STF නිලධාරියෙකු අනතුරට ලක්කර ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි නදීන් බාසික් යලි මෙරටට පැමිණීමේදී මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට

2024.02.16 වන දින වැල්ලවත්ත හැව්ලොක්සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිට දී තම රථය නැවැත්වීමට සංඥා කළ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක්ද අනතුරට ලක්කර ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැගව සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ශිරාන් බාසික් යන අයගේ පුත්‍ නදීන් බාසික් යන අය 2024.08.27 දින උදෑසන මිනීමැරීමට තැත් කිරීම සහ රිය අනතුරක් සිදුකර පලායාම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් මැදිරියකින් ලද තොරතුරක් වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් කටුනායක ගුවන්තොටුපල වෙත ලබා දී ඇති අතර ඒ අනුව එම පරිශ්‍රයේ රාජකාරි නියුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මේ වන විට සැකකාර නදීක් බාසික් යන අය වැල්ලවත්ත පොලිස් ස්ථානය භාරයේ පසු වේ.

නදීක් බාසික් යන අය ඩුබායි රාජ්‍යය වෙත පලා යාමට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වනුයේ පොලිස් විශේෂ කාර්යය බලකාය 2024.02.16 වන දින වැල්ලවත්ත හැව්ලොක්සිටි අසල මත්ද්‍රව්‍ය බෙදාහරින ස්ථානයක් වැටලීමේදී එම ස්ථානයේ සිටි ඔහු විසින් පැදවූ බවට සැකකරනු ලබන මෝටර් රථයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකු සහ පොලිස් යතුරු පැදියක් අනතුරට ලක්කර එම නිවාස සංකීරණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කරවීමයි.

එදින රථය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රථයේ තිබී ස්ථානයේ රත්තරං පවුම් 100 ක් මෝටර් රථ 03 ක යතුරු තිබූ අතර එම මෝටර් රථ 03 පරික්ෂා කිරීමේදී මෝටර් රථ 03 ක තිබූ හෙරොයින් ග්‍රෑම් 19 ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, සහ ඩිරාම් මුදල් 535 ක් සහ ඩොලර් 161 ක් සහ නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධ ලිපි ලේඛණ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත සහ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය වෙත භාර දී ඇත.