පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන ගුණ අනුස්මරණ දිනය

රටදැය වෙනුවෙන් දිවි පිදූ පොලිස් විශේෂ කාර්ය බලකා විරුවන් ගෞරවාන්විතව සිහිපත්කෙරෙන පොලිස් විශේෂ කාර්ය බලකායේ හතලිස් එක්වන රණවිරු ගුනානුස්මරණ දින සැමරුම් උත්සවය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් 2025.09.01 වන දින කලුතර,කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්වුනි.

තිස් අවුරුද්දකට ආසන්න කාලයක් පැවති උතුරු නැගෙනහිර යුධ වාතාවරණයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ රණවිරුවෝ 464 දෙනෙක් සහ සිවිල් සේවකයන් 06 දෙනෙක් මාතෘ භූමියේ සෛවරිභාවය ආරක්ෂාකිරීම වෙනුවෙන් දිවි පිදූහ. රණවිරුවන් 774 ක් තුවාල ලබා පුර්ණ ආබාධිත බවට පත් විය.

1984 සැප්තැම්බර් පළමු වැනිදා යාපනය සහ පේදුරු තුඩුව අතර ටික්කම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගමන් ගත් ට්‍රක් රථයක් ඉලක්කකර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඇටවු බිම් බෝම්බයකට හසුව විශේෂ කාර්ය බළකායේ මුල්ම සාමාජිකයන් සිව්දෙනා සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කළහ.

එම නිලධාරීන් වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරුන් වන ආර් චන්ද්‍රපාල, පී.ඒ. ඒකනායක, එල්.ඩී. නානායක්කාර සහ පොලිස් සැරයන් රියදුරු එච්.ඩී. සුමනසේකර යන නිලධාරීන්ය. සිදුවීමෙන් එහි ගමන් ගත් තවත් නිලධාරීන් එකොළොස් දෙනෙකු තුවාල ලැබීය. 

එම සිදුවීම පාදක වී සෑම සැප්තැම්බර් මසකම පළමුදින සමරනු ලබන පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය මෙවරත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්කර ගනිමින් ගෞරවාන්විතව සැමරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.සමන්ත ද සිල්වා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයතු කළහ.

මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමා සමඟ පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී විය.

Scroll to Top