අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ රු.376,230,877 , USD 544.66 මුදල් හා දේපළ භාවිතය තහනම්

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් පහත සඳහන් දේපල හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශනය කිරීමෙන් අනතුරුව 2025.12.10 වන දින සිට දින 07 ක කාලයක් එම දේපල හා වත්කම් ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

රුපියල් 5,400,000/= ක් වටිනා කැබ් රථයක්, රුපියල් 14,500,000/= ක් වටිනා වෑන් රථයක්, රුපියල් 4,566,805.30 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 35,956,514.66 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 12,623,628.81 ක් තැන්පත් කර ඇති ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්,  රුපියල් 19,883,810.23 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 118.31 ක තැන්පතුවක් ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, ඇමරිකානු ඩොලර් 544.66 ක තැන්පතුවක් සහිත  කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක් ( විදේශීය මුදල් ) එම දේපල හා වත්කම්ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද පැමිණිල්ලට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනය සිදුකර ඇති අතර මින් පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවක සැකකරු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද  මුදල් රුපියල් 283,300,000/= ( විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක මුදලක්) අධිකරණය භාරයට ගෙන අධිකරණ ගිණුමේ තැන්පත් කර ඇත.

ඒ අනුව සම්පූර්ණ මුදල රුපියල් 376,230,877.31 ( තිස් හත් කෝටි හැට දෙලක්ෂ තිස් දාස් අටසිය හැත්තැ හතයි ශත තිස් තුනයි) ක මුදලක් වේ. 

මෙවැනි ආකාරයේ අනීතික ලෙස උපයාගන්නා සියළු වත්කම් හා දේපල  ක්‍රියා විරහිත කිරීම සඳහා පොලිස්පතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරයි.

Scroll to Top