අපරාධයක් සම්බන්ධව අධිකරණයේදී විභහගවන නඩු නිමිත්තක් කඩිනමින් අවසන් කර යුක්තිය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් ඇසදුටු සාක්ෂි මෙන්ම විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරමින් සාධාරන සැකයෙන් ඔබ්බට සැකකරුවන්ගේ වරදකාරීබව ඔප්පුකිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කරයි.
ඇඟිලි සටහන් හදුනාගැනීම, කෙස් හඳුනාගැනීම, රුධිරය වැනි ද්‍රවයන් සොයාගැනීම මෙන්ම තවත් විවිධ වූ තාක්ෂණික ක්‍රම උපායන් මගින් සාක්ෂි රැස්කිරීම විද්‍යාත්මක සාක්ෂි සොයාගැනීම යනුවෙන් හදුන්වන අතර එම කාර්ය වඩාත් නිවැරදිව සිදුකිරීම සඳහා Scene Of Crime Officer (SOCO) නිලධාරීන් නම් විශේෂඥ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සෑම පොලිස් කොට්ඨාසයකම විශේෂිතවූ පරීක්ෂණාගාරයකට (SOCO Lab) අනුයුක්තව කාර්යබහුලව සේවයේ නිරතව සිටී.
මෙම පරීක්ෂණාගාර තවදුරටත් වැඩිදියුණුකිරීම මෙන්ම ව්‍යාප්තකිරීම, කොට්ඨාස මට්ටමෙන් වාර්තාවන අපරාධවල විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට ප්‍රභල සාධකයක් වන බැවින් නව පරීක්ෂණාගාර අත්‍යවශ්‍ය ප්‍රදේශ හඳුනාගෙන කඩිනමින් පරීක්ෂණාගාර ලබාදීමට අවශ්‍ය ක්‍රියාදාමය සිදුවෙමින් පවතී.
ඒ් අනුව මාන්කුලම් පොලිස් භූමියේ ඉදිකළ මුලතිව් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.19 දින විවෘත කෙරුණි.
කිලිනොච්චි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.එස් මෙන්ඩිස්,මුලතිව් කොට්ඨාස භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නවීර, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වය මෙම අවස්ථාව සඳහා හිමිවිය.