covi 1ops roommedia

curfew pass 1

ක්‍රෙඩිට් කාඩ් පත් වංචාවක් සම්බන්ධයෙන් විදේශිකයින් සිවු දෙනෙකු අත්අඩංගුවට

 

2020.06.23 වන දින උදෑසන 08.00 ට පමණ ගල්කිස්ස පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන ගෙන සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු සහ උගන්ඩා ජාතික කාන්තාවක් මහා පරිමාණ ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් මුදල් වංචාවන් සිදුකිරීම සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 31 හා 34 වයස්වල පසුවන අතර සැකකාරිය වයස අවුරුදු 30 ක් වේ. මෙම විදේශීය ජාතික සැකකරුවන් විසින් විවිධ පුද්ගලයින්ට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ට ත්‍යාග ඇදී ඇති බවටත් එම ත්‍යාග මුදල් ලබා ගැනීම සඳහා මූලික මුදලක් තැන්පත් කිරීමට අවශ්‍ය බවත් පවසමින් ඔවුන් රවටා විවිධ ගිණුම් අංක වෙත මුදල් තැන්පත් කරවා ගෙන එසේ තැන්පත් කරන මුදල් මෙම ව්‍යාජ කාඩ්පත් උපයෝගී කරගෙන මහා පරිමාණ ලෙස මුදල් වංචාවන් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

 

මොවුන් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරුවන් තිදෙනා 2017 වර්ෂයේදී මෙවැනිම ක්‍රෙඩිට් කාඩ්පත් වංචාවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන දැනට ඇප මත සිටින අයවළුන් බවට අනාවරණ වී ඇති අතර, මින් එක් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකර ගෙන යනු ලබන විමර්ශණයකට අවශ්‍ය කරනු ලැබ සිටින සැකකරුවෙකුද වන බවට අනාවරණය වී ඇත.

 

මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, මෙවැනි වංචාවන්ට හසු වී ඇති අය වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසටත්, මේ ආකාරයෙන් සිදුකර ගෙන යනු ලබන වංචාවන්ට හසු නොවන ලෙසටත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ක්‍රෙඩිට් කාඩ් පත් වංචාවක් සම්බන්ධයෙන් විදේශිකයින් සිවු දෙනෙකු අත්අඩංගුවට