2024 සමස්ත ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍යභට කඳවුර සාඩම්බරව විසිරයයි

දිවයිනේ පාසල් 600 ක පමණ සංඛ්‍යාවක් අතරින් 2024 සමස්ථ ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍යභට කඳවුරට සහභාගී වීමට වරම් ලද පාසල් 60 ක ශිෂ්‍ය භට/ භටවියන් 1500 දෙනෙකු 2023.10.17 වන දින කළුතර පොලිස් විද්‍යාලයට ඇතුලත්ව ආත්ම විස්වාස වර්ධන පරීක්ෂණය, ශාරීරික අභ්‍යාස පරීක්ෂණය, ඝන සරඹ පරීක්ෂණය, විවිධ ප්‍රසංග පරීක්ෂණය,අධ්‍යක්ෂ පරීක්ෂණය, ඉදිරිපත්කිරීමේ පරීක්ෂණය, භට නිවාස පරීක්ෂණ යන පරීක්ෂණයන් සඳහා දින 07 ක කාලයක් පෙනී සිටියහ.

එසේ කඳවුරේ පුහුණුව සාර්ථකව නිමාකොට පදක්කම් සහ ලාංඡන පළදාගෙන නැවතත් ඔවුන්ගේ විදුහල වෙත අභිමානවත්ව විසිර යාම සඳහා වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාගේ මනා සංවිධානයෙන් පැවැත්වූ උත්සවය කළුතර පොලිස් විද්‍යාලයේ අළුවිහාර ක්‍රීඩාංගණයේදී 2024.10.24 වන දින උදෑසන උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

නෙදර්ලන්ත අසුපිට නැගි ප්‍රධාන අණදෙන නිලධාරී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතාගේ සහ දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කල පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ප්‍රේමරත්න නිලධාරියාගේ මෙහෙයවීම යටතේ සියලු දෙනාගේ නෙත් සිත් ඇඳ බැඳ ගත් ගත් ඇණි 28 කින් සමන්විත සම්මාන පෙළපාලියක් ඉදිරිපත් කර සම්භාවනීය ආරාධිත අමුත්තන් වෙත උත්තමාචාර දැක්වූ ශිෂ්‍ය භට/භටවියන් එහිදී තම ඇණි වශයෙන් හා පුද්ගලිකව දැක්වූ දක්ෂතා සඳහා සම්මාන හා සහතිකපත් ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ සුරතින් ලබාගන්නා ලදී.

එහිදී කඳවුරට සහභාගී වූ පාසල් 60 අතරින් ශිෂ්‍යභට බාලක ශූරතාවයට හිමි කුසලානය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය දිනාගත් අතර අනුශූරතාවය හිමි කුසලානය දිනාගනු ලැබූයේ මාතර රාහුල විද්‍යාලයයි. ශිෂ්‍යභට බාලිකාවියන්ගේ ශූරතාවය කුලියාපිටිය විශාකා විද්‍යාලය දිනාගත් අතර එහි අනුශූරතාවය කුලියාපිටිය සුරදූත බාලිකා මහා විද්‍යාලය දිනාගන්නා ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සැපැමිණි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම පොලිස් ශිෂ්‍යභට කොට්ඨාස අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතා උත්සවය අමතමින් විවිධ දුරාචාරයන්ට හුරු වන තරුණ පරපුර විනය ගරුක, නීති ගරුක, සෞඛ්‍ය සම්පන්න කිරීම උදෙසා ඉවහල් වන පොලිස් ශිෂ්‍ය භට කඳවුර වෙත යොමු කළ ගුරු, දෙගුරුන් වෙත හා කැපවීමෙන් පුහුණු වීම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ස්තූතිය පුද කලහ.

විසිරයාමේ උළෙල නිමා කරමින් සංස්කෘතික කොට්ඨාසයේ නර්ථනාංගයන්ගෙන් සහ ශිෂ්‍යභට තූර්ය වාදන වෘන්දයන්ගෙන‍් තව තවත් වර්ණවත් වූ මෙම උත්සවයේ සියළුම අවස්ථා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පොලිස් විශේෂ කාර්යය බලකාය, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය, තොරතුරු තාක්ෂණ කොට්ඨාසය සහ පොලිස් සන්නිවේදන කොට්ඨාසය හා සුසංයෝගීව SRI LANKA POLICE නිල FACEBOOK පිටුව හරහා සජීවීව විකාශය කළහ.

නව යොවුන් වියේ පසුවන පාසල් සිසුන් ශිෂ්‍ය භටයින් ලෙස දක්වන හැකියාවන් සියසින් දැක බලාගැනීම සඳහා මෙම උත්සවයට ආරාධනා පරිදි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩිය ජි. එස් පොන්සේකා, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද සිල්වා, අපරාධ දිසාව භාර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ආගමික නායකයින්, විදුහල්පතිවරුන් වැනි රජයේ නිලධාරීන් , දෙමව්පියන් ඇතුලු පාර්ශව රැසක් පැමිණ සිටියහ.