මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්තුමාගේ සම්බන්ධී කරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමඟ කරනු ලැබූ ඍජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු 2026.01.24 වන දින සවස ඉන්දියාවේ සිට ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට ගත්හ.
කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.
සැකකරුට එරෙහිව පහත අපරාධ චෝදනා සම්බන්ධව ගරු අධිකරණයන්හි නඩු පවරා ඇත.
• 2015 වර්ෂයේදී කෙසෙල්වත්ත පොලිස් වසමේදී තියුණු ආයුධයවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.
• 2018 වර්ෂයේ කොටහේන පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා ආධාර අනුබල දීම.
• 2021 වර්ෂයේදී මට්ටක්කුලිය පොලිස් වසමේදී තියුණු ආයුධවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.
• 2021 වර්ෂයේදී කොටහේන පොලිස් වසමේදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම.
• කෙසෙල්වත්ත, වේල්ලවීදිය, බ්ලූමැන්ඩල් යන පොලිස් වසම්වලදී කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම.
සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවගේ මෙහෙයවීම මත සිදුකරනු ලබයි.