සත් මසකට පෙර සිදු වූ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු අත්අඩංගුවට, ප්‍රධාන සැකකරු සොයා විමර්ශන

ආගරපතන පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු මන්රාසි රෝහලේ සුලු සේවිකාවක් ලෙස සේවය කරන තම 36 හැවිරිදි බිරිඳ අතුරුදහන් බවට 2024.01.30 වන දින මන්දාරම්නුවර පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබී ඇත.

නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම අතුරුදහන් වීම සම්බන්ධව දීර්ඝව විමර්ශනය කර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ ප්‍රකාශය අනුව අතුරුදහන් වූ කාන්තාව ඇය සේවය කල රෝහලේම සුලු සේවකයෙකු ලෙස සේවයේ නියුතු තැනැත්තෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් සිට ඇත.

එම තැනැත්තාගේ ඉල්ලීම පරිදි මොහු විසින් 2024.01.21 දින එම තැනැත්තා වෙසෙන ගෝනපිටිය, කඳපොළ පෙදෙසට අදාල කාන්තාව කැටුව ගොස් භාරදී තිබේ.

අනතුරුව පසුදින අළුයම, එනම් 2024.01.22 දින පෙරවරු 02.00 ට පමණ ඇයව අනියම් පුර්ෂයා විසින් ශාන්තිකර්මයක් සඳහා යැයි රවටාගෙන එම ප්‍රදේශයේ දියපහරක් අසලට රැගෙනගොස් ගෙල සිරකර ඝාතනය කර ඇගේ ගෙල තබූ ලක්ෂ 4.25 ක පමණ වටිනාකමින් යුත් රන් මාලයද තබාගෙන මෘත ශරීරය එම ස්ථානයේම කපන ලද වලකට දමා වසා ඇත.

මේ වන විට සැකකරුගේ මඟ පෙන්වීම මත මෘත ශරීරය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත්කර ඇති අතර ඝාතනයට ලක්වූ තැනැත්තියගේ රන් මාලයද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සියළු අනාවරණයන් සිදුකල අත්අඩංගුවටගත් වයස අවුරදු 47 ක් වූ සැකකරු මෙම සිදුවීම් දාමයේ මුල සිට අග දක්වා ප්‍රධාන සැකකරුට සහය වී ඇති, ප්‍රධාන සැකකරුට හිතවත් බේකරි රැකියාවේ නියුතු අයෙකි.

ප්‍රධාන සැකකරු නොහොත් ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනියම් පුර්ෂයා සොයා පුළුල්ව විමර්ශන ක්‍රියාත්මකය.