මෑත අවුරුදු කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබූ නිලධාරීන් යනු තිස් වසරක යුද සමයද ඇතුලුව මෙරට මුහුණදුන් අභියෝගාත්මක කාලසීමාවේ රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා පොලිසියේ භාරදූර්ය කාර්යයන් ඉටුකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමූහයකි.
ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලතල දැරූ එවැනි විශ්‍රාමික පොලිස් නිලධරයන් පිරිසක් වෙනුවෙන් විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් පසුගියදා කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නය ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහභාගී වූ අතර පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතාද විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් මෙම අවස්ථාවට එක්විිය.
විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලක්ෂ්මන් බණ්ඩාර මහාතා ඇතුළු එම සංගමය විසින් මෙහිදී විනෝද ක්‍රීඩා, ජන ක්‍රීඩා රැසක් සමඟ කැවිලි මේසයක් මැනවින් සංවිධානය කර තිබූ අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එකිනෙකා හමුවූ සුහඳ හමුවක් ලෙසද ඔවුන්ට මෙම උත්සවය ඉතා වින්දනාත්මක අවස්ථාවක් විය.