දෙමටගොඩ ප්‍රදේශයෙන් ගිනි අවි 19 ක්, ටී-56 උණ්ඩ 19 ක් අත්අඩංගුවට ගත් විමර්ශනය

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය සති දෙකක පමණ කාලයක්  කොළඹ නගරය අවට සිදුකළ දීර්ඝ උපායශීලී විමර්ශනයක් මගින් 2026.06.03 වන දින දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී-කටස් ගිනි අවි 19 ක්, ටී-56 උණ්ඩ 19 ක්, අයිස් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක්, ප්‍රිගැබ්ලින් මත්පෙති 100400 ක් සොයාගෙන පොලිස් භාරයට ගත්හ.

මෙම තොගය සොයාගැනීම සඳහා 2026.05.12 වන දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 150 ක් හා හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 200 ක් සමඟ රාගම ප්‍රදේශයේ පදංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවීම  සහ 2026.05.18 දින අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 568 මිලිග්‍රෑම් 100 ක ප්‍රමාණයක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවීම පාදක වී ඇත.

එම වැටලීම් මගින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී 2026.05.22 වන දින සැකකරුවෙකු නොමැතිව දෙමටගොඩ ශ්‍රී ධර්මාරාම මාවතේදී අයිස් කිලෝග්‍රෑම් 45 ග්‍රෑම් 867 ක් හා කේරල ගංජා කිලෝග්‍රෑම් 07 ග්‍රෑම් 325ක් පොලිස් පොලිස් භාරයට ගැනීමට හැකිවිය.

අනතුරුව මෙම ‌තොගය සමඟ ජාවාරමේ යෙදී සිටි සැකකරුද අඛන්ඩ පොලිස් විමර්ශන මගින් අනාවරණය කරගැනීමටත් සැකකරු කාන්තාව සමඟ නෙලුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමටත් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සමත් විය. 

එම සැකකරු මගින් මත්ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන ආවේ මාතර ප්‍රදේශයෙන් බව අනාවරණය කරගත් පසු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාතර සුල්තානාගොඩ ප්‍රදේශයට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට ගත්හ.

සැකකාරිය මගින් මාතර ප්‍රදේශයට මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 300ක ප්‍රමාණයක්  සන්තකයේ තබාගැනීමේ වරදට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය-මාතර ඒ්කකයේ අත්අඩංගුවට පත්වී බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ.

අවසන් වශයෙන් නැවතත් මාතර ප්‍රදේශයෙන් කොළඹට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය සඟවා තැබූ ස්ථාන පිළිබඳව නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් විමසීමේදී අනාවරණය වූ තොරතුරක් අනුවයි විමර්ශක නිලධාරීන්ට මෙම  ටීටී-කටස් ගිනි අවි 19 ක්, ටී-56 උණ්ඩ 19 ක්, අයිස් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක්, ප්‍රිගැබ්ලින් මත්පෙති 100400 ක් සොයාගැනීමට හැකිවී තිබේ. 

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දින 14කට ආසන්න කාලයක්  සූක්ෂමව අනාවරණය කරගත් තොරතුරු විශ්ලේෂණයට ලක්කිරීමෙන් හා විමර්ශනය සඳහා රෑ දිවා සිදුකළ කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවි තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව සඳහන් කළ යුතු අතර අවි සහ මත්ද්‍රව්‍ය තොග වශයෙන් සඟවාතබන, ප්‍රවාහනය කරන මෙම සැකකරුවන් හා සම්බන්ධ අයවළුන් සොයා තවදුරටත් විමර්ශනය ක්‍රීයාත්මකයි.

Scroll to Top