මහජන සේවයට පොලිස් නිළධරයන් පිරිසක් විසිර යති.

ශ්‍රී ලංකා පොලිස් සේවාව වෙනුවෙන් තම දායකත්වය ලබා දීමට සූදානමින් 2021.09.01 දින අරලගංවිල හා බොරලන්ද යන පොලිස් විද්‍යාලයන් වෙත බඳවා ගන්නා ලද ආධුනික නිළධාරින්ගේ විසිරයෑමේ උත්සවය 2022.02.25 දින බොරලන්ද පොලිස් විද්‍යාල ඒකකයේදී සිදු කෙරුණි. ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවෙන් අනතුරුව ආධුනික පොලිස් කොස්තාපල් නිළධාරින් 806 දෙනෙකු ක්ෂේත්‍ර රාජකාරි සඳහා පිටව යන ලදී.

මෙම විසිරයෑමේ උළෙල ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා නීතීඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන් සහභාගී වූ අතර දෙමව්පියන්ට මෙම උළෙල නැරඹීම සඳහා zoom තාක්ෂණය ඔස්සේ නැරඹීමට පහසුකම් සලසන ලදී.

මෙහිදී දක්ෂතම වෙඩික්කරුවන් ලෙසට අරලගංවිල පොලිස් විද්‍යාලයෙන් ආධුනික පොලිස් කොස්තාපල් 99031 ධර්මසිරි නිළධාරියාද, බොරලන්ද පොලිස් විද්‍යාලයෙන් ආධුනික පොලිස් කොස්තාපල් 99651 වඩුආරච්චි නිළධාරියාද තේරී පත්විය. තවද නීති විෂයන් සඳහා වැඩිම ලකුණු ලබා ගත් නිළධාරින් අතරට අරලගංවිල පොලිස් විද්‍යාලයෙන් ආධුනික පොලිස් කොස්තාපල් 99077 විදුශන් නිළධාරියාද, බොරලන්ද පොලිස් විද්‍යාලයෙන් ආධුනික පොලිස් කොස්තාපල් 99505 සුරේෂ් නිළධාරියාද, අතිදක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලෙස අරලගංවිල පොලිස් විද්‍යාල ඒකකයෙන් 99147 සූරියආරච්චි නිළධාරියාද, අතිදක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලෙස බොරලන්ද පොලිස් විද්‍යාලයෙන් 99798 වික්‍රමසිංහ නිළධාරියාද තේරී පත්විය. පුහුණුව අවසන් කළ සියලු නිළධාරින් දිවයිනේ විවිධ පොලිස් ස්ථානයන් වෙත රාජකාරි සඳහා අනියුක්ත කර තිබේ.