Police News – SI – Page 2 – ශ්‍රී ලංකා පොලිසිය

Police News – SI

Police News - SI

පොලිස් පරීක්ෂක ඩී.බාලේන්ද්‍ර මහතා ඝාතන සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සක්‍රියව කටයුතු කළ පොලිස් පරීක්ෂක ඩී  බාලේන්ද්‍රසිංහ මහතා  නාඳුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් 2023.10.09 වන දින ඝාතනයට ලක්වූයේ ගාල්ල කරාගොඩ ප්‍රදේශයේදී ය. එම ඝාතනය සඳහා වෙඩික්කරු ප්‍රවාහනය කළ යතුරුපැදිකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 2026.05.09 වන දින අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු බව අනාවරණය වී තිබේ වයස අවුරුදු 38 ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී 2026.05.11 වන දින මීටියාගොඩ කිරලගහවෙල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබූ ටී-56 වර්ගයේ ගිනි අවියක් එම ජීව පතරොම් 15 ක් හා පතරොම් ගැබක් සොයාගැනීමටද හැකිවිය.  මේ වන විට රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරු ඩී. බලේන්ද්‍රසිංහ මහතා ඝාතන සිද්ධියේදී මෙම ගිනි අවිය භාවිතා කර තිබේද යන්න සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් තවදුරටත් විමර්ශන සිදුකරයි.

Police News - SI

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත 2026.05.01 දින සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව 2026 මැයි 01 වන දින සිට රක්ෂණ ආයතන මඟින් මුද්‍රිත මෝටර් රථ රක්ෂණ කාඩ්පත වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් (Digital Motor Insurance Cards) නිකුත් කරයි.  ඒ් අනුව පොලිස්පතිතුමා විසින් සියළු පොලිස්ථාන දැනුවත් කරමින් අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී ඇත. මෝටර් රක්ෂණාවරණ පහත ආකාරවලින් මහජනතාව වෙත ලබා දීමට නියමිතයි. • ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card) • මුද්‍රිත සහතිකයක් (රක්ෂණ හිමියාගේ ඉල්ලීම මත පමණක්) • රක්ෂණ සමාගම මඟින් රක්ෂණ හිමියාට ජංගම දුරකථන යෙදුමක් මඟින් (Phone App)  ලබාදෙන ඩිජිටල් රක්ෂණ කාඩ්පත. එමෙන්ම ඩිජිටල් මෝටර් රථ රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට සමගාමීව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය (National Insurance Verification System) හඳුන්වා දී ඇති අතර, එයට පහත සඳහන් ක්‍රම මඟින් ප්‍රවේශ විය හැක. මෙමඟින් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව දන්වා ඇත. i). USSD Code: *1338# ඔස්සේ පහත පියවර අනුගමනය කරන්න. ඕනෑම ජංගම දුරකථන සම්බන්ධතාවක් මඟින් *1338# අංකයට ඇමතීම මගින්, • වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීම. • අදාල රක්ෂණාවරණයේ වත්මන් තත්ත්වය (Active Status) ක්ෂණිකව ලබාගත හැකි බව සඳහන් කර ඇත. ii). SMS: 1338 කෙටි පණිවිඩ සේවාව. • ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මඟින් 1338 වෙත යොමු කල හැක. • එවිට රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව (Active) පවතින්නේ ද යන්න ක්ෂණිකව කෙටි පණිවිඩයක් මඟින් පිළිතුරු ලැබෙනු ඇත. iii). ක්ෂණික දුරකථන අංකය වන 1338 අංකයට ඇමතීම. • ඇමතුම ලබා ගත් පසුව ලැබෙන උපදෙස් අනුව අදාල රක්ෂණ ආයතනය තෝරා ගන්න. • එවිට අදාල රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අංශය වෙත යොමු වේ. • අදාල රක්ෂණ සමාගම වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දෙන්න. • ඔවුන් විසින් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරනු ඇත. *1338# මඟින් සහ කෙටි පණිවිඩ (SMS) ලෙස තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුළත් කිරීමේදී – වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් සමන්විත ඉලක්කම ඇතුළත් කළ යුතුවේ.  වාහන අංකය ඇතුළත් කිරීමේ දී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ (Space) නොතැබිය යුතු වේ. යම් මෝටර් වාහනයක අංකය “ශ්‍රී” වශයෙන් පවතින විට එම අක්ෂරය “SRI” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කිරීමට කටයුතු කල යුතුවේ. උදා: 311-1234, CC-1234, CCC-1234, 1-SRI-1234 ඉහත ක්‍රම මඟින් මෝටර් වාහනයක රක්ෂණය පරීක්ෂා කරන අවස්ථාව වන විට වලංගුව පවතින්නේ ද නැද්ද යන්න ක්ෂණිකව දැන ගත හැකි අතර  කෙටි පණිවිඩ සේවාව මඟින් වඩා පහසුවෙන් මෙම තොරතුරු ලබා ගත හැකිය.  1338 කෙටි දුරකථන අංකයට ලබා ගන්නා ඇමතුම් හෝ කෙටි පණිවිඩ සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොකරන බව දැනුම් දී ඇත. රක්ෂණ සමාගම් මඟින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළ ද තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. ඉදිරියේදී තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම නතර කිරීමට අපේක්ෂා කර ඇති අතර එතෙක් තාවකාලික රක්ෂණ ආවරණ පෙර පරිදි ම වලංගුව පවතින බව තවදුරටත් දන්වා ඇත. 2026 මැයි 01 දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කිරීම සිදු කළ ද මේ දක්වා නිකුත් කර ඇති රක්ෂණ කාඩ්පත් වල වලංගු කාලය නියමිත කාලය අවසන් වනතුරු එලෙසම පවතී. යම් රියදුරෙකු විසින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අවස්ථාවකදී ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ මුද්‍රිත ඡායා පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවක දී, කෙටි දුරකථන අංකය භාවිතයෙන් හෝ කෙටි පණිවිඩ සේවාව  මඟින් එම රක්ෂණයේ වලංගුභාවය තහවුරු කර ගැනීමට හැකියාව පවතියි. 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය ප්‍රකාරව මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම, එහි බලපෑම හෝ වලංගුභාවය අහිමි කළ නොහැක.

Police News - SI

සංවිධානාත්මක අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වන බටුවත්තේ චාමර නම් සැකකරු අත්අඩංගුවට

මෙරට රාජ්‍ය බුද්ධි සේවාව හා අසර්බයිජාන් බුද්ධි සේවාව වන රාජ්‍ය ආරක්‍ෂක සේවාව (State Security Service of Azerbaijan) එක්ව පසුගිය දිනක අසර්බයිජානයේ  සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් ශ්‍රී  ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බටුවත්තේ චාමර යන අනවර්ත නාමයෙන් හදුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.  රාජතාන්ත්‍රික සබඳතා හරහා එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.05.10 දින දිවයිනට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදී සැකකරු වයස අවුරුදු  48 ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. • සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගණේමුල්ල සංජීව, කෙහෙල්බද්දර පද්මේ හා  කමාන්ඩෝ සලින්ත යන අයවලුන් සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවල නිරතවී ඇති බවට අනාවරණය වීම. • 2020.12.06 වන දින සුරාබදු නිලධාරින් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා වාහන 04 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම හා සැකරුවන්  මෙහෙයවීම ඩුබායි සිට මොහු විසින් සිදුකර ඇති බවට අනාවරණය වීම. • 2023.12.31 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය මොහු විසින් මෙහෙයවා ඇති බවට හා එම අපරාධය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සිදුවීමක් මුල්කරගෙන සිදුකර ඇති බවට අනාවරණය වීම.  • 2024.07.25 වන දින  ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවකට හා ත්‍රී රෝද රථ රියැදුරකු වෙඩි තබා ඝාතනය කිරීමේ  සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙම සැකකරු විසින් බවට අනාවරණය වීම.  • 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේදී වීදි මාවත කඳාන ලිපිනයේ පිහිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකුගේ නිවසකට වෙඩි තබා අලාභ කිරීමේ සිදුවීම මෙම සැකකරුගේ අනුගාමිකයින් යොදවා සිදුකර ඇති බවට අනාවරණය වීම. යන චෝදනා හා වැරදි යටතේ මෙම සැකකරුහට පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.

Police News - SI

ගංජා කිලෝග්‍රෑම් 190 ග්‍රෑම් 180 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.05.02 දින උදෑසන මාලිගාවිල දෙස සිට ඔක්කම්පිටිය දෙසට 02 කණුව ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 190 ග්‍රෑම් 180 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 35 සහ 39 වයස්වල පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔක්කම්පිටිය පොලිස් ස්ථානය සැකකරුවන් පිළිබඳව සහ ආධාර අනුබල දුන් අය අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.

Police News - SI

බස්නාහිර පළාත තුළ අපරාධ මැඩලීම සඳහා තොරතුරු ලබාදිය යුතු දුරකථන අංකය

බස්නාහිර පළාත තුළ අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරොධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා තොරතුරු ලබාදිය හැකි නව WhatsApp  අංකය – 077 7128128 පැය 24 පුරා මෙම WhatsApp අංකයට ලැබෙන තොරතුරු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය මගින් නිරීක්ෂණය කෙරෙන අතර තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය සුරැකේ.

Police News - SI

නීතී විරෝධී අයුරින් ඉපැයූ රන් භාණ්ඩ තොගයක් උකස් කළ, විකිණූ කාන්තාවක් මුදල් විශූද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට

2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකු‌ගේ බිරිඳගේ මව  නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් 2026.03.15 දින සවස මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.  ජාවාරම්කරු ඉපැයූ මුදලින් මිලදීගත් දේපළ සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී රන් භාණ්ඩ තොගයක් මෙම සැකකාරිය විසින් මූල්‍ය ආයතන කිහිපයක උකස් කර පසුව මන්නාරම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැල් කිහිපයකට විකිණීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඒ් අනුව මුදල් විශූද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගන්නා ලද භාණ්ඩ බව දනිමින්ම උකස් කිරීම හා විකිණීම සිදු කිරීම යන වැරදි සැකකාරිය විසින් සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇත. සැකකාරිය වයස අවුරුදු 66 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ජාවාරම මගින් උපයාගත් දෙමහල් නිවසක්, කඩකාමර 05 කින් යුත් නිවසක්, මෝටර් රථයක් හා රන් පවුම් 360 කට ආසන්න රන් ආභරණ ප්‍රමාණයක් සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්  මහාධිකරණයේ නඩු පවරා භාවිතය තහනම් කර එම නියෝග දීර්ඝ කිරීම සිදු කරමින් පවතී. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Police News - SI

කුඩා ඇසුරුම් ලෙස සකස්කළ අයිස් ග්‍රෑම් 261 මිලිග්‍රෑම් 620 ක් සමඟ22 හැවිරිදි පාතේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට

2026.03.15 වන දින අළුයම අහුංගල්ල ගමකරවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස සිටි පුද්ගලෙයකු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 261 මිලිග්‍රෑම් 620 ක් අත්අඩංගුවට ගැනීමට අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකින් හැකිවී ති‌බේ. සැකකරු මත්ද්‍රව්‍ය ‌බෙදාහැරීමේ නිරතවන්නෙකු බවට සැකකළ හැකි පරිදි කුඩා ප්‍රමාණයේ මත්‍ද්‍රව්‍ය ඇසුරුම් කිහිපයක් සන්තකයේ තිබී හමුවී අති අතර ජාවාරිමන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 105,000/= ක්ද ‌පොලිස් භාරයට ‌ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 22 ක් වන පාතේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අහුංගල්ල පොලිස් ස්ථානය විසින් සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Police News - SI

ගංජා කිලෝග්‍රෑම් 2 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 320 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 151 සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට පත්වූ වැටලීම්

*  තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය  2026.03.14 දින දහවල් හුංගම කිවුල දකුණ හා හාතගල ප්‍රදේශ තුළ සිදුකළ වැටලීම් මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210 ක් හා හෙරොයින් ග්‍රෑම් 102 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු 27 හා 39 වයසේ පසුවන අම්බලන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සම්බන්ධව හුංගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි. *  ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එදින රාත්‍රියේ ඌරගස්මංහන්දිය උඩුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 105 මිලිග්‍රෑම් 450 ක් හා හෙරොයින් ග්‍රෑම් 52 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 36 ක් වන ගල්උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. *  ගංජා කිලෝග්‍රෑම් 02 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 260 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරුන මුදල් රුපියල් 84,500 ක් සන්කයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගලේවෙල පොලිස් ස්ථානයට හැකි වී තිබේ. 2026.03.14 දින දහවල් ගලේවෙල ජයතිලකමාවත ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර ඇත. සැකකරු වයස අවුරුදු 38 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙති. ගලේවෙල පොලිස් ස්ථානය මගින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Police News - SI

සොරෙකු ඔබේ නිවසට ගෘහ සේවකයෙකු ලෙස ඇතුල්විය හැකියි !

මිරිහාන,මහරගම,දෙහිවල, ගල්කිස්ස  වැනි කොළඹට ආසන්න තදාසන්න ප්‍රදේශවල නිවෙස් හිමියන් ගෘහ සේවය සඳහා මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා සේවක සේවිකාවන් සොයා ගැනීම බොහෝ විට නියෝජිත ආයතන මගින් හෝ තැරැව්කරුවන් මගින් සිදුකරගනී. ඇතැම් අවස්ථාවල එම සේවකයින් අදාල නිවසේ හිමිකරුවන්ගේ මුදල්, රන් ආභරණ, දේපල හා විදේශීය මුදල් ඇතුළු වටිනා දේ සොරකම් කර පළා ගිය අවස්ථා අවස්ථා පිළිබඳව වාර්තා වන බැවින් යම් අයෙකු සේවකයෙකු ලෙස බඳවා ගන්නේ නම් පහත සඳහන් මගපෙන්වීම් සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව දැනුම් දෙන්නෙමු. * සේවයට බඳවා ගැනීමට පෙර ඔහුගේ හෝ ඇයගේ පසුබිම පරීක්ෂා කරන්න. * ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාරූප පිටපතක් ලබාගෙන එහි මුල් පිටපත පරීක්ෂා කර සත්‍ය  පිටපතක් බව තහවුරු කර ගැනීම. * ස්ථිර හා තාවකාලික පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ඔහු හෝ ඇය සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා ගන්න. * පවුලේ සාමාජිකයන්ගේ දුරකථන අංක ඉල්ලාගෙන තහවුරු කරගන්න. * නිවසේ රන් ආභරණ, මුදල් සහ වටිනා ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක සඟවා තබාගන්න.  

Police News - SI

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 344 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 688 ක් ප්‍රවාහනය අතරතුර අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරට අනුයුක්ත විශේෂ මෙහෙයුම් ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.03.10 වන දින සවස නිට්ටඹුව පොලිස් වසමේ මීඅබේවත්ත පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 344 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ගෑම් 688 ක් යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකුගේ හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධව බන්ධනාගාරගතකර සිටින්නෙකුගේ අනුගාමිකයින් ලෙස මොවුන් හඳුනාගෙන ඇති අතර තවදුරටත් විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

Scroll to Top