covi 1ops roommedia

curfew pass 1

2019 ජනාධිපතිවරණය නාම යෝජනා බාර දීමේ දින විශේෂ ආරක්ෂක සැලැස්ම.

ජනාධිපතිවරණයට අදාලව මේ වන විට සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇත. එමෙන්ම පොලිස් ස්ථාන 493 හිම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇත.

පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි මගින් ජනාධිපතිවරණයට අදාලව ලැබෙන පැමිණිලි භාර ගැනීම, එම පැමිණිලි විභාග කිරීම මෙන්ම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබද පනතේ විධි විධානයන් උල්ලංඝණය කිරීම් පිළිබදව විමර්ශන පැවැත්වීම සිදු කරනු ලබයි. කොට්ඨාස මෙහෙයුම් මැදිරි මගින් අදාල දත්ත ලබාගෙන පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරනය සිදු කරනු ලබයි.

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර ඇත. එමෙන්ම පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසට පොලිස් අධිකාරි අශෝක ධර්මසේනත්, එහි ස්ථානාධිපති ලෙසට ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් ද සිල්වාත් කටයුතු කරනු ලබයි.

තවද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත පොලිස් අධිකාරිවරයෙකුගෙන්ද සමන්විත පොලිස් කණ්ඩායමක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත අනියුක්ත කර ඇත. ඒ අනුව එහි නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස් මහතාත්, පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරන මහතාත් කටයුතු කරනු ලබයි.

ඔක්තොම්බර් 07 වන දින ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමේ අවස්ථාව වෙනුවෙන් රථ වාහන සැලැස්ම හා ආරක්ෂක සැලැස්ම පහත පරිදි වේ.
රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා රථවාහන අංශ නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක් අදාල මාර්ගයන් හී රාජකාරි යෙදවීමට නියමිතව ඇත.

ශ්‍රී ජයවර්ධන පුර මාර්ගය සම්බන්ධයෙන් වන විට, ඔක්තොම්බර් 07 වන දින පෙරවරු 06.00 සිට,

ආයුර්වේද වට රවුමේ සිට වැලිකඩ හංදිය දක්වා කොළඹ දෙසින් වාහන පිටවීම නතර කරනු ලබයි.
නමුත් ශ්‍රි ජයවර්ධනපුර මාර්ගයේ කොළඹට ඇතුළුවන වාහන සඳහා එලෙස ඇතුළුවීමට හැකියාව ඇත.

එම මාර්ගයේ ( ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ) කොළඹට ඇතුළුවීම සඳහා තිබෙන මxතීරු තුනෙන් මාර්ගය මැද්දට වන්නට තිබෙන මංතීරු දෙක එලෙස කොළඹට ඇතුළුවන වාහන සඳහා වෙන් කර ඇත. 

කොළඹට ඇතුලුවන විට වම්පසින්ම තිබෙන මංතීරුව පක්ෂ අධාරකරුවන් පැමිණෙන වාහන වලට ගමන් කිරීම සදහා ලබා දී ඇත. 

එලෙස ගමන් කරන ආධාරකරුවන්ගේ වාහන අතුරින් සැහැල්ලු වාහන ජනාධිපති විද්‍යාල ක්‍රීඩා පිටිය වෙතත්, ආධාරකරුවන් පැමිණෙන බස් රථ ලේක් ඩ්‍රයුව් වෙතත් යොමු කරනු ලබයි.
ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹින් පිටවීමට තිබෙන කොටස ( එය මංතීරු තුනකින් සමන්විතය ) ආධාරකරුවන්ට රැදී සිටීම සඳහා වෙන් කර ඇත.

පරණ කෝට්ටේ පාර සම්බන්ධයෙන් වන විට, 

වැලිකඩ හංදියේ සිට ආයුර්වේද වටරවුම දක්වා කොටසේ වාහන කොළඹ දෙසට ඇතුල් වීම නතර කරනු ලබයි. 

කොළඹින් පිටවන වාහන සඳහා පරණ කෝට්ටේ පාරේ වම්පස මංතීරු දෙකම විවෘතව ඇත.
එම මාර්ගයේ ( පරණ කෝට්ටේ පාර ) කොළඹට ඇතුළුවන කොටසේ මංතීරු දෙකම ආධාරකරුවන්ට රැදී සිටීමට වෙන් කර ඇත.
පරණ කෝට්ටේ පාරේ කොළඹින් පිටවන මංතීරු ඔස්සේ ගමන් කරන ආධාරකරුවන් පැමිණෙන සැහැල්ලු වාහන සඳහා පහත පරිදි රථ ගාල් 03ක් වෙන් කර ඇත.

  • ඉම්පාලා රථගාල
  • හමීඩියා රථගාල
  • ක්‍රිස්තියානි පල්ලිය රථගාල

පරණ කෝට්ටේ පාරෙන් පැමිණෙන ආධාරකරුවන්ගේ බස් රථ සඳහා පහත පරිදි රථ ගාල් 03ක් වෙන්කර ඇත.

  • දියත උයන රථ ගාල
  • චන්ද්‍රා සිල්වා මාවත
  • නාවල උද්‍යාන පාර

ආධාරකරුවන්ට රැදී සිටීම සඳහා පහත පරිදි ස්ථාන 05ක් වෙන් කර ඇත.

  • පරණ කොට්ටේ පාරේ ඔබේසේකර හංදියේ සිට සරණ මාවතට හැරෙන හංදිය දක්වා කොළඹට ඇතුලුවන මාර්ග කොටස
  • පරණ කොට්ටේ පාරේම සරණ මාවතට හැරෙන හංදියේ සිට කොට්ටේ ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයට හැරෙන හංදිය දක්වා කොළඹට ඇතුළුවන මාර්ග කොටස
  • ශ්‍රි ජයවර්ධනපුර මාර්ගයේ ලේක් ඩ්‍රයුව් හංදියේ සිට සරණ මාවතට හැරෙන හංදිය දක්වා කොළඹින් පිටවන මාර්ග කොටස
  • ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේම සරණ මාර්ගයට හැරෙන හංදියේ සිට වික්ටෝරිය වැඩිහිට නිවාසය දක්වා කොළඹින් පිටවන මාර්ග කොටස
  • කෝට්ටේ ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය ඉදිරිපිට අතුරු මාර්ගය

එම එක් එක් ස්ථානයේ රැදී සිටීමට අවසර ලැබෙන්නේ කුමන පක්ෂ වල ආධාරකරුවන්ටද යන කාරණය පක්ෂ නියෝජිතයින් සමඟ සිදු කරන සාකච්ඡාවේදී දැනුම් දීමට නියමිතයි.

එමෙන්ම මෙම එක් එක් ස්ථානයට ඇතුලත් කරන සියලුම ආධාරකරුවන්ව සෝදිසි කිරීමකටද ලක් කෙරෙන අතර එම සෝදිසි කිරීම් සඳහා සෝදිසි කපොලු 10ක් ස්ථාපිත කර ඒ සඳහා නිලධාරීන් යෙදවීමට නියමිතය.

කෝට්ටේ ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය ඉදිරිපිට අතුරු මාර්ගයේ රැදී සිටීමට පැමිණෙන ආධාරකරුවන්ගේ වාහන නතර කර තැබීම සඳහා වැලිකඩ ප්ලාසා රථගාල සහ ජනජය සිටි රථගාල වෙන් කර ඇත.

එම රථවාහන සැලැස්ම ඔක්තොම්බර් 07 වන සදුඳා පෙරවරු 6.00 සිට ආරම්භ කිරීමට නියමිතය.
එදින මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඇති විය හැකි රථවාහන තදබඳය අවම කර ගැනීම සඳහා හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කිරීම වැදගත් වේ. එමෙන්ම බස් රථ හැරුනු විට අනෙකුත් සියලුම බර වාහන අනිවාර්යෙන්ම විකල්ප මාර්ග භාවිතා කල යුතුය.

මෙහිදී භාවිතා කල හැකි විකල්ප මාර්ග කිහිපයක් පහත පරිදි වේ.

කඩුවෙල සිට බොරැල්ල දෙසට ගමන් කරන වාහන, කඩුවෙලින් වැල්ලම්පිටිය පාර ඔස්සේ ඔරුගොඩවත්ත දෙසින් බේස්ලයින් පාරට ගමන්කර බොරැල්ල දෙසට ගමන් කල හැකිය.

මාලඹේ දෙස සිට පැමිණෙන වාහන, මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත, අඹතලේ හරහා වැල්ලම්පිටිය ඔස්සේ ඔරුගොඩවත්තට හෝ දෙමටගොඩට පිවිස ගමන් කල හැකිය.

එමෙන්ම තලංගම දෙසින් පැමිණෙන වාහන, තලංගම කොස්වත්ත හංදියෙන් දකුණට ඇති අඹගස හංදිය හරහා අයි.ඩී.එච්, කොලොන්නාව හරහා බේස්ලයින් පාරට ගමන්කල හැකිය.

එමෙන්ම තලංගම දෙසින් පැමිණෙන වාහන, කොස්වත්ත හංදියෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගයේ කියන්හැම් වටරවුමෙන් කිඹුලාවල හංදිය, මාදිවෙල පාර, පිටකෝට්ටේ, පාගොඩ හරහා නුගේගොඩට පැමිණ හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන් කල හැකිය.

සැහැල්ලු වාහන හැකි තාක් දුරට කොළඹට පැමිණීමේදී මෙන්ම කොළඹින් පිටවීමේදී ද මෙම විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ඉල්ලා සිටිනු ලබයි.

එදිනට බස් රථ හැර අනෙකුත් බාර වාහන මෙම ප්‍රදේශයට ඇතුළු නොකරන බැවින් විකල්ප මාර්ග භාවිතා කිරීම අනිවාර්ය වේ.

එම සෑම විකල්ප මාර්ගයකම රථවාහන අංශ නිලධාරීන් රාජකාරි යොදවා ඇත.
ආරක්ෂක රාජකාරි සඳහා සහ සෝදිසි කිරීමේ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික ප්‍රමාණයක් රාජකාරි යෙදවීමට නියමිතව ඇත.

ඊට අමතර වශයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද අවශ්‍ය ප්‍රමාණයට යෙදවීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටි සරණ මාවතට ඇතුල් වීමට හැකියාව ලැබෙන්නේ අවසර ලත් පුද්ගලයින් සහ අවසරලත් වාහන සඳහා පමණි. එම පැමිණෙන වාහන හා පුද්ගලයින්ද සෝදිසි කිරීමකට ලක් කරනු ලබයි.

ආවේක්ෂණ රාජකාරි සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද යෙදවීමට නියමිතය.

ඒ ඒ පක්ෂ වලට වෙන් කර තිබෙන ස්ථාන සහ රථ ගාල් පිළිබඳව කල් ඇතිව දැනගෙන එම ස්ථාන වෙත යොමු විය යුතු බවට පැමිණෙන ආධාරකරුවන්ට දැනුම් දෙනු ලබයි.

එමෙන්ම වාහන පෙලපාලි හා පුද්ගල පෙලපාලි සම්පූර්ණයෙන්ම තහනම් වේ.

කටවුට්, බැනර්, පෝස්ටර් ආදියද ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.

නීති විරෝධි ක්‍රියාවල නිරතවන පුද්ගලයින් සම්බන්ධයෙන් වීඩියෝ ගතකර එම වීඩියෝ දර්ශන උපයෝගි කරගෙන අදාල තැනැත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමර්ග ගන්නා බවත් සදහන් කල යුතුය.