Notable Services – SI – Page 3 – ශ්‍රී ලංකා පොලිසිය

Notable Services – SI

Notable Services - SI

විපතට පත්වූ දුෂ්කර පාසල් දරුදැරියන් අස්වැසුමට පොලිස් සේවා වනිතා ඒකකය ඌව පළාතට –

පොලිස් සේවා වනිතා ඒකකයයේ ගරු සභාපතිණි නීතිඥ නිල්මිී නීටා සමරතුංග මැතිණියගේ සංකල්පයකට අනුව එම ඒකකය දිවයිනේ දුෂ්කර පාසල් පිළිබඳව තොරතුරු ලබාගෙන සිසු සිසුවියන් හට පරිත්‍යාගයන් ලබාදීමේ වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වනු ලබයි. දිවයිනට බලපෑ අයහපත් කළගුණ තත්වයද සැලකිල්ලට ගෙන සංවිධානය කළ එහි තවත් එක්  වැඩසටහනක් නීතිඥ නිල්මිණි නීටා සමරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.12.15 වන දින රිදීමාලියද්ද, අරාව හා කන්දකැටිය යන පොලිස් වසමේදී පවත්වා ඇත. එහිදී සුරක්ෂිත මධ්‍යස්ථාන කිහිපයක රැදී සිටින පාසැල් දරුවන් 555 දෙනෙකු උදෙසා වියළි ආහාර ,පානීය ජලය, අත්‍යවශ්‍ය භාණ්ඩ, හා පාසැල් දරුවන් සදහා පාසැල් පොත් හා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ”මහාචාර්ය නන්දදාස කෝදාගොඩ අනුස්මරණ භාරය” මෙම සමාජ මෙහෙවර වඩාත් සාර්ථකව ඉටුකිරීම සඳහා අනුග්‍රහය දක්වා ඇත.  බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, පොලිස් සේවා වනිතා ඒකකයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණි ජයවීර, කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීපාල් ජයතුංග,අරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුලුව පොලිස් සේවා වනිතා ඒකකයේ සහ කන්දකැටිය හා අරාව යන පොලිස් ස්ථානයන්හි නිලධාරීන්ගේ සහයෝගය හා සහභාගීත්වය වැඩසටහන සඳහා හිමිව ඇත.

Notable Services - SI

ලක්විදු පෙර පාසලේ 2025 – වාර්ෂික විවිධ ප්‍රසංගය

නිසි දෙමාපිය රැකවරනයක් නොමැතිව හෝ පහසුකම් සහිතව පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයකට යොමුවීමට හැකියාවක් නොමැතිව හැදී වැඩෙන දරු දැරියන් වෙනුවෙන් ප්‍රජා පොලිස් කොට්ඨාසය නොමිලේ පවත්වන ලක්විදු පෙර පාසල,  2025 වර්ෂයට නියමිත ඔවුන්ගේ විවිධ ප්‍රසංගය 2025.12.12 වන දින උදෑසන බොරැල්ල ගෝතමී මාවත ප්‍රජාශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. 2009 වසරේදී ප්‍රජා සත්කාරයක් ලෙස ආරම්භ කළ ලක්විදු පෙර පාසලේ ඉගැන්වීම් සඳහා අද වන විට ප්‍රජාපොලිස් කොට්ඨාසයේ කාන්තා පොලිස් පරීක්ෂක දීපිකා නිලධාරිනිය ඇතුලුව එම කොට්ඨාසයේ සුදුසුකම් ලත් නිලධාරිනියන් සිව් දෙනෙක් අනුයුක්ත කර ඇත.  කුමන පරිසරයක හැදී වැඩුනද අධ්‍යාපනය ලබාදී ඔවුන්ව නිසි ජීවන මඟට ගැනීම මව්බිමේ සුභවාදී ආනගතයට අයෝජනයක් වන බැවින්  ප්‍රජා පොලිස් කොට්ඨාසයේ මෙම ප්‍රජාසත්කාරයට සහය වෙමින් පොලිස් පවුල් සුභසාධක සංගමය, කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය හා පොලිස් බෞද්ධ සංගමය ලක්විඳු පෙර පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් වෙත ඇඳුම් පැළඳුම්, නිසි පරිදි දෛනික උදෑසන දහවල් ආහාර කිසිදු අයකිරීමකින් තොරව අඛන්ඩව ලබාදෙමින් සිදුකරන මෙහෙවර දරුවන්ගේ භාරකරුවන් විසින් ප්‍රශංසනීයව අගයයි.   එවැනි සියලු සහයෝගයන් සමඟ 35 දෙනෙකු වන මෙවර දරු කැළටද වර්ෂ අවසාන වින්දනීය විවිධ ප්‍රසංගයක නවමු අත්දැකීමක් ලබාදීමට හැකි වීම සතුටට කරුණකි. ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ්.ආර්.එන් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ  පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ඒ්.එස්.එස්.ඒ් ජයතිලක මහතා, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා, එම කොට්ඨාසයේ ව්‍යාපෘති අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමින්ද රාජපක්ෂ මහතා ඇතුළු ගරුවර, භාරකරුවන් සහභාගී වූහ. ප්‍රසංගය අතරතුර දරු දැරියන් උදෙසා වූ ත්‍යාග හා තිළිණ ප්‍රධානය සිදු කළ අතර ඒ සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ ප්‍රියන්ත  මහතා ප්‍රධානත්වය ගෙන මූල්‍ය අනුග්‍රහය සපයා ඇති අතර  ලංකා බැංකුවද මූල්‍ය අනුග්‍රහය සපයමින් එම කාර්යය මණ්ඩල නිලධාරිනියන් දෙදෙනෙක් ප්‍රසංගය සඳහා එක්වන ලදී.  නිසි රැකවරණයක් නොමැති හෝ පහසුකම් අවම බව තහවුරු වන ග්‍රාම නිලධාරී නිර්දේශයක් සමඟින්  පූර්ව ළමා වියේ පසුවන ඕනෑම ප්‍රදේශයක වෙසෙන දරුවෙක් ඇතුලත් කිරීම සඳහා  බොරැල්ල ගෝතමී මාවත ප්‍රජාශාලාවේ පවත්වන ලක්විදු පෙර  පාසල සතියේ දින පහ තුල විවෘතයි.

Notable Services - SI

විපතට පත් ජනතාව වෙනුවෙන් කොළඹ මධ්‍යම කොට්ඨාසය ‍ඉටුකළ යුතුකමින් බිඳක්

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 08 හි රාජකාරි නියුතු නිලධාරීන් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රැසකළ වියළි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් 2025.12.02 වන අද දින උදෑසන පොලිස් කැබ් රථ මත පටවා  මධ්‍යම පළාතේ කොත්මලේ ප්‍රදේශයට බෙදා දීම සදහා රත්මලාන ගුවන් හමුඳා කඳවුර වෙත පිටත් කර හරින ලදී. ආපදා තත්වයට මැදිව පීඩාවට පත්ව සිටින අපේම සහෝදර ජනතාවට හැකි උපරිම අයුරින් අස්වැසිල්ලක් වෙමින් රට නැවත ගොඩනැගීම සඳහා ප්‍රමුඛ පෙලේ දායකත්වය ඉදිරියටත් ලබාදීමට කැපවන්නෙමු.

Notable Services - SI

පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ මූලිකත්වයෙන් වෛද්‍ය කදවුරක් සහ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක්.

ජල ගැලීමෙන් විපතට පත් සේදවත්ත ප්‍රදේශයේ ජනතාව රදවා සිටින සේදවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා කදවුරේ සිටින අපේම සහෘද ජනතාව වෙනුවෙන් පවත්වන ලද වෛද්‍ය කදවුරක් අද දින පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ මූලිකත්වයෙන් පැවැත්විණි.  ඒ සදහා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාද සහභාගිවූ අතර පොලිස් රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු සහ හෙද කාර්ය මණ්ඩලයක් මෙම වෛද්‍ය කදවුර සදහා සහභාගි වූහ. මෙහිදී සුරක්ෂා කදවුරේ රදවා සිටි 200 කට ආසන්න අපේම ආදරණීය ජනතාව පරීක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ සෞඛ්‍යමය උපදෙස් ලබාදීමද සිදු කරන ලදී.  මීට සමගාමීව සුරක්ෂා කදවුරේ රැදී සිටින ජනතාව සදහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක්ද පැවති අතර ඒ සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රී දමින්ද, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, නිශාන්ත ද සොයිසා, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂිකා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මදාරා ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී. 

Notable Services - SI

බදුල්ල සහ මහියංගනය ප්‍රදේශ වල විපතට පත් ජනයා වෙනුවෙන් පෙරට ආ කුට්ටිගල ජනතාවට සහය

ගංවතුරෙන් සහ නාය යාම් වලින් විපතට පත් ආදරණීය ජනතාව සදහා කුට්ටිගල පොලිස් නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ  සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එක්රැස් කර ගත් ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් 2025.12.01 වන දින ඇඹිලිපිටිය නගර සභාවේ ස්ථාපිත කර තිබූ භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදීම සිදු කරන ලදී.  මේ සදහා ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුසිත කුමාර මහතා සහ ඇඹිලිපිටිය දිස්ත්‍රික් 1 භාර සහකාර පොලිස් අධිකාරී ඒ.එස් ප්‍රියන්ත මහතා සහභාගි වූ අතර කුට්ටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර රාජපක්ෂ මහතා මෙම සත්ක්‍රියාව සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

Notable Services - SI

අයහපත් කාලගුණය හේතුවෙන් අක්‍රිය වූ දුරකථන කුළුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යමින්

විදුලි බලය ඇණහිටීමෙන් අක්‍රිය වී ඇති දුරකථන කුළුනු යථා තත්වයට පත්කර ගැනීම අවශ්‍ය ජෙනරේටරයක් හා ඩීසල් රැගෙන බල්ලෙකැටුව හා ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් බැල්ලෙකැටුව ප්‍රදේශයෙන් නමුණුකුල කන්ද තරණය කරමින් සිටී. කඳුකර පෙදෙස්හි විපතට පත්වූවන් මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කණ්ඩායම් සඳහා දුරකථන සන්නිවේදනය අත්‍යවශ්‍යය වී ඇති අතර මෙම ප්‍රයත්නය සාර්ථක වූ පසු ඔබටද දුරකථන මාර්ග ඔස්සේ බදුල්ල ප්‍රදේශය අවට ජීවත්වන සමීපතමයන් සම්බන්ධ කරගැනීමේ පහසුව හිමි වනු ඇත.

Notable Services - SI

උතුරු මැද පළාතේ අවතැන් වූ ජනතාවට ආධාර බෙදා දෙමින්

බලාපොරොත්තු පොදිබැඳන් දුක් මහන්සියෙන් කුඹුරු කර නෙලාගත් අස්වැන්නෙන් වී මිටි සහල් ගොඩගැසූ උතුරුමැඳ ජනතාවගේ නිවෙස් බහුතරයක් අයහපත් කාළගුණය ගෙනා ජල කඳේ ගිලී හානියට පත්වී අවසන්. වේදනාව සංසිඳුවීමට අධාර උපකාර කළ යුතු ප්‍රමාණය සිතාගත නොහැකි තරම් වුවත් මේ මොහොත් උතුරු මැඳ ජනතාවගේ කුසගිනි නිවාලීමට දකුනේ පරිත්‍යාශීලී ජනතාව එවූ වියළි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ආධාර පොලිස් ට්‍රක් රථ යොදාගිනිමින් බෙඳාදීමට උතුරුමැඳ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටී. පානීය ජල බෝතලයකට වුවත් නොසෑහෙන වටිනාකමක් ඇති වී ඇති මේ මොහොතේ පරිත්‍යාගශීලීවෙමින් ආධාර උපකාර කිරීමට සහය වන අපේම ජනතාවට ශ්‍රී ලංකා පොලිසියේ හද පිරි ආචාරය !

Notable Services - SI

විපතට පත්වූවන් ගලවාගැනීමේ මෙහෙයුම් අඛන්ඩව

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර, නායයෑම් සහ අනෙකුත් ව්‍යසනයන්ගෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදා, විවිධ සහන කණ්ඩායම් සහ අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන්  අඛණ්ඩව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි.  පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සුභසාධන සහාය ලබා දීම සිදු කරයි. Video 1 Video 2 Video 3 Video 4 Video 5 Video 6 Video 7

Notable Services - SI

දිවි රැකගැනීමේ ශිල්පයට පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකය හමුවූ සරසවි සිසුන්

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර තාක්ෂණ පීඨයේ සිසු සිසුවියන්ගේ ඉල්ලීමක් පරිදි පොලිස් නාවික කොට්ඨාසයේ පානදුර ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් උදෙසා සංවිධානය කළ එක් දින ජීවිත ආරක්ෂක වැඩමුළුවක් 2025 නොවැම්බර් 9 වන දිනය පුරා පානදුර වෙරළ ආශ්‍රිතව පැවැත්වුනි. සිසු සිසුවියන් 70 දෙනෙකු පමණ සහභාගී වී සිටි එම වැඩමුළුවේදී දියේ ගිලීමකදී මෙන්ම ජලාශ්‍රිත පරිසරයකදී මුහුණ පෑමට සිදුවිය හැකි අනතුරකින් ජීවිතය බේරාගැනීම සඳහා අනුගමනය කළ හැකි මූලික ක්‍රියාමාර්ග පිළිබඳව අංගසම්පූර්ණ දැනුවත් කිරීමක් ලබාදුුුන් අතර දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් වැඩමුළුව සමන්විත විය. සිසු සිසුවියන් භාරව පරිසර  තාක්ෂණ පීඨයේ  සභාපති මොනාරා වීරකෝන්, එම පීඨයේ උප සභාපති මදුන් ඩිල්හාර යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.  උප පොලිස් පරීක්ෂක නිමල් සිරි, පොලිස් සැරයන් 35491 සුමිත්, පොලිස් සැරයන් 50342 ඥානරත්න, පොලිස් කොස්තාපල් 33628 ලක්මාල්, පොලිස් කොස්තාපල් 101557 ධනුක, පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් විසින් වැඩසටහන මෙහෙයවන ලදී.

Scroll to Top