දියේ ගිලී අනතුරට පත් වූ තරුණයින් දෙදෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගැනේ.

2021.11.21 වන දින දහවල් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකගෙන් වයස අවුරුදු 16 ක තරුණයින් දෙදෙනෙකු එක්වරම දිය වැලකට හසු වී ගසා ගෙන ගොස් දියේ ගිලී ඇත. එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ඉතා වෙහෙසක් දරා දිය වැල දිගේ පිහිනා ගොස් ජීවිතාරක්ෂක උපකරණ මඟින් අනතුරට පත් තරුණයින් දෙදෙනා ගොඩට රැගෙන විත් ප්‍රථමාධාර ලබා දී ජීවිත බේරාගෙන ඇත.

අදාල අනතුර දුටු විගසම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මෙසේ ක්‍රියාත්මක වීම නිසා වටිනා ජීවිත දෙකක් බේරාගැනීමට හැකි වී ඇත. තරුණයින් බේරා ගැනීම සඳහා ගල්කිස්ස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ පොලිස් සැරයන්වරුන් වන 46484 තිලකරත්න, 61265 මංගල, පොලිස් කොස්තාපල්වරුන් වන 53837 උපාලි, 83257 පුෂ්පකුමාර, 34666 දිසානායක, 93731 දේශාන් නිලධාරීන් කටයුතු කර ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවැනි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ස්ථානගත කර ඇති අතර අවස්ථා ගණනාවකදී ඔවුන් විසින් මෙවැනි වටිනා ජීවිත රැසක් බේරා ගැනීමට සමත් වී ඇත. එමෙන්ම ඉහත සිදුවීමේදී අනතුරට පත්ව දිවි බේරා ගත් තරුණයින් දෙදෙනාගේ දෙමාපිය හා ඥාතීන් විසින් මෙම නිලධාරීන් ඉතා පැසසුමට ලක් කර ඇත.