ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය පරිදි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කරන ලදී.
ඒ අනුව නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025 අගෝස්තු මස 14 වන දින උදෑසන පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති ධූරයේ රාජකාරි භාරගත්තේය.
37 වන පොලිස්පති ධූරය ශ්‍රී ලංකා පොලිසියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ය. එයට හේතුව ශ්‍රී ලංකා පොලිසියට ඉඳුරාම බඳවා ගනු ලබන ක්‍රම ත්‍රිත්වයෙන් ම ශ්‍රී ලංකා පොලිසියට බැඳුණු එකම නිලධාරියා මෙලෙස වසර 37 ක සේවා කාලය සම්පූර්ණ කරන වර්ෂයේ දීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් පත්වීමයි.
1969 පෙබරවාරි 09 වන දින උපත ලද වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත, දොඩංගොඩ නෑහින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඉන් අනතුරුව කළුතර ඥාණෝදය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය හදාරණ ලදී.
අධ්‍යාපනය ලබන අවධියේ දී ම ශ්‍රී ලංකා පොලිසිය තම වෘත්තීය ගමන්මඟ වශයෙන් තෝරා ගනිමින් 1988.05.20 දින පොලිස් ව්‍යූහයේ කණිෂ්ඨ තනතුරකින් පොලිස් සේවයට ඇතුළත් වන ලදී.
අනතුරුව 1990 වසරේ අ.පො.ස. (උසස්පෙළ) සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලබන ලදී. ඉන් අනතුරුව 1992 වර්ෂයේ දී උප පොලිස් පරීක්‍ෂක ශ්‍රේණියට ඉඳුරාම බඳවා ගැනීම යටතේ ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස ඇතුළත් විය. පොලිස් සේවයේ සිටියදීම 1993 වර්ෂයෙන් ආරම්භව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති උපාධිය 1998 දක්වා සාර්ථකව හදාරන ලදී. 1999 වසරේ ම නීති විද්‍යාලයේ අවසන් වසර සමත්ව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දෙන ලදී.
ඉන් අනතුරුව තම උපාධිය මුලික සුදුසුකමක් කර ගනිමින් 1999 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සෘජුවම පොලිස් සේවයට ඇතුළත්ව මූලික පුහුණුව ලබන ලදී.
අනතුරුව 2007 වර්ෂයේ පොලිස් අධිකාරි ධූරයට ද, 2012 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට ද, 2016 වර්ෂයේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට ද, 2020 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට ද උසස්වීම් ලබා ඇත.
එසේ ම මෙම කාලය තුළ 2015 වසරේ දී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය ද, 2020 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇත.
ප්‍රියන්ත වීරසූරිය මහතා, වසර 37 ක සේවා කාලය තුළ පොලිස් කොට්ඨාස ගණනාවකම අධ්‍යක්‍ෂවරයකු හා කොට්ඨාස භාර නිලධාරියෙකු ලෙස ද, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස ද, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ද පරිපාලන රාජකාරි හා ක්‍ෂේත්‍ර රාජකාරි වල දක්‍ෂ, කාර්යශුර අත්දැකීම් බහුල නිලධාරියෙකු වූ බැවින්, නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා 2024.09.27 වන දින සිට පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශයට යටත්ව පත් කරන ලදී.
එසේ ම ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් සේවයේ විවිධ රාජකාරි හා අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳ විවිධ සමීක්‍ෂණ සිදු කරමින් ව්‍යාපෘති කිහිපයක් ද සක්‍රීයව සිදුකරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධරයන්ගේ සුභසාධනයට වැඩි අවධානයක් ලබාදෙමින් නිල ඇඳුම් අවශ්‍යතා, ක්‍රීඩා ඇඳුම් කට්ටල, ක්‍රීඩා සපත්තු හා පොලිස් නිලධරයන්ගේ විශේෂ රාජකාරි වලදී භාවිත කිරීමට ඇද ඇතිරිලි වැනි දෑ නිකුත් කිරීම ද ප්‍රියන්ත වීරසුරිය මහතාගේ හඳුන්වාදීම් වේ.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි කිරීමේදී ජාත්‍යන්තර පොලිසිය හා රාජතාන්ත්‍රික මට්ටමින් මනා සබඳතාවයක් ගොඩ නංවා ගනිමින්, අපරාධකරුවන් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීම හා ගෙන්වා ගැනීමට සහයෝගයෙන් කටයුතු කරනු ලැබීය.
එමෙන් ම, මෙරට පිහිටි විදේශීය තානාපති කාර්යාල සමඟ ද මනා සබඳතාවයක් පවත්වා ගනිමින් අදාළ සාකච්ඡාවන් සිදුකර පොලිස් නිලධරයන්ට විදේශීය පුහුණු කටයුතු හා විදේශීය ශිෂ්‍යත්ව ලබා ගැනීමට ද අවශ්‍ය පහසුකම් සලසන ලදී.
එමෙන් ම කණිෂ්ඨ හා පරීක්‍ෂක ශ්‍රේණියේ නව බඳවා ගැනීම් කඩිනම් කිරීම ද සිදු කෙරිනි. කණිෂ්ඨ හා පරීක්‍ෂක ශ්‍රේණිවල හා විධායක ශ්‍රේණියේ බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටි (SOR) අනුමත කර ගැනීම මෙන් ම උසස්වීම් වලට අදාල ගැටලු විසඳීම සඳහා කටයුතු වත්මන් කාලයේ ආරම්භ කරන ලදී.
මහජනතාව වෙනුවෙන් පොලිස්පති සහන මැදිරිය හා මහජන දිනය පැවැත්වීම, ඕනෑම අවස්ථාවක මහජන පැමිණිලි හා තොරතුරු ලබාදීම සඳහා WhatsApp සමූහයන් හඳුන්වා දීම, GovPay වැනි නියාමක ව්‍යාපෘති මූලස්ථාන මට්ටමින් ආරම්භ කිරීම හා පළාත්බඳ අපරාධ විමර්ෂණ කොට්ඨාස ආරම්භ කිරීම සහ පොලිස් නිලධාරින්ගේ සේවාවන් ගුණාත්මක කිරීම සුවිශේෂී වේ.
පොලිස් නිලධරයන්ගේ රාජකාරි නිසිලෙස අධීක්‍ෂණය කිරීම, දුර්වල කාර්ය සාධනයක් සහිත නිලධරයන් හඳුනා ගැනීම හා දුෂිත නිලධරයන් සේවයෙන් ඉවත් කිරීම වැනි සාධනීය කටයුතු තුළින් පොලිස් සේවයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම, මහජන විශ්වාසය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිසි මාර්ගෝපදේශයන් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොලිසියේ අභිවෘද්ධිය සඳහා කෙටි කාලීන විසඳුම් වෙනුවට දිගු කාලීන ඵලදායි ක්‍රියාමාර්ගවලට අවතීරණ විය.
ප්‍රියන්ත වීරසූරිය මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී නිලධාරින්ගේ ජීවිත ආරක්‍ෂාව සම්බන්ධ පුහුණු පාඨමාලාව සහ සුදු කරපටි අපරාධ සම්බන්ධයෙන් වන පාඨමාලාව ද, බංගලාදේශයේ දී දිගු දුර ආරක්‍ෂණ පාඨමාලව ද, වියට්නාමය හා ඕස්ට්‍රේලියාවේ දී නීතිය ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණ පිළිබඳ පාඨමාලාවන් ද, තායිලන්තයේ දී කළමනාකරණ සහ පරිපාලන පාඨමාලාව ද, රුසියාවේ ආරක්‍ෂණ තාක්‍ෂණය පිළිබඳ පාඨමාලාව ද, රාජකීය මැලේසියානු පොලිසියේ කෘතිම බුද්ධිය සහ නායකත්වය සම්බන්ධ පාඨමාලාව ද ඇතුළු විදේශීය හා දේශීය පුහුණු පාඨමාලා බොහොමයක් සාර්ථකව හදාරා ඇත.
එසේ ම, 2007 – 2008 නැගෙනහිර ටිමෝරයේ ද, 2010 – 2011 හයිටි රාජ්‍යයේ ද එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ද ඍජු දායකත්වයක් දක්වා ඇත.
තව ද, ශ්‍රී ලංකා පොලිසියේ බිඳ වැටී තිබූ මහජන විශ්වාසය ඉහළ නැංවීම, දේශපාලන බලපෑමකින් තොර ඵලදායි ස්වාධීන පොලිස් සේවයක් මහජනතාව වෙත ලබාදීමේ අරමුණ ද පෙරදැරිව, ශ්‍රී ලංකා පොලිසියේ දැක්ම වූ “අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම” යථාර්තයක් බවට පත් කිරීමට සියලු නිලධරයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ය.
මේ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ විවිධ කඩඉම් පසුකරමින්, දක්‍ෂ හා කාර්යශුර ලෙස මෙන් ම අවංකව හා වගවීමෙන් යුතුව පොලිස් රාජකාරි ඉටු කළ කීර්තිමත් පොලිස් නිලධාරියෙකු වන නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා වසර 37 ක සේවා කාලය සම්පූර්ණ කරන මෙම වසරේ දීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් ධූරයේ රාජකාරි භාරගත්තේය.