මාර්ගස්ථ ක්‍රමයන් ඔස්සේ සිදු වූ තවත් මුදල් වංචාවක තතු

සමාජ මාධ්‍ය ඔස්සේ දැන හඳුනාගෙන මාර්ගගත (ONLINE) රැකියාවක් ලබා දී එම රැකියාව ඔස්සේ රු. 14,441,200 ක මුදලක් ලබා ගෙන රැකියාව සහ මුදල් වංචාවක් සිදුකිරීම සම්බන්ධව 2023.07.05 වන දින ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන ඒකක 02 හි නිලධාරීන් විමර්ශනයට අදාලව බැංකු ගිණුම් 07ක ගිණුම් හිමියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන 2024.08.28 වන දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

නාවකුඩා, මඩකලපුව ලිපිනයේ පදිංචි මෙම සිදුවීමේ පැමිණිළිකාරිය 2023.05.10 වන දින ඇයගේ මුහුණු පොතෙහි (Facebook) දිස්වුනු පිටුවක සඳහන් වූ අමතර රැකියාවට අයදුම් කිරීමෙන් අනතුරුව වට්ස්ඇප් (whatsapp) ඔස්සේ ලද කෙටි පණිවිඩයක් මගින් මෙරට පුද්ගලයෙකු සම්බන්ධීකරණ නියෝජිතයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.

ඔහු විසින් ඇයව ටෙලිග්‍රෑම් ගිණුමකට සම්බන්ධ කර මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන දිනුම් ඇදීමක් මගින් භාණ්ඩයක් තෝරා ගත යුතු බවත් එහි වටිනාකම ගෙවන ලෙසටත් අනතුරුව තමන් විසින් එම භාණ්ඩය වැඩි මිලකට විකුණා මුදල හා ලාභය ඇය වෙත ලබා දෙන බව දැනුම් දී ඇත.
ඒ අනුව යමින් ඇයට ටෙලිග්‍රෑම් ගිණුම මගින් භාණ්ඩ ලබාගන්නා ලෙසත් ලබාගත් භාණ්ඩ සදහා මුදල් බැර කරන ලෙසත් දන්වා බැංකු ගිණුම් විස්තර ලබා දී ඇත.
අනතුරුව ඇය, දැනුවත් වූ පරදි 2023.05.13 වන දින ප්‍රසිද්ධ පෙලේ ප්‍රධාන අලෙවිකරන ආයතනයකින් මාර්ග ගත ක්‍රමයෙන් සැකකරු ලබාදුන් ගිණුම් වෙත මුදල් තැන්පත් කර භාණ්ඩයක් ලබාගෙන ඇත. පසුව එම භාණ්ඩය විකුණීමෙන් ලාභය වූ රු. 1300 ක මුදලින් රු. 950 ක මුදලක් තම බැංකු ගිණුම වෙත ලබා ගෙන ඉන් පසුව විටින් විට මෙම ක්‍රියාවලිය සිදු කිරීමට මුදල් තැන්පත් කර ඇති නමුත් කිසිදු මුදලක් ලාභයක් නැවත ලබාගත නොහැකි වී ඇත. මුල් අවස්ථාවේ ලබාගත් ලාභය මත පදනම්ව අවස්ථා 36 කදී මුදල් රු. 14,441,200 ක මුදලක් ඇය විසින් සැකකරු ලබා දුන් ගිණුම් වෙත තැන්පත් කර තිබේ.

එම ගිණුම් හිමියන් 07 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර ඇති අතර මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන ඒකක 02 හි නිලධාරීන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතී.

“අවස්ථා 36ක් පමණ මුදල් තැන්පත් කිරීමට ඇය උත්සුක වී ඇත්තේ අවස්ථා කිහිපයකදී තැන්පත්කල මුදල් නැවත ලබාගැනීම සඳහා නැවත නැවත මුදල් තැන්පත්කල යුතු බවට ඇයව රැවටීමට ලක් කල බැවිනි.

විස්වාසය මත පදනම්ව මාර්ගගත ක්‍රමයන් ඔස්සේ ඔබ යම් යම් පාර්ශවයන් සමඟ ව්‍යාපාර කටයුතු සිදුකරීමට ඔබත් පෙළඹී ඇත්නම් කරුණාකර සැලකිලිමත් වන්න. ඔබ නොදැනී ඔබ රැවටී ඔබගේ විශාල මුදලක් අහිමි වීමට පෙර සිහි බුද්ධියෙන් යුතුව මුල් අවස්ථාවේදී රැවටීමට ලක් වන බව අවබෝධ කරගෙන ඉන් වහා ඉවත්වන්න. අලාභ වූ යම් මුදලක් වේ නම් එය නැවත ආවරණය කර ගැනීමට දිගින් දිගටම ඔබ රැවටීමට ලක් විය හැකිය.

‍මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යංශය,
0112449414
0112337219
dir.cid@police.gov.lk