මූලික පුහුණුව නිමා කළ ආධුනික කොස්තාපල්වරුන් 396 ක් රාජකාරි සඳහා විසිර යයි

අප මාතෘ භූමියේ බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට හැකි පරිසරය පවත්වාගැනීමට මෙන්ම මහජනතාවට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන පොලිස් සේවා දිවා රැය නොබලා සැලසීම උදෙසා දිවුරුම් දෙමින්, මාස 08 කට ආසන්න කාලයක් කළුතර පොලිස් විදු මව් සෙවණේ සිය මූලික පුහුණුව සම්පූර්ණ කළ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 396 දෙනෙක් ඔවුන් අනුයුක්ත කළ පොලිස් ස්ථාන වෙත 2025.09.09 වන අද දින සාඩම්බරව විසිර ගියහ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විසිරයාමේ උත්සවය කළුතර පොලිස් විද්‍යාලයේ අළුවිහාර ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙස පැවැත්වුනි.

පොලිස් කොස්තාපල්වරුන් 367 දෙනෙකුගෙන් සහ පොලිස් කොස්තාපල් රියදුරන් 29 දෙනෙකුගෙන් සමන්විත වූ ඇණි 12 කින් සමන්විත වූ මෙවර විසිරයාමේ උළෙලේ සම්මාන පෙළපාලිය ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස මෙහෙයවනු ලැබුවේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා විසින්ය. දෙවන අණදෙන නිලධාරීවරයා ලෙස කළුතර පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධීන් චන්ද්‍රදීප් මහතා කටයුතු කරන ලදී.

සම්මාන පෙළපාලිය නිමාවීමෙන් අනතුරුව පුහුණුකාලය තුල කැපී පෙනෙන අයුරින් විශිෂ්ඨ දස්කම් දැක්වූ නිලධාරීන් උදෙසා කාණ්ඩ 05 ක් යටතේ ත්‍යාග සහ සහතික පත් ගරු අමාත්‍යතුමන්ගේ සහ පොලිස්පතිතුමන්ගේ සුරතින් පිළිගැන්වුනි. 

* අති දක්ෂතම පොලිස් නිලධාරියා ලෙස ආධුනික පොලිස් කොස්තාපල් 107351 සී.බී.කේ.ආර්. නෙත්කැළුම්, 
* නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික නිලධාරීයා ලෙස ආධුනික පොලිස් කොස්තාපල් 107257 බී.ඩී.කේ. සම්පත්, 
* දක්ෂතම වෙඩික්කරු ලෙස ආධුනික පොලිස් කොස්තාපල් 107516 එස්.එම්.පී.ඒ.බී. සෙනෙවිරත්න, 
* දක්ෂතම ආධුනික කොස්තාපල් රියදුරු ලෙස ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු 103370 ඒ.එම්.ජේ.ඩී.බී. ජයසුන්දර,
* හොඳම රියදුරු ලෙස ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු 103705 ආර්.එම්.අයි.පී. ජයතිලක

ඉන් අනතුරුව උත්සව සභාව ආරම්භකරමින් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාල වැඩ බලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුෂාන්ත රුවන් තලගල මහතා විසින් උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුලුව පැමිණ සිටි පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ‌ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බඳවා ගැනීම හා පුහුණු දිසාව නියෝජ්‍ය පොලිස්පති අනුර පුෂ්පකුමාර යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රධාන රාජ්‍ය ආයතනයන්හි මුලසුන් හොඹවමින් උත්සවය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආධුනික නිලධාරීන්ගේ දෙමව්පියන් සහ හිතවතුන් සාදරයෙන් පිළිගත්තේය.

උත්සව සභාව ආමන්ත්‍රණය කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නවක නිලධාරීන්ට සුභාසිංශන එක්කර පොලිස් සේවයේ යහපත් වෘත්තීයභාවයෙන් නිරතවීමෙන් ජීවිතයට එක්කර ගත හැකි වටිනාකම් පිළිබඳව පැහැදිලි කළහ.

සුපුරුදු පරිදි විසිර යාමේ උළලක සමාප්තිය ගාම්භීරත්වයෙන්, රසාස්වාදයෙන් සහ දර්ශනීයභාවයෙන් නිමකිරීමට එක්වන පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් බටහිර තූර්ය වාදන කණ්ඩායම, පොලිස් සංස්කෘතික කොට්ඨාසය සහ හැකියාවන්ගෙන් සපිරි පොලිස් විද්‍යාල කණ්ඩායම් විදහා පෑ සන්දර්ශන, වාදන සහ නර්තනාංගයනගෙන් මගින් පැමිණ සිටි සියල්ලන් පිනවන ලදී. 

මෙවරත් මෙම සියලු අවස්ථාවන් සජීවීව නැරඹීමට SRI LANKA POICE නිල FACEBOOK පිටුව හා එක්වූ සැමට අවස්ථාව හිමිවිය.

 

Scroll to Top