Police News – SI – Page 5 – ශ්‍රී ලංකා පොලිසිය

Police News – SI

Police News - SI

විදේශීය රිවෝල්වරයක් සමඟ දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීම්වල ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී, දෙහිවල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සහ තවත් වෙඩි තැබීමකට සම්බන්ධ ප්‍රධාන සැකකරු විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 2026.01.23 වන දින දහවල් කොට්ටාව පොලිස් වසමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මීට පෙර යුධ හමුදාවේ සේවය කර 2013 වර්ෂයේදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වූ අයෙකු බව අනාවරණය වී ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, දෙහිවල පොලිස් වසමේ පාළු නිවසක සඟවා තිබූ අපරාධයට යොදාගත් විදේශීය රිවෝල්වර් අවිය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මෙම සැකකරු පසුගිය 2025 දෙසැම්බර් 06 වන දින දෙහිවල වනරත්න පාරේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ දෙවන වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇත. එම අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරු මීට පෙර බෝර 16 අවියක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ඊට අමතරව, 2025 දෙසැම්බර් 30 වන දින කොහුවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇත්තේද මොහු බව විමර්ශනවලදී තහවුරු වී ඇත. පොලිස් විමර්ශනවලට අනුව මෙම වෙඩි තැබීම් ද්විත්වයම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද (2026.01.24) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Police News - SI

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ මහා පරිමාණ මත්ද්‍රවය වැටලීම් 06 ක්සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ මහා පරිමාණ මත්ද්‍රවය වැටලීම් 06 ක් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට (01) කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය – කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත 2026.01.21 දින සවස ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් හෙරොයින් ග්‍රෑම් 213 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.  සැකකාරිය වයස අවුරුදු 42 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියකි.  (02) මාදම්පිටිය පොලිස් ස්ථානය – 2026.01.22 දින මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසලදී නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පුද්ගලයින් තිදෙනෙකු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබී අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙකු සන්තකයේ තිබූ බෑගයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 300 ක්, විද්‍යුත් තරාදියක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් රුපියල් 18,000/- ක් (දහ අටදාහක්), දෙවන සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් මිලිග්‍රෑම් 150 ක්, තෙවන සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 24,32 හා 29 වයස්වල පසුවන වැල්ලම්පිටිය, මට්ටක්කුලිය සහ කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මාදම්පිටිය පොලිස් ස්ථානය විසින් සැකකරුවන් දෙදෙනා සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.  (03) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය – 2026.01.22 දින සවස එගොඩඋයන පොලිස් වසමේ ඉසුරුසිරි මාවතට හැරෙන හන්දියේදී හශීෂ් ග්‍රෑම් 154 මිලිග්‍රෑම් 300 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබා‌ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට හැකිව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 105100/= ක (එක්ලක්ෂ පනස් දහසක්) මුදලක් සැකකරු සන්තකයේ තිබී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකර එම මුදල පොලිස් භාරයට ගෙව තිබේ.  එගොඩඋයන පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.  (04) හල්දුම්මුල්ල පොලිස් ස්ථානය – හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.01.22 දින උදෑසන හල්දුම්මුල්ල, ඉළුක්පැළැස්ස රක්ෂිත ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 32 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරු වයස අවරුදු 45 ක් වන කල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  හල්දුම්මුල්ල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. (05) කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය – 2026.01.22 දින උදෑසන කඳාන ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 120 ක්, විද්‍යුත් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 51,000/= ක (පනස් එක් දහසක්) මුදලක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවරුදු 42 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  (06) හම්බෙගමුව පොලිස් ස්ථානය – හම්බෙගමුව, සිරිපුර රක්ෂිත ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා පැළ 12580 ක් (දොළොස් දහස් පන්සිය අසූවක්) සහිත ගංජා හේනක් සහ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා පැළ 11700 ක් (එකොළොස් දහස් හත්සියයක්) සහිත ගංජා හේනක් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.01.22 දින සොයාගෙන විනාශ කර ඇත.  එමෙන්ම හම්බේගමුව 17 ජනපදය ප්‍රදේශයේදී ගංජා කිලෝ 21 ග්‍රෑම් 300 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 17 ග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් අවුරුදු 51 හා 63 වයස්වල පසු වන හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Police News - SI

සැකපිට පරීක්ෂාකළ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 501 ක් අත්අඩංගුවට

මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල 2026.01.22 දින නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබී ත්‍රීරෝද රථයද සමඟින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් අවුරුදු 24 හා 29 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.  එක් සැකකරුවෙකු සන්තකයේ තිබූ බෑගයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 300 ක්, විද්‍යුත් තරාදියක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් රුපියල් 18,000/- ක් (දහ අටදාහක්) හා අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201 ක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිස් ස්ථානයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.  

Police News - SI

සමාජ මාධ්‍යයේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනය කෙරෙන වීඩියෝවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පසුගිය දිනයන් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පිරිමියෙකු විසින් කාන්තාවක් නිරුවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනය කළ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ නිලධරයන් වින්දිත පාර්ශවය හඳුනාගෙන ප්‍රධාන සැකකරු 2026.01.18 වන දින හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්හ. අනතුරුව වැඩිදුර විමර්ශනයේදී ප්‍රධාන සැකකරුට ආධාර අනුබල ලබාදුන් හා පොලිසියට සාක්ෂි වසන් කරන ලද අවුරුදු 44 ක් හා 55 ක් වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන සැකකරු සම්බන්ධව අළුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනම් නියෝගයක්ද ලබාගැනීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය ක්‍රියා කර ඇත. අනාවරණය වූ කරුණු අනුව සැකකරු තම නිවසේ සේවිකාවක් වශයෙන් කටයුතු කළ කාන්තාවක් මෙලෙස පිරිසක් ඉදිරියේ නිරුවත් කර වීඩියෝ කර වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.  සැකකරු සිද්ධියෙන් පසුව පොලිසිය මඟහරිමින් ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නවාතැන් ගෙන ඇති බවද අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සිදුකරයි.

Police News - SI

අන්තර්ජාල අපරාධවල ගොදුරක් නොවන්න

නාදුනන පුද්ගලයෙකු හෝ ආයතනයක් ආකාරයෙන් සමාජ මාධ්‍ය පණිවුඩයක් මගින් හෝ දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන බැව පැවසුවොත්, ත්‍යාග දිනුම් ඇදී ඇති බව පැවැසුවොත්, අසත්‍ය චෝදනා ඉදිරිපත්කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ගිණුමකට මුදල් බැර කරන මෙන් පැවසුවොත් මුදල් තැන්පත්කිරීමට ඉක්මන් නොවී සුපරීක්ෂාකාරීව සොයාබලන්න.  යම් හෙයකින් ඔබට මෙවන් රැවටීමකට ලක්ව මුදල් අහිමිකරගත් බව වැටහුනොත් පහත දුරකථන අංකයක් අමතා පැමිණිලි කරන්න.  නියෝජ්‍ය අධ්‍යක්‍ෂ / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2300638පුද්ගලික සහකාර / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2381375ස්ථානාධිපති / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2381058 අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගෙන අත්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බව දිවයිනේ විවිධ පොලිස් ස්ථානවෙත ලැබෙන පැමිණිලි අනුව නීරක්ෂණය වී තිබේ. ඇතැම් විට බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ඔබට දුරකථන ඇමතුමක් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බව පවසා බිය ගන්වා මුදල් තැන්පත් කරවා ගනියි.  එවැනි සිදිධීන් ගණනාවක් පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙතද,  පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙත ද පැමිණිළි ලැබී ඇත. පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කර ඔබට ලැබුනු ඇමතුම පිළිබඳව අනුගමනය කරන්න. *  official pages පරීක්ෂා කිරීම.*  දෙවනි පාර්ශවයට Bank details, NIC Number, login details, *  OTP, Password, PIN, Photos ලබා නොදීම.* සැකසහිත links පරිශීලනය නොකිරීම.* විශ්වසනීය / Verified ගිණුම් පමණක් භාවිතා කිරීම.* මුදල් තැන්පත් කිරීමට පෙර අනන්‍යතාවය සනාථ කර ගැනීම. මේ වනවිට මෙවැනි වංචා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති මිරිහාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයේ දුරකථන අංකයන්ද පහතින් දක්වා ඇත. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :- 011 – 2852556ස්ථානාධිපති / මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :- 075 – 3994214

Police News - SI

සැක සහිත කාර් රථයක් පරීක්ෂාවට ලක්කර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක් සොයාගනියි

2026.01.14 වන දින උදෑසන කොළඹ දෙස සිට අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථයක් අධිවේගී මාර්ග කොට්ඨාසයේ ගොඩගම අන්තර් හුවමාරු ඒ්කකයේ නිලධාරීන් විසින් පාලටුව පිටවීමේ දොරටුව අසලදී පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 යි හෙරොයින් කිලෝග්‍රෑම් 05 ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ. කාර් රථය පරීක්ෂාවට නැවැ-ත්වීමේදී කාර් රථයේ රියැදුරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු රථය නවතා පලායාමට උත්සාහ ගත්තද නිලධාරීන් ඔවුන්ව ලුහුබැඳ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 හා 21 වයස්වල පසුවන මාතර නාවිමන හා කොටුවේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.  අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට නියමිතය.

Police News - SI

ගිනි අවියක් තහනම් කඩුවක් ඇතුලුව මත්ද්‍රවය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්වූ වැටලීම් ත්‍රිත්වයක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් 2026.01.13 වන දින දහවල් කළුබෝවිල ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂාවට ලක්කර විදේශයක නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි ගිනි අවියක් සහ එක් පතරොමක් සොයාගෙන ඇත. එම අවස්ථාවේ නිවසේ රදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 26 ක් වන එම නිවසෙහිම පදිංචිකරුවෙකු බව අනාවරණය කරගෙන තිබේ. වැටලීම සඳහා යුධ හමුදා බුද්ධි තොරතුරක් උපයෝගී වී ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිස් ස්ථානය භාරයේ පසුවේ.  …………………. ගෝනහේන කඳවුරේ සිට ක්‍රියාත්මක බස්නාහිර උතුර විශේෂ මෙහෙයුම් ඒ්කකය එදින වල්ලම්පිටිය මීතොටමුල්ල බස් ඩිපෝව ඉදිරිපිටදී පරීක්ෂාවට ලක්කළ පුද්ගලයෙකු සන්තකයේ මත්කරල් 6700 ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 18 ක් වන මීතොටමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මත්කරල් ප්‍රවාහනයට භාවිතා කළ බවට සැකකරෙන ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩදුර විමර්ශන සඳහා සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. …………………. හෙරොයින් ග්‍රෑම් 27 මිලිග්‍රෑම් 200 ක්, යකඩ කඩු 01 ක්, තහනම් පිහි 01 ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනු වැටලීමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒ්කක 1 හි නිලධාරීන් එදින සවස කොළඹ 15 මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු එම වැටලීම කළ නිවසෙහිම පදිංචි 27 හැවිරිදි අයෙකි.  වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.  

Police News - SI

ටී- 56 ගිනි අවියක්, පතරොම් 10 ක් සහ ජීව අත්බෝම්බක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

2025.11.14 වන දින බොරැල්ල පොලිස් වසමේදී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරු T56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබක්, එම ජීව පතරොම් 10 ක්. හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ 2026.01.12 වන දින සවස් කාලයේ මාලබේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.  සැකකරු වයස අවුරුදු 27 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.    

Police News - SI

ත්‍රීරෝද රථ 11ක් සමඟ සංවිධානාත්මක සොර කල්ලියක් ව්‍යාජ ලේඛන සකසා විකිණීමට සූදානම් කර තිබියදී හසුවේ

මිරිහාන පොලිස් වසම ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ නිරත වූ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 2025 දෙසැම්බර් 28 වන දින මිරිහාන ප්‍රදේශයෙන් වාර්තා වූ ත්‍රීරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් කොටු කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ. පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අවුරුදු 30, 32 සහ 46 යන වයස්වල පසුවන කැලණිය, අම්බලන්තොට සහ පරකඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.ඉකුත් ජනවාරි 10 වන දින අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු මත ඊට පසුදින තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සන්තකයේ තිබී කුරුවිට ප්‍රදේශයේ සඟවා තිබූ එක් ත්‍රීරෝද රථයක් මුලින්ම සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත යටියන්තොට, බලංගොඩ, බදුල්ල සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලින් සොරාගන්නා ලද තවත් ත්‍රීරෝද රථ 10ක් පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.

Police News - SI

වෙඩිතැබීමක් වළක්වාගනිමින් පතරෙම් 06 ක් සහිත විදෙස් රිවෝල්වර අවියක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

අනාවරණය කරගත් තොරතුරක් අනුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, එම ජීව පතරොම් 06 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 ක් හා යතුරුපැදියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මට්ටක්කුලිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.  වැඩිදුර විමර්ශනයේදී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා මොවුන් සූදානම්ව සිට ඇති බවට අනාවරණය වී තිබේ.  2026.01.09 වන දින රාත්‍රියේ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 800 ක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සැකපිට ත්‍රීරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වූ තොරතුරු මත ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු අනාවරණය ඇත. මට්ටක්කුලිය, හොරණ, වනවාසල හා කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 32,34,35 වයස්වල පසුවන්නන්ය.  2026.01.10 වන දින මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මෙම සැකකරුවන් සහ අවිය සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදු කරයි.    

Scroll to Top