මත්ද්‍රව්‍ය භාවිතාකර රිය ධාවනයේ යෙදෙන රියදුරන්, රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම 2026.01.21 වන දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පළේදී නිල වශයෙන් ආරම්භ කෙරුනි.
මෙම ජංගම රසායනාගාර සේවාව මගින් දැනට දින 14 ක් ඇතුලත භාවිතා කළ මත්ද්‍රව්‍ය වර්ග 4 ක් සම්බන්ධ වාර්තා විනාඩි කිහිපයක් ඇතුලත ලබාගත හැකිවන අතර මෙමගින් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කර අධිකරනය වෙත ඉදිරිපත් කිරීම, රියදුරු බලපත්‍ර අහෝසිකිරීම දක්වා ක්‍රියාමාර්ග ගෙන මගී ජීවිත ආරක්ෂා කිරීම අපේක්ෂාවයි.
අද දින (21) රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් පරීක්ෂණය සඳහා යොමුකළ දුරගමන් හා කෙටිදුර බස් රථ රියදුරන් 59 දෙනෙකු අතරින් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතාකළ රියදුරන් ලෙස හඳුනාගැනීමට හැකි වී ඇති අතර වාර්ථා අනුව ඉන් 08 දෙනෙකු භාවිතා කර ඇත්තේ ගංජා වන අතර දෙදෙනෙක් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ.
ජාතික ගමනා ගමන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම පරීක්ෂණ ඉදිරියේදී සමස්ථ දිවයින ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිතය.
මෙම සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ඩී.පී.ජේ සේනාධීර මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය යු.සි.පි පෙරේරා, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩා මහතා, බැස්ටියන් මාවතේ බස්රථ රියදුරන්, රිය සහයකයින් සහභාගී විය.