පිළිස්සීමෙන් මිය ගිය කාන්තා පොලිස් සැරයන්වරියගේ දරුවන් හට ලක්ෂ 10 ක චෙක්පත් හා ත්‍යාග පිරිනැමේ.

ගාල්ල පොලිස් කොට්ඨාසයේ ගෝනපීනුවල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කල කාන්තා පොලිස් සැරයන් 1891 නදීකා සංජීවනී නිලධාරිනිය 2022.02.05 වන දින පිළිස්සිමෙන් ලද බරපතල තුවාල හේතුවෙන් 2022.02.09 වන දින මිය ගිය අතර, නිලධාරිනියගේ වයස අවුරුදු 10 ක් හා 04 ක් වන පුතණුවන් දෙදෙනා හට දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු හා අනාගත අභිවෘද්ධිය, සුභසාධනය සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් වෙත චෙක්පත් පරිත්‍යාග කිරීමක් 2022.02.16 වන දින සවස 2.00 ට ගෝනපීනුවල පොලිස් ස්ථානයේදී සිදු කරන ලදී.

මෙහිදී රුපියල් ලක්ෂ 10 ක චෙක්පත් හා ත්‍යාග දරුවන් දෙදෙනා හට ලබා දීමට පොලිස් සේවා වනිතා ඒකකය හා පොලිස් පවුල් සුභ සාධක සංගමය එක්ව අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබිණි. ඉහත චාම් උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ වත්මන් වැඩබලන සභාපතිතුමිය වන ප්‍රශාන්ති ප්‍රනාන්දු මහත්මිය, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා, ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් ජේ.වෙදසිංහ මහතා මෙන්ම පොලිස් සුභ සාධක දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ.පද්මිණි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරයන් පිරිසක් සහභාගී වූහ.