පොලිස් දිනයට සමගාමීව රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන් හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙයි.

156 වන පොලිස් දිනයට සමගාමීව දිවයිනේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.

පොලිස් සතිය වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදී නාරාහේන්පිට හා කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහල්වල සහ කොළඹ, කළුබෝවිල, මහනුවර, පේරාදෙණිය හා මහරගම අපේක්ෂා යන රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන නිලධාරින් සඳහා සංකේතාත්මකව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් බෙදා දීම සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා පොලිස් සුභසාධන දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ. පද්මිණී මහත්මිය, පොලිස් සුභසාධන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රසේන මහතා, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.