සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ 158 වැනි අභිමානවත් සැමරුම් දිනය පසුකරන ඔබේ ශ්‍රී ලංකා පොලිසිය

සියවසකට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසිය මෙවර අභිමානයෙන් සමරනු ලබන්නේ 158 වැනි සංවත්සරයයි. මෙරට ප්‍රථම පොලිස්පති ශ්‍රීමත් ජී.ඩබ්.ආර් කැම්බල් මහතා පොලිස්පති ධූරයට පත් වූ 1866 සැප්තැම්බර් 03 වන දිනය ව්‍යවස්ථාපිතව ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සලකනු ලබයි.

1948 පෙබරවාරි මස 04 වන දින නිදහස ලබා ගැනීමත් සමඟ යටත් විජිත දෘෂ්ඨියෙන් බැහැරව ශ්‍රී ලංකා පොලිසිය බවට පරිවර්තනය කිරීමේ වගකීම ප්‍රථම ස්වදේශික පොලිස්පති ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා වෙත පැවරුනි.

එසේ ආරම්භ වී මේ වන විට දිවයින පුරා ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන 706 ක මෙහෙවරින් අප දිවයිනේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් සහ ඒ සඳහා සහය ලබාදෙමින් ප්‍රතාපවත් මහජන සේවයක් ඉටුකරන්නෙමු.

මෙවර මෙරට ප්‍රධාන මැතිවරණය වන ජනාධිපතිවරණයක් අභියස රාජකාරි බහුල කාල සීමාවක් තුලදී වුවද සැමරුම් දිනය අභිමානවත්ව සමරමින් ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි ගමනට ආගමානුකූලව ආශිර්වාද ලබා ගැනීම සඳහා වැඩසටහන් රැසක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන කේන්ද්‍රකරගනිමින් සංවිධානය කර ඇති අතර,
ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක මහතා සහභාගී වූ ප්‍රධාන සර්වආගමික වැඩසටහන් කොම්පඤ්ඤවීදිය හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය, මෝදර ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානය, බම්බලපිටිය කදිරේෂන් හින්දු කෝවිල, කුරුඳුවත්ත දවටගහ මුස්ලිම් දේවස්ථානය තුලදී 2024.09.03 වන අද දින උදෑසන පැවැත්වීය.