මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපල හා වත්කම් ක්‍රියා විරහිත කිරීම

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් යොමු කරන ලද පැමිණිල්ලට අනුව තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මිලදී ගෙන ඇති දේපල හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර ඇත.

එහිදී එම සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති අතර ඒ් අනුව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරුගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී ඔහු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද  මුදලින් සැකකරුගේ බිරිඳගේ නමින් පහත සඳහන් දේපල හා වත්කම් උපයාගෙන ඇති බව අනාවරණය වී ඇති අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඇඹිලිපිටිය හා  තංගල්ල මහාධිකරණ මඟින් ලබාගත් එම දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයන් 2025.12.11 වන දින සිට දින 07 කාලයක් සඳහා දීර්ඝ කර ඇත.

I. රුපියල් මිලියන 30 ක වටිනාකමින් යුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි බෙහෙත් අලෙවිසැලක්.

II. රුපියල් මිලියන 70 ක වටිනාකමින් යුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 39.5 ඉඩමක් හා හෝටලයක්

III. රුපියල් මිලියන 15 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමර දෙකකින් යුතු ගොඩනැඟිල්ලක්

IV. රුපියල් මිලියන 7.5 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමරයක් සහිත ගොඩනැඟිල්ලක්

V. රුපියල් මිලියන 7.5 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමරයක් සහිත ගොඩනැඟිල්ලක්

VI. රුපියල් මිලියන 35 ක වටිනාකමින් යුතු කීරවැල් කටුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 25 ක ඉඩම හා දෙමහල් නිවසක්

VII. රුපියල් මිලියන 15 ක වටිනාකමින් යුතු පනාමුර පාර, මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පිහිටි ඉඩම හා දෙමහල් ගොඩනැගිල්ලක්

එම දේපළ වේ.

මෙවැනි ආකාරයේ නීති විරෝධී ලෙස උපයාගන්නා ලද දේපල හා වත්කම් රජය සතුකර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් පවතී. පොලිස්පතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය යටතේ මෙවැනි ආකාරයේ අනීතික ලෙස උපයාගන්නා සියළු වත්කම් හා දේපල  ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරයි.

Scroll to Top