මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටයදී රිය අනතුරකට ලක්ව පොලිස් කොස්තාපල් 82615 සරත් කුමාර නිලධාරියා මියයයි.

රිය පදවාගෙන නිවසට යායුතු බව දැන දැනම වර්ෂ අවසාන රාත්‍රියේ තැන තැන බීමත්වන නොහික්මුනු ප්‍රජාවගෙන් ජීවිත ආරක්ෂාකරගත යුතුයි. 

ශ්‍රී ලංකා පොලිසිය එදින රාත්‍රියේ දිවයිනේ සෑම ප්‍රධාන මාර්ගයකම පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන ලදී.

ඒ් අනුව අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 82615 එම්. සරත් කුමාර නිලධාරියාද නව වසර උදාවන රාත්‍රියද රාජකාරියට කැපකරමින්  අම්බලන්තොට වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේ රාජකාරි නියුතුව රථ වාහන පරීක්ෂාවේ යෙදෙමින් සිටියේය.

අලුයම 2.30 ට පමණ තවත් සැක සහිත කාර් රථයක් නැවැත්වීමට ඔහුගේ විදුලි පන්දම දැල්වී ඇති අතර නොසිතු විරූ ලෙස වේගය අවමකිරීමක් හෝ නොකළ එම රථය ඔහුව දරුනු ඝට්ටනයකට ලක්කර පළාගිය බව වාර්තා වීමෙන් නව වසර සතුටින් සැමරීමට සූදානමින් පසුවූ සෑම පොලිස් හදවතක්ම කම්පනයට පත්විය.

හැකි විගස 1990 ගිලන් රථයකින් නිලධාරියා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමට පියවරගෙන තිබුනද, හිසට සිදුව තිබූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මියගිය බව රෝහල විසින්  2025.01.01 වන දින උදෑසන 04.05 ට පමණ දැනුම් දෙන ලදී.

2009.02.01 දින ඇල්පිටිය පොලිස් විද්‍යාලයට ඇතුලත්ව පොලිස් සේවයට බැඳී ඇති දිවන්ගත පොලිස් කොස්තාපල් 82615 එම්. සරත් කුමාර නිලධාරියා දෙදරු පියෙකි. සූරියවැව,වීරියගම පාසල ඉදිරිපිට ස්ථිර පදිංචිරකරුවෙකු වන ඔහු හම්බන්තොට, මත්තල, සූරියවැව,චීන වරාය යන පොලිස් ස්ථානවල සේවය කර ඇත. අම්බලන්තොට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීම් ලබා පැමිණ ඇත්තේ 2024.12.31 වන දිනයි. 

කාර් රථය නිලධාරියා සමඟ සේවයේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකායේ 9902 සමන් බණ්ඩා නිලධාරියාගේද ගැටී ඇති අතර එම නිලධාරියාද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

නිලධාරීන් හප්පා පළා ගිය කාර් රථය පසුපස හෝඩුවාවන් ඔස්සේ හඹාගිය නිලධාරීන් කාර් රථය අම්බලන්තොට රිදීගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගත්හ.

එදිනම සැකකාර රියදුරුද අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඔහු 21 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය විය. ඔහුට සැඟවීම සඳහා ආධාර අනුබල දීම මත කාන්තාවක් ඇතුලු සැකකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගත්හ.

ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියදුරු 2026.01.08 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරීමට ගරු අධිකරණය නියෝග කරන ලදී.

අනෙකුත් සැකකරුවන් 2026.01.02 වන අද දින අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Scroll to Top