පොලිස් සේවයට තවත් කාන්තා නිලධාරිනියන් පිරිසක් එක් වෙයි.

ශ්‍රී ලංකා පොලිසිය වෙත බඳවා ගන්නා ලද ආධුනික පොලිස් කොස්තාපල්වරියන් 301 දෙනෙකු 2022.07.07 දින ඇල්පිටිය පොලිස් විද්‍යාලයෙන් සිය පුහුණු කටයුතු සාර්ථක ලෙස නිම කරමින් විසර යන ලදී. මෙම විසිරයාමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම හා පුහුණු දිසාව නීතිඥ සම්පත් කුමර ලියනගේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ අජිත්ගේ හේසිරි, ඇල්පිටිය පොලිස් විද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි බුද්ධික බාලචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

මෙම අභිමානවත් වූ උළෙල දෙමව්පියන් උදෙසා ZOOM තාක්ෂණය ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව සලසා දී තිබූ අතර මෙහිදි අති දක්ෂතම ආදුනික පොලිස් කොස්තාපල්වරිය ලෙස වේළුසුමන පුහුණු ස්ථානයේ 13375 හසිනි පුෂ්පකුමාර නිලධාරිනිය ද නීතිය හා ප්‍රායෝගික පොලිස් විධි යන විෂයන් සදහා වැඩිම ලකුණු ලබාගැනීම වෙනුවෙන් මහනාම පුහුණු ස්ථානයේ 13246 මධුමාලි නිලධාරිනිය ද හොඳම ඉලක්කයට වෙඩි තැබීම් වෙනුවෙන් සුරනිමල පුහුණු ස්ථානයේ 13379 කෞශල්‍යයා නිලධාරිනිය ද කුසලාන හා සහතික පත් හිමිකර ගන්නා ලදී.

මෙම සම්මානපාලියේ ප්‍රධාන අණදෙන නිලධාරිනිය ලෙස කාන්තා සහකාර පොලිස් අධිකාරි ඉනෝකා ලියනගේ සහ දෙවන අණදෙන නිලධාරීන් ලෙස කාන්තා පොලිස් පරීක්ෂක වාසනා කුමාරි යන මහත්මීන් කටයුතු කරන ලදී. පුහුණු කටයුතු නිමා කරන ලද මෙම නිලධාරිනියන් දිවයිනේ සියලු ප්‍රදේශයන්⁣ වෙත රජකාරි සඳහා අනුයුක්ත කර තිබේ.