Police News – SI – Page 3 – ශ්‍රී ලංකා පොලිසිය

Police News – SI

Police News - SI

කැබිලිත්ත රක්ෂිතයේ ගංජා අක්කර 02 ක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් ස්ථානය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය 2026.03.09 වන දින උදෑසන ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල රක්ෂිත ප්‍රදේශයේ අක්කර 02 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා වගාවක් වැටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අඩි 06 ක් පමණ උසට වැඩී තිබූ ගංජා ගස් 55220 ක ප්‍රමාණයක් භූමි ප්‍රමාණයේ වගාකර තිබී ඇති අතර වගාව ගිණිතබා විනාශ කිරීමට පියවර ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 34 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඇතිමලේ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Police News - SI

දඹුල්ල හබරණ මාර්ගයේ ලොජ් හන්දිය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 46 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හබරණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2025.03.07 වන දින දඹුල්ල මාර්ගයේ ලොජ් හංදිය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 46 මිලි ග්‍රැම්ස් 200 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙක් වයස අවුරුදු 27 ක් වන බකමූණ යාය 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම්ස් 35 මිලි ග්‍රැම්ස් 100 ක් තිබී ඇත. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වයස අවුරුදු 24 ක් වන පලුගස්වැව හබඳිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සන්තකයේ තිබී ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 100 කි. මෙම සැකකරුවන් දෙදෙනා හබරන පොලිස් ස්ථානයේ දින 05 ක රදවා ගැනිමේ නියෝග මත රඳවා ගෙන ජාවරමට සම්බන්ධ අනෙකුත් සැතකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  විමර්ශන සිදුකරයි.

Police News - SI

2026.01.16 ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී 2026 ජනවාරි 16 දින  පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් පරිදි කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ හා කොළඹ මධ්‍යම දිස්ත්‍රික් 1 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඩී ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කරනු ලැබුවේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගිනි.   එම විමර්ශන වල ප්‍රථිපලයක් ලෙස අපරාධය සිදු කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවෙකු උඩවලව ප්‍රදේශයේ  සිටින බවට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද සාර්ථක තොරතුරක් මත එම සැකකරු 2026.03.09 දින උඩවලට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.  ඔහු වයස අවුරුදු 26ක් වන මිරිස්යාය, කොළඹගේආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදුකිරීමේදී සැකකරු භාවිතා කර ඇති ජංගම දුරකතන 02ක් ඇතුළු දේපළ ද, විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු සමඟ එම නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලිස් ස්ථානයට භාරදී ඇත.  මෙම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි අනෙක් වෙඩික්කරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් 2026.03.03 දින දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 830 ක් සමඟ අත්අඩංගුවට ගත් අතර එම සැකකරු අද දින මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.  

Police News - SI

මාධ්‍ය ක්ෂේත්‍රයට සිදුකරන මෙහෙවර වෙනුවෙන් තෙවන වරටත් සම්මානයක්

වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා මාධ්‍ය ක්‍ෂෙත්‍රයට වෙනුවෙන් ඉටුකරන කැපී පෙනෙන කාර්ය භාරය වෙනුවෙන් තෙවන වරටත් ජනතා සම්මානයට පාත්‍ර වෙමින් 2026 මාර්තු මස 12 වන දින සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනු SLI-BA 2026 – Sri Lanka International Business Awards සම්මාන උළෙලේදී විශ්ව අභිමාන්න්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. 2025 දෙසැම්බර් මස 29 වන දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනු  People’s Excellency Awards 2025 සම්මාන උළෙලේදී Public Communication Award සම්මානයට පාත්‍රවීම එතුමා ලැබූ පළමු සම්මානයයි. දෙවන සම්මානය, 2025 වසරේ මෙරට වෙනුවෙන් කැපි පෙනෙන සමාජ සේවයක් ඉටුකළ පුද්ගලයන් ඇගයීමට ලක්කරමින් 2026 පෙබරවාරි මස 02 වන දින කොළඹ 07 පදනම් ආයතනයේදී පැවැත්වුනු ජාතිකාභිමානී උත්තමාචාර 2026 ( Pride of the Nation Award 2026 ) සම්මාන උළෙලේදී පිරිනැමූ  Pride of the Nation සම්මානයයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මාධ්‍ය නිවේදන මාධ්‍ය ආයතන වෙත යොමුකිරීමෙන් ප්‍රජාව දැනුවත් විය තොරතුරු ප්‍රසිද්ධ  කිරීමට කැපවීම, Sri Lanka Police නිල Facebook ගිණුම ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ජාලා සහ පොලිස් නිල වෙබ් අඩවිය ඔස්සේ සෘජුවම මහජනතාව වෙත තොරතුරු, අවවාද, උපදෙස් ගෙනයාමට කටයුතු කිරීම, වැනි ප්‍රශංසනීය මාධ්‍ය මෙ‌හෙවරක නිරතවීම මෙවරද සම්මානයට පාත්‍රවීමට පාදක විය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සාම්ප්‍රදායික මාධ්‍යකරනයෙන් ඔබ්බට ගෙන යමින් නව මාධ්‍ය රටාවට අනුගත වෙමින් ජනාතාවට තොරතුරු සමීපකරවීම සඳහා පොඩ්කාස්ට් (Podcast) වැනි අන්තර්ජාලය හරහා ඕනෑම වේලාවක සවන් දිය හැකි, එපිසෝඩ (episodes) ලෙස නිකුත් වන ඩිජිටල් ශ්‍රව්‍ය/දෘශ්‍ය වැඩසටහන් මාලාවක් පොලිස් නිල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය වෙත මුදාහැරීම වැනි නව සංකල්ප ක්‍රියාවට නැංවීම මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක්විය. එමෙන්ම බාහිර උපදේශකවරයෙකු වශයෙන් සිසුන් හා ආයතන දැනුවත් කිරීමේ වැඩමුළු මෙහෙයවීම මගින් වුට්ලර් මහතා සමාජීය වශයෙන් ලබා ඇති කීර්තිය හා ශ්‍රී ලංකා පොලිසියට එක් කර ඇති අභිමානය මෙවර  උළෙලේදී විශ්ව අභිමාන්න්‍ය ගෞරව සම්මානය හිමිවීමට හේතු සාධක වී තිබේ.

Police News - SI

‘පොඩි ලැසී’ නම් සංවිධානාත්මක අපරාධ සැකකරු මෙරටට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට

ඉන්දියාවේ සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ නම් මෙරට සංවිධානාත්මක අපරාධ සිදුකර පළාගොස් සැඟව සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් 2026.02.27 වන දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන එන ලදී. විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය. මෙම පුද්ගලයා දකුණු පළාත තුල මත්ද්‍රව්‍ය ජාවාරම්, මීටියාගොඩ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ සාහසික මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකි. මහජන ආරක්ෂක අමාත්‍යංශය හා පොලිස්පතිතුමාගේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක ශක්තිමත් යාන්ත්‍රණයක් යටතේ සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒ්මට හැකියාව ලැබුනු අතර රතු නිවේදන නොමැතිව දෙරට අතර ගොඩනගාගත් සහයෝගීතාවය මගින් සැකකරු මෙරටට ලබාගැනීමට හැකිවිය. මෙම සැකකරු සමඟින් ශ්‍රී ලංකා පොලිසිය මේ දක්වා විදෙස් ගතව සැඟව සිටි සැකකරුවන් 14 දෙනෙක් මෙරටට ගෙන්වා ගෙන ඇත. ජාත්‍යන්තර රතු නිවේදන මගින් 2024,2025,2026 තෙවසර තුළ සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇත. ලබාගත් රතු නිවේදන 89 ක් මගින් ඉදිරියේදී විදෙස්ගතව සැඟව සිටින ප්‍රධාන පෙළේ සැකකරුවන් ගණනාවක්  අත්අඩංගුවට ගෙන මෙරට අධිකරණය හමුවට ඉදිරිපත්කිරීමට  නියමිතය.

Police News - SI

නීතිඥවරයෙකු ඝාතනය වූ 2026.02.13 වන දින අකුරේගොඩ වෙඩිතැබීමේ සැකකාර වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

2026.02.13 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුල සිටි නීතිඥවරයෙකුට හා එම නීතිඥවරයාගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. ඒ් අනුව එම කොට්ඨාසයට සමගාමීව ක්‍රියාත්මක වන හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට 2026.02.21 දින සවස අම්බලන්ගොඩ පොලිස් වසමේ දෙල්දූව ප්‍රදේශයේදී වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කල සැකකරුවෙකු අපරාධය සඳහා භාවිතා කල ජංගම දුරකතනයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවිය.  අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම අපරාධය සම්බන්ධව 2026.02.16 වන දින කොට්ටාව හා අතුරුගිරිය පොලිස් වසම්වලදී සහ 2026.02.17 වන දින කහතුඩුව පොලිස් වසමේදී ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 2026.02.21 වන දින මෙම අපරාධයට විවිධාකාරයෙන් ආධාර අනුබල දී ඇති බවට සැකකරන හා කරුණු ආනාවරණය වූ සැකකාරියන් දෙදෙනෙක් හා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සාකකාරියන් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ පසුවේ. 2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙකු ලෙස හඳුනාගෙන ඇති අත්අඩංගුවේ පසුවන සැකකාර වෙඩික්කරු 2026.02.22 අද දින කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  2026.02.20 වන දින අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරමින් ප්‍රසිද්ධියට පත්කළ AI තාක්ෂණය භාවිතයෙන් සැකසූ ඡායාරූප ස්වරූපයේ සැකකරු අත්අඩංගුවේ පසුවන සැකකරු නොවන අතර අපරාධයේ දෙවන වෙඩික්කරු ලෙස සැකකරන ප්‍රසිද්ධියට පත්කළ ඡායාරූප ස්වරූපයේ සැකකරු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න. නියෝජ්‍ය පොලිස්පති / බස්නාහිර පළාත උතුර – 071 8598008කොට්ඨාස භාර නිලධාරී / නුගේගොඩ – 071 8591641අධ්‍යක්ෂ / බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය – 071 8592279

Police News - SI

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 455 ක්, සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 455 ක් පොලිස් භාරයට ගනිමින් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 2026.02.19 වන දින කල්පිටිය අනාවාසල ප්‍රදේශයේදී සාර්ථක වැටලීමක් සිදුකර ඇත.  වැටලීමේදී සැකකරුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වී ඇති අතර එක් සැකකරුවෙකු සන්තකයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 375 ක් තිබී, අනෙක් සැකකරු සන්තකයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 80 ක් තිබී ඇත. සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 41 ක් හා 50 ක් වන හෙට්ටිපොල හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය. කල්පිටිය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Police News - SI

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 400 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

2026.02.15 දින සවස කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් හා ගුවන්තොටුපොල රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින්, බැංකොක් සිට මෙරටට ගුවන් මඟින් පැමිණි සැකකටයුතු කාන්තාවක් පරීක්ෂා කර ඇත.  එහිදි, ඇය සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 16 යි ග්‍රෑම් 400 ක් සොයා ගෙන ඇති අතර එම සැකකාරිය හා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  සැකකාරිය අවුරුදු 35 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරුවන් අවුරුදු 27 හා 33 වයස්වල පසුවන කොළඹ 14 හා කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. වැටලීමට අදාල ජායාරූප කිහිපයක් මේ සමඟ යොමු කරමි.  

Police News - SI

කේරළ ගංජා කිලෝ 271ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රාගම පොලිස් වසමේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2026.02.14 දින රාත්‍රියේ සිදුකල හදිසි වැටලීමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 34 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Police News - SI

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්මක්

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026.02.04 වන දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.   උත්සවයට සමඟාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් 2026.01.30 වන දින සිට 2026.02.02 වන දින දක්වා පැවැත්වෙන අතර එම දිනයන් හා 2026.02.04 වන දින නිදහස් උත්සව දිනය මූලික කරගෙන කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  ඒ අනුව, 2026.01.30, 31 හා 2026.02.02 දින පෙරහුරු පුහුණුවීමේ කටයුතු සඳහා පැය 0745 සිට පැය 1330 දක්වාත්, පූර්ණ පෙරහුරුව පැවැත්වෙන 2026.02.01 වන දින පැය 0500 සිට පැය 1330 දක්වා සහ 2026.02.04 වන දින පැය 0500 සිට නිදහස් දින උත්සවය අවසන් වන තුරු අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත. 1. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම. 2. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම. 3. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම. 4. බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම. 5. විජේරාම මාවත, විද්‍යා මාවත, හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම. 6. මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම. 7. නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම. 8. හෝර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළු වීම. විශේෂ රථවාහන සැලැස්මට අනුව 2026.02.04 වන දින උත්සව අවස්ථාවේ පැය 0300 සිට ජාතික නිදහස් සැමරුම් උත්සවය අවසන් වන තෙක් පහත සඳහන් මාර්ගයන්හි ගමනාගමනය සීමා කරනු ඇත.  1. හෝර්ටන් වටරවුමෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළු වීම. 2. පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවත හෝර්ටන් වටරවුම දෙසට ඇතුළුවීම. 3. ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම. 4. කන්නංගර මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම. 5. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම. 6. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම. 7. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම. 8. බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පී. හන්දියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම. 9. විජේරාම මාවත, විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම. 10. මේට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජී. සේනානායක මාවත හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම. 11. නිදහස් වටරවුමෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම. 12. හොර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුළුවීම.  • ඉහත දිනයන්හිදි ගමනාගමනය සීමා කරනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන් හා ආයතන වෙත රාජකාරියට බාධාවක් නොවන අයුරින් ගමන් කිරීමට අවස්ථාව සලසා ඇත.  

Scroll to Top