබාගත් අතර දක්ෂතම ප්‍රහාරක, දක්ෂතම පන්දු පිරිනැමීම, දක්ෂතම පන්දු ලබාගැනීම දක්ෂතම පන්දු සැකසීම, දක්ෂතම පිටිය රැකීම යන දක්ෂතාවයන් සඳහාද පිරිමි හා කාන්තා වශයෙන් පදක්කම් සහ සහතික පත්‍ර ලබාදීමද සිදුවිය. ශ්‍රී ලංකා ‌වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී සමන්තද සිල්වා මහතා,  විශේෂ ආරක්ෂක හා මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා, පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෂාන්තද සිල්වා මහතා, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව මහතා, පොලිස් ‌වොලිබෝල් සංගමයේ ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

2025 – පොලිස් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලි‌යේ සමාරම්භය – කණ්ඩායම් 104 ක් තරඟබිමට

2025 – පොලිස් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලි‌ය නොවැම්බර් මස 05 වන අද දින උදෑසන 06.30 ‌ට කොළඹ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. වොලිබෝල් කුසලාන දිනාගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සෑම පොලිස් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් පැමිණ සිටින කාන්තා පොලිස් කණ්ඩායම් 37 ක් හා පිරිමි පොලිස් කණ්ඩායම් 67 ක් සමඟින් ශ්‍රී ලංකා ‌වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වුනි. මෙම කණ්ඩායම් කොට්ඨාස මට්ටමින් පැවැත්වුනු තරඟ මගින් තෝරාගත් අතිදක්ෂ කණ්ඩායම් වන බැවින් අති උද්වේගකර තරඟ මාලාවක් අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත. 2025.11.07 වන දින සවස පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන සමාප්ති උළලේදී ජයග්‍රාහක කණ්ඩායම සහ දක්ෂතම ක්‍රීඩකයින්ට හිමි කුසලාන හා තිළිණ පිරිනැමීමට නියමිතය.  තරඟාවලිය අරඹමින් සමාරම්භක ප්‍රතිඥාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් ලබාදෙමින් කණඩායම් හැඟී‌මෙන් සුහඳශීලීත්වය වර්ධනය කරගනිමින් තරඟාවලිය සාර්ථකව නිමාකිරීමට සුභාසිංශන එක් කළ අතර ක්‍රීඩක ප්‍රතිඥාව පොලිස්  වොලිබෝල් කණ්ඩායමේ නායක සුපුන් උෂාන්ත ක්‍රීඩකයා විසින්ද, විනිසුරු ප්‍රතිඥාව ප්‍රධාන විනිසුරු විමලරත්න රාජකරුණා මහතා විසින්ද ලබාදෙන ලදී. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී සමන්තද සිල්වා, පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෂාන්තද සිල්වා, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව,  පොලිස් ‌වොලිබෝල් සංගමයේ ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ තරගාවලියේ ශූරතාවය පොලිස් විශේෂ කාර්ය බලකායට

පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ ශූරතාවලියේ සමාප්ති උළෙල කොරියානු තානාපතිතුමිය මියොන් ලී (Miyon LEE) මහත්මියගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා‌ගේ සහභාගීත්වයෙන් 2025.11.04 වන දින සවස කොළඹ පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි. කොරියානු රාජ්‍යයෙන් උපත ලබා ලෝකප්‍රසිද්ධ සටන් කලාවක් වන ටයිකොන්ඩෝ (Taekwondo) ක්‍රීඩාව මෙරට පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ පුහුණු අවධියේදීම හඳුන්වා දීම වසර ගණනාවක් මුළුල්ලේ සිදුවන්නකි. මෙවන් තරඟාවලි වෙනුවෙන් පළාත් මට්ටමින් තරඟ වැදීම සඳහා වැඩිදුර හැදෑරීමට අවස්ථාව හිමිවන අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද ටයිකොන්ඩෝ සටන් කලාවේ කොරියානු ගෞරව උපාධියක් හිමි 6th Dan black belt ධාරියෙකු බව ප්‍රකටය. මෙවර තරඟාවලියේ මූලික වටයේ තරඟ පසුගියදා කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවත්වුනු අතර කිලෝග්‍රෑම් 58 ට අඩු බර පන්තියේ අවසන් තරඟය පමණක් මෙම උළෙල අතරතුර පැවැත්වුනි. පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් 105855 ඒන්. පී. ඒන් ප්‍රනාන්දු සමඟ පොලිස් කොස්තාපල් 101324 ආර්.එම්. කේ. එන් රත්නායක අතර පැවැත්වුනු එම තියුණු සටනින් පොලිස් කොස්තාපල් 101324 ආර්.එම්. කේ. එන් රත්නායක නිලධාරියා ජය ලැබීය. අනතුරුව ත්‍යාග හා කුසලාන පිරිනැමීම අරඹමින් ආධුනිකයින්ගේ තරඟ මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා වූ බස්නාහිර පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 74-80 බර පංතියේ තරඟ වැදුනු කළුතර පොලිස් විද්‍යාලයේ 60105 ඩබ්.එම්. එම් විජේසිංහ නිලධාරියාට හිමි කුසලානය ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මානව සම්පත් කළමානාකරන ජ්‍යාත්‍යන්තර සබඳතා දිසාව නියෝජ්‍ය පොලිස් එම්.එන් සිසිර කුමාර මහතාගේ සුරතින් පිරිනැමීය. ආධුනිකයින්ගේ තරඟ මාලාවේ දක්ෂතම ක්‍රීඩිකාව වූ සබරගමුව පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49-53 බර පන්තිය  යටතේ තරඟ වැදුනු වරකාපොළ පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල් 10398 එන්.ඩී.එස්.පී වීරවර්ධන නිලධාරිනියට හිමි කුසලානය කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා විසින් පිරිනැමීය. ජ්‍යෙෂ්ඨ තරඟාවලියේ දක්ෂතම නිලධාරියා වූ 101324 ආර්.එම්. එන්. කේ රත්නායක නිලධාරියා සඳහා වූ කුසලානය හා ත්‍යාග, තරඟාවලියේ දක්ෂතම විනිසුරුවරයා වූ ජ්‍යාත්‍යන්තර විනිසුරු එච්.එස්.ඩී.එස් දිල්රුක් මහතාට හිමි සහතිකපත්‍රය හා තිළිණ පිරිනැමීම ඉන් අනතුරුව සිදුවිය. පොලිස්පතිතුමන් හා කොරියානු තානාපතිතුමිය මෙවර තරඟාවලියේ ආධුනිකයින්ගේ තරඟ මාලාවේ සමස්ථ ශූරතාවය දිනාගත් බස්නාහිර පළාතට හිමි කුසලානය සහ සමස්ථ තරඟාවලියේ කුසලානය, එනම් පොලිස්පති ටයිකොන්ඩෝ ශූරතාව දිනාගත් පොලිස් විශේෂ කාර්ය බලකා ටයිකොන්ඩෝ සංචිතයට හිමි කුසලානය පිරිනැමීම සඳහා එක්විය. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා, ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ ලේකම් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී නිරෝෂා කුමාරි මහත්මිය ඇතුලුව ශ්‍රී ලංකා පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්වී සිටි අතර ටයිකොන්ඩෝ කලාව අති දක්ෂ ලෙස පුරුදු පුහුණුවන රත්නපුර Diamond Kick ටයිකොන්ඩෝ සමාජය දැක්වූ ශිල්පීය ක්‍රම සපිරි සන්දර්ශනයක් මගින් සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනාංගයන්ගෙන් වේදිකාව වර්ණවත් කෙරුණි. මෙම සියලු අවස්ථා  Sri Lanka Police නිල Facebook පිටුව මගින් සජීවීව විකාශය කරන ලදී.

Special Events - SI

84 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල සමාප්ති උත්සවය

පාසල් කාලය තුල මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන අවධියේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලුනු දක්ෂයින් මෙන්ම ස්වොත්සාහයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ හැකියාවන් දියුණුකරගත් කාය ශක්තියෙන් හෙබි මෙරට පුරවැසියන්, සිය රට දැය මෙහෙවර අගය කොට සලකමින් ශ්‍රී ලංකා පොලිසියට එක්වී දිවයින පුරා පොලිස් ක්‍රීඩා කොට්ඨාස 68 ක විවිධ වූ පොලිස් රාජකාරි ඉටුකරමින් සිටී. එම නිලධාරීන්ගෙන් ක්‍රීඩා හැකියාවන් වියැකෙන්නට නොදී, ඔවුන්ව ජාතික හා ජ්‍යාතන්තර ක්‍රීඩා තලයට ඔසවා තැබීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් 2025 වසරේ පවත්වන 84 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල 2025.09.12 වන දින සිට 2025.09.14 වන අද දිනය දක්වා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකා පොලිසියේ කෙලි බිම මහා මංගල්‍ය වන මෙම ක්‍රීඩා උළෙල සඳහා හිමි නිසි ගෞරවය හා අභිමානය ලබාදෙමින් එහි සමාප්ති උත්සවය ගරු අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.09.14 වන දින සවස අවසන් මහා තරඟ ඇතුලුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකිවිය. ගරු අග්‍රාමාත්‍යතුමිය සමඟ ගෞරවනීය අමුත්තා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමඟ එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමිවිය.  උත්සව සභාවේ පිළිගැනීමේ කතාව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහා විසින් සිදුකරමින් ප්‍රධාන ආරාධිත අමුත්තිය ඇතුලු ආරධිත අමුත්තන් පිළිගෙන උත්කර්ෂවත් සන්ද්‍යාවක් වෙනුවෙන් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතුම් එක්කරන ලදී. අනතුරුව පිරිමි හා කාන්තා ධාවන අවසන් තරඟ, තරඟාවලියට විචිත්‍රවත්බවක් එක්කර ගැනීම සඳහා එක්කර ගත් ආරාධිත පාසල් ධාවන තරඟ හා සියළු දෙනාගේ ආකර්ශනය දිනා ගනිමින් කඹ ඇදීමේ පිරිමි හා කාන්තා තරඟ පැවැත්වුනි.  සියළු ක්‍රීඩා කොට්ඨාස ගරු අග්‍රාමාත්‍යතුමියට අචාර දක්වමින් සියලු ආරාධිත අමුත්තන් ඉදිරියෙන් පෙළපාලි සන්දර්ශනය ඉදිරිපත් කළ පසු සම්භාවනීය අමුත්තන්‌ගේ සුරතින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ විශිෂ්ඨයින්ට හා විශිෂ්ඨතම කණ්ඩායම් සඳහා වූ කුසලාන/පලිහ පිරිනැමීම ඇරඹුනි. එම ජයග්‍රහණයන් – 100 x4 පිරිමි අවසන් තරඟයේ ජයග්‍රාහකයින් -පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම100 x4 කාන්තා අවසන් තරඟයේ කාන්තා ජයග්‍රාහකයින් – පොලිස් මූලස්ථාන කණ්ඩායම400×4 පිරිමි අවසන් තරඟයේ ජයග්‍රාහකයින් – පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම 100X4 පිරිමි ආරාධිත පාසල් තරඟය – ශාන්ත බෙනඩික් විද්‍යාල කණ්ඩායම100X4 කාන්තා ආරාධිත පාසල් තරඟය – පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කණ්ඩායම කඹ ඇදීම කාන්තා – මහනුවර කොට්ඨාසයකඹ ඇදීම පිරිමි – පොලිස් විශේෂ කාර්ය බලකාය දක්ෂතම පිටපළාත් ක්‍රීඩිකාව – කන්කසන්තුරේ කොට්ඨාසය කාන්තා උප පොලිස් පරීක්ෂක එච්.ඩි.ඩබ්. මෙන්ඩිස් ( යගුලිය මීටර් 11.6 )දක්ෂතම පිටපළාත් ක්‍රීඩකයා – යාපනය කොට්ඨාසය උප පොලිස් පරීක්ෂක එච්.ඒස්.ජී.එච්.සිල්වා ( හෙල්ල විසි කිරීමේ තරඟ ඉසව්ව මීටර් 68.99 )විශිෂ්ඨ දක්ෂතාවය විසිකිරීමේ ඉසව්ව පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් කොස්තාපල් ජි.එම්.සි සරත් කුමාර (හෙල්ල විසිකිරීම මීටර් 61.23 )විශිෂ්ඨ දක්ෂතාවය පැනීම – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 අයි.ජි.පි.එස් විජේතුංග ( දුර පැනීමේ ඉසව්ව මීටර් 7.11 ) දක්ෂතම ක්‍රීඩකයා ජවන ඉසව්ව – පොලිස් විශේෂ කාර්යංශය පොලිස් කොස්තාපල් 92453 ජගත් ( මීටර් 400 තප්පර 50.8 )දක්ෂතම ක්‍රීඩිකාව පිටියේ ඉසව්ව – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ( දුර පැනීම මීටර් 5.38 )දක්ෂතම ක්‍රීඩකයා පිටියේ ඉසව්ව – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග ( දුර පැනීම මීටර් 7.11 )මළල ක්‍රීඩා උළලේ උපරිම දක්ෂතාවය දැක්වූ ක්‍රීඩිකාව පිටියේ ඉසව්ව – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ( දුර පැනීම මීටර් 5.38 )මළල ක්‍රීඩා උළලේ උපරිම දක්ෂතාවය දැක්වූ ක්‍රීඩිකයා – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග ( දුර පැනීම මීටර් 7.11 ) දක්ෂතම පිටපළාත් කණ්ඩායම හිමි කුසලනාය ලකුණු 63 කුරුණෑගල කොට්ඨාසයට හිමිවිය.හොඳම අචාර පෙළපාලියට හිමිකම් කියනු ලැබුවේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයයි.සමස්ථ කාන්තා ශූරතා කණ්ඩායම – ලකුණු 80 ක් ලබාගත් පොලිස් විශේෂ කාර්ය බලකා කාන්තා කණ්ඩායම.සමස්ථ පිරිමි ශූරතා කණ්ඩායම – ලකුණු 222 ක් ලබාගත් පොලිස් විශේෂ කාර්ය බලකා පිරිමි කණ්ඩායම සමස්ථ මලළ ක්‍රීඩා උළලේ දක්ෂතම මළල ක්‍රීඩිකාවට හිමි පළිහ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ක්‍රීඩිකාවසමස්ථ මලළ ක්‍රීඩා උළලේ දක්ෂතම ක්‍රීඩිකයාට හිමි පළිහ – සම ළකුණු දිනාගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග, පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් පරීක්ෂක ඒ.එම්.එම් පෙරේරා, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර යන නිලධාරීන් දිනාගත්හ. ගරු අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළලේ සමස්ථ අනුශූරතාවයට හිමි අග්‍රාමාත්‍ය කුසලානය ලකුණු 97 ක් ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිමිකරගැනීමට සමත්වූ අතර ලකුණු 302 ක් ලබාගනිමින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළලේ ජයකෙහෙළි නැංවූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමස්ථ ශූරතාවයට හිමි ජනාධිපති කුසලානය දිනාගත්හ.  පොලිස් සංස්කෘතික කොට්ඨෘසයේ දර්ශනීය නැටුම් ගැයුම් ඉදිරිපත්කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමිය විසින් පැවැත්වූ උත්සවයේ ප්‍රධාන කතාව සහ උළෙලේ සමාප්ති ප්‍රකාශය සමඟින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළෙල අතිසාර්ථකව සමාප්ත කිරීමට ක්‍රීඩා කොට්ඨාස ධජ අඩකුඹු කර පහත හෙලන ලදී. මෙම අවස්ථාවට පූර්ණ සහයෝගය එක්කරමින් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ක්ෂේත්‍ර බලකා නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, පොලිස් මළල ක්‍රීඩා සංගමයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, කාන්තා නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී චන්දන ගමගේ, පොලිස් මළල ක්‍රීඩා සංගමයේ ලේකම් සුගත් ගලගමගේ මහතා සහ ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පින්නදූව යන මහත්ම මහත්මීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන් රැසකගේ සහභාගීත්වය, මාධ්‍ය හා තාක්ෂණික මෙන්ම ශ්‍රම බලය ඔස්සේ පොලිස් කොට්ඨාස රැසක, පාර්ශව රැසක දායකත්වය හිමිවූ බව සඳහන් කළ යුතුය.

Special Events - SI

84 වන අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළලේ සමාරම්භය

දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි පොලිස් නිලධාරීන් අතරින් ජාත්‍යන්තර කෙළිබිම සඳහා සන්නද්ධ කළ හැකි ක්‍රීඩා තරු හදුනාගැනීම අරමුණ කරගනිමින් පවත්වන ශ්‍රී ලංකා පොලිසියේ අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල මෙවර තෙදිනක් පුරා පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථාන‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොලිසියේ 84 වන අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ලෙස සනිටුහන් වන මෙවර උළෙලේ සමාරම්භක උත්සවය 2025.09.12 වන අද දින උදෑසන පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව ක්‍රීඩා නායකයින් වන පොලිස් කොස්තාපල් 90433 විජේතුංග නිලධාරියා සහ කාන්තා පොලිස් කොස්තාපල් 7109 සචිත්‍රා හර්ෂණී නිලධාරිනිය විසින් ගිනි සිළුව දැල්වීමත් සමඟ ආරම්භ විය.  කාන්තා, පිරිමි මීටර් 200 මූලික වටයේ තරඟ, උස පැනීම, දුර පැනීම සහ කඹ ඇදීම වැනි පිටිය හා ජවන තරඟ ඉසව් සමාරම්භක දිනය පුරා පැවැත්වීමට නියමිතය.

Special Events - SI

මූලික පුහුණුව නිමා කළ ආධුනික කොස්තාපල්වරුන් 396 ක් රාජකාරි සඳහා විසිර යයි

අප මාතෘ භූමියේ බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට හැකි පරිසරය පවත්වාගැනීමට මෙන්ම මහජනතාවට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන පොලිස් සේවා දිවා රැය නොබලා සැලසීම උදෙසා දිවුරුම් දෙමින්, මාස 08 කට ආසන්න කාලයක් කළුතර පොලිස් විදු මව් සෙවණේ සිය මූලික පුහුණුව සම්පූර්ණ කළ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 396 දෙනෙක් ඔවුන් අනුයුක්ත කළ පොලිස් ස්ථාන වෙත 2025.09.09 වන අද දින සාඩම්බරව විසිර ගියහ. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විසිරයාමේ උත්සවය කළුතර පොලිස් විද්‍යාලයේ අළුවිහාර ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙස පැවැත්වුනි. පොලිස් කොස්තාපල්වරුන් 367 දෙනෙකුගෙන් සහ පොලිස් කොස්තාපල් රියදුරන් 29 දෙනෙකුගෙන් සමන්විත වූ ඇණි 12 කින් සමන්විත වූ මෙවර විසිරයාමේ උළෙලේ සම්මාන පෙළපාලිය ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස මෙහෙයවනු ලැබුවේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා විසින්ය. දෙවන අණදෙන නිලධාරීවරයා ලෙස කළුතර පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධීන් චන්ද්‍රදීප් මහතා කටයුතු කරන ලදී. සම්මාන පෙළපාලිය නිමාවීමෙන් අනතුරුව පුහුණුකාලය තුල කැපී පෙනෙන අයුරින් විශිෂ්ඨ දස්කම් දැක්වූ නිලධාරීන් උදෙසා කාණ්ඩ 05 ක් යටතේ ත්‍යාග සහ සහතික පත් ගරු අමාත්‍යතුමන්ගේ සහ පොලිස්පතිතුමන්ගේ සුරතින් පිළිගැන්වුනි.  * අති දක්ෂතම පොලිස් නිලධාරියා ලෙස ආධුනික පොලිස් කොස්තාපල් 107351 සී.බී.කේ.ආර්. නෙත්කැළුම්, * නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික නිලධාරීයා ලෙස ආධුනික පොලිස් කොස්තාපල් 107257 බී.ඩී.කේ. සම්පත්, * දක්ෂතම වෙඩික්කරු ලෙස ආධුනික පොලිස් කොස්තාපල් 107516 එස්.එම්.පී.ඒ.බී. සෙනෙවිරත්න, * දක්ෂතම ආධුනික කොස්තාපල් රියදුරු ලෙස ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු 103370 ඒ.එම්.ජේ.ඩී.බී. ජයසුන්දර,* හොඳම රියදුරු ලෙස ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු 103705 ආර්.එම්.අයි.පී. ජයතිලක ඉන් අනතුරුව උත්සව සභාව ආරම්භකරමින් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාල වැඩ බලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුෂාන්ත රුවන් තලගල මහතා විසින් උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුලුව පැමිණ සිටි පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ‌ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බඳවා ගැනීම හා පුහුණු දිසාව නියෝජ්‍ය පොලිස්පති අනුර පුෂ්පකුමාර යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රධාන රාජ්‍ය ආයතනයන්හි මුලසුන් හොඹවමින් උත්සවය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආධුනික නිලධාරීන්ගේ දෙමව්පියන් සහ හිතවතුන් සාදරයෙන් පිළිගත්තේය. උත්සව සභාව ආමන්ත්‍රණය කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නවක නිලධාරීන්ට සුභාසිංශන එක්කර පොලිස් සේවයේ යහපත් වෘත්තීයභාවයෙන් නිරතවීමෙන් ජීවිතයට එක්කර ගත හැකි වටිනාකම් පිළිබඳව පැහැදිලි කළහ. සුපුරුදු පරිදි විසිර යාමේ උළලක සමාප්තිය ගාම්භීරත්වයෙන්, රසාස්වාදයෙන් සහ දර්ශනීයභාවයෙන් නිමකිරීමට එක්වන පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් බටහිර තූර්ය වාදන කණ්ඩායම, පොලිස් සංස්කෘතික කොට්ඨාසය සහ හැකියාවන්ගෙන් සපිරි පොලිස් විද්‍යාල කණ්ඩායම් විදහා පෑ සන්දර්ශන, වාදන සහ නර්තනාංගයනගෙන් මගින් පැමිණ සිටි සියල්ලන් පිනවන ලදී.  මෙවරත් මෙම සියලු අවස්ථාවන් සජීවීව නැරඹීමට SRI LANKA POICE නිල FACEBOOK පිටුව හා එක්වූ සැමට අවස්ථාව හිමිවිය.  

Special Events - SI

අළුත්වැඩියා කරන ලද කුරුඳුවත්ත පොලිස් ස්ථානයේපරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අළුත්වැඩියා කරන ලද කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය 2025.09.04 වන දින උදෑසන ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ සහභාගිත්වයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.  වසර 102 ක් පැරණි මෙම පරිපාලන ගොඩනැගිල්ල රුපියල් මිලියන 70 ක මුදලක් වැය කරමින් අළුත්වැඩියා කටයුතු සිදු කර අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් බවට පත්කර ඇති අතර එය නව අවි ගබඩාවකින් සමන්විතය. 1923 වර්ෂයේදී ඔබේසේකර පවුලෙන් පරිත්‍යාගයක් ලෙස මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසියට හිමිව ඇති අතර එම පවුලේ සමාජිකාවක් වන සොන්ඩ්‍රාල් හිරන්ති ඔබේසේකර මහත්මියද මෙම උත්සවයට සහභාගි විය. මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එල්.ඒ. සූරියබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධරයන් පිරිසක් සහභාගි විය.

Special Events - SI

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නව ආරම්භයක්

මෙරට සිදුවන ආන්දෝලනාත්මක අපරාධ හා අතීතයේ මෙරටින් වාර්තා වූ තවමත් නොවිසිදුනු අපරාධ පිළිබඳව විමර්ශන සිදුකර එම අපරාධයන්හි සැබෑ අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලිසියේ පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මේ වනවිට එහි විමර්ශන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව නීති විරෝධී වත්කම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ, පරිගණක අපරාධ, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ වැනි අපරාධ විමර්ශනයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම සහය වීමට හැකිවීමෙන් මෙරට ක්‍රියාත්මක වන අපරාධ ජාලයන් මෙන්ම අපරාධකරුවන් හදුනාගෙන ඊට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශනය කිරීම මෙම කාර්යංශය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි මෙම අරමුණු සහ මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා විධිමත් රාජකාරි ස්ථානයක් ලෙස හදුනාගත් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙහි වෙන්කරගන්නා ලද කාර්යාලයක් තුළ පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථාපිත කිරීම 2025.09.04 වන අද දින මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ හා කම්කරු නියේජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුනි. මෙම අවස්ථාව සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සහ එම කාර්යංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

Special Events - SI

හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල‌යේ නව ගොඩනැගිල්ල විවෘතයි

මීගොඩ පොලිස් වසමේ ගොඩගම හන්දිය ආසන්නයේ ඉදිකළ හෝමාගම නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන්, , මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.09.03 විවෘත කරන ලදී. කොට්ටාව, හෝමාගම, මීගොඩ, අතුරුගිරිය, නවගමුව, කඩුවෙල, පාදුක්ක, හංවැල්ල, කොස්ගම යන පොලිස් ස්ථාන නවයක් හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අයත් වන අතර හෝමාගම කොට්ඨාස භාර නිලධාරියා ලෙස මේ වනවිට රාජකාරි ඉටුකරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි C.D ලියනගේ මහතායි. ඉතා කාර්යක්ෂම මෙන්ම ඵලදායි මහජන සේවයක් උදෙසා විධිමත් ලෙස ඉදිකළ තිබෙන නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය 071 – 8592113 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධකරගැනීමට ඔබට හැකියාව පවතී. විවෘත කිරීමේ අවස්ථාව සඳහා පොලිස්පතිතුමන් සමඟ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ප්‍රදීප් කළුපහන මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

Scroll to Top