පොල්පිතිගම පොලිසිය උදෙසා ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ.

රුපියල් මිලියන 78ක මුදලක් වැය කර පොල්පිතිගම පොලිස් ස්ථානය වෙනුවෙන් ඉදිකල නව පරිපාලන ගොඩනැගිල්ල, ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.16 වන දින සම්මාන පෙළපාලි සහිත උත්කර්ෂවත් උත්සවයක් පවත්වා විවෘත කරන ලදී.

අභිමානවත් මහජන සේවයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉටුකරන රාජකාරි සමුදාය විධිමත් අයුරින් මහජනතාව උදෙසා ලබා දීමේ අරමුණින් මහජන ආරක්ෂක අමාත්‍යතුමා හා පොලිස්පතිතුමා අනෙකුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් හා එක්ව දියත් කරන වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරනු ලැබීය.

උත්සව අවස්ථාව සදහා මහා සංඝරත්නය ඇතුලුව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්‍තු මන්ත්‍රිවරුන් වන යු.කේ සුමිත් උඩුකුඹුර, අසංක නවරත්න, ජයරත්න හේරත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.