ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල ඇතැම් ප්‍රදේශ පාලනය කළ පෘතුගීසීහු රටේ පවතින සිවිල් පරිපාලන ක්‍රමයට බරපතළ වෙනස්කම් කිසිවක් සිදු නො කළ හ. 1602 දී ශ්‍රී ලංකාවට පැමිණි ලන්දේසීහු 1658 වන විට මුහුදුබඩ පළාත් සහ යාපනය අර්ධද්වීපය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට සමත් වූ හ.
ශ්‍රී ලංකාවේ පොලිස් සංකල්පය ආරම්භ වූයේ කොළඹ නගරයේ පොලිස් පාලනය ඇති කිරීමේ වගකීම හමුදාවට පැවරූ ලන්දේසීන් සමඟිනි. වසර 1659 දී කොළඹ මහා නගර සභාව රෑ කල නගරය ආරක්ෂා කිරීම සඳහා වැටුප් ගෙවන ලද ආරක්ෂකයන් පත් කිරීමට යෝජනාවක් සම්මත කළේ ය. ඒ අනුව, රාත්‍රියේ දී නගරයේ මුර සංචාරය සඳහා මහත සහ මන්දගාමී සොල්දාදුවෝ හතර දෙනෙක් පත් කරන ලද්දෝ ය. එ බැවින් ඔවුන් මෙ රට පොලිසියේ පුරෝගාමීන් ලෙස සැලකිය හැකි ය. මුල් ම පොලිස් ස්ථාන ස්ථාපිත කරන ලද්දේ ලන්දේසීන් විසිනි. ආරම්භයේ දී පොලිස් ස්ථාන තුනක් විවෘත කරන ලදි: එකක් කොටුවේ උතුරු දොරටුවේ ද, දෙ වැන්න කොටුව සහ පිටකොටුව සම්බන්ධ කරන උස් මාර්ගය අසල ද, තෙ වැන්න පිටකොටුවේ කයිමන් දොරකඩ ද විය. මේවාට අමතර ව, අලුත්කඩේ ලන්දේසි නිලධාරියකු වූ කොළඹ දිසාවගේ කාර්යාලයය හෙවත් “මඩුව” ද, මේ තදාසන්න ප්‍රදේශ සඳහා පොලිස් ස්ථානයක් ලෙස සේවය කළේ ය.
1796 පෙබරවාරි 16 වන දින ලන්දේසීහු බ්‍රිතාන්‍යයනට යටත් වූ හ. බ්‍රිතාන්‍යයන් නගරය අත්පත් කරගැනීමෙන් පසු ව, යම් කාලයක් තුළ නීතිය හා සාමය පවත්වාගැනීම හමුදාව විසින් සිදු කරන ලදි. අහෝසි කරන ලද පිස්කල් කාර්යාලය 1797 දී නැවැත පිහිටුවන ලදි. පොලිසිය අධීක්ෂණය කිරීමේ අතිරේක රාජකාරියෙන් පිස්කල්වරයාට අධික බරක් පැටවී ඇති බව අවබෝධ කරගත් ආණ්ඩුකාර ෆ්‍රෙඩ්රික් නෝර්ත්, අගවිනිසුරුවරයාගේ එකඟතාව ලබාගෙන පොලිසිය අධීක්ෂණය කිරීමේ කාර්යය මහේස්ත්‍රාත්වරුනට සහ පොලිස් විනිශ්චයකාරවරුනට භාර දුන්නේ ය.
1805 දී පොලිසියේ කාර්යයන් පැහැදිලි ව අර්ථ දක්වා ඇත. ජනතාවගේ ආරක්ෂාව, සුවපහසුව සහ පහසුව සම්බන්ධ කරුණුවලට අමතර ව, අපරාධ වැළැක්වීම සහ අනාවරණය කිරීම සහ නීතිය හා සාමය පවත්වාගැනීම සමඟ ද පොලිස් කාර්යයන් සම්බන්ධ කෙරිණි. පොලිස් කොස්තාපල් නිලය නිර්මාණය කරන ලද අතර එය සියලු ආකාරයේ පොලිස් කටයුතු සමඟ සම්බන්ධ විය.
1806 අංක 14 දරන පනතින් කොළඹ නගරය කොට්ඨාස 15 කට බෙදන ලද අතර ඒවා අධීක්ෂණය සඳහා පොලිස් කොස්තාපල්වරු පත් කරන ලද හ.
දිවයිනේ පොලිසිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ක්‍රියාශීලී පුද්ගලයකු සොයමින් සිටි ආණ්ඩුකාරවරයා, දක්ෂ නිලධාරියකුගේ සේවය ලබාගැනීම සඳහා ඉන්දියාව දෙසට හැරුණේ ය. බොම්බායේ පොලිසියේ “රත්නගිරි රේන්ජර්ස්” භාර ව සිටි ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් මහතාට මෙම භාරදූර වගකීමට උරදීමට හැකි බව බොම්බායේ ආණ්ඩුකාරවරයා නිර්දේශ කළේ ය. කැම්බල් මහතා ආණ්ඩුකාරවරයා විසින් තෝරාගන්නා ලද අතර ඔහු 1866 සැප්තැම්බර් 3 වන දින ප්‍රධාන පොලිස් අධිකාරී ලෙස වැඩ භාර ගත්තේ ය. 1865 අංක 16 දරන පොලිස් ආඥා පනතට සංශෝධනයක් සිදු කරමින්, 1867 දී, ප්‍රධාන පොලිස් අධිකාරී ලෙස පැවැති පොලිස් බලකායේ ප්‍රධානියාගේ තනතුර පොලිස්පති ලෙස වෙනස් කරන ලදි. එ බැවින්, 1866 සැප්තැම්බර් 3 වන දින රටේ වර්තමාන පොලිස් සේවයේ ආරම්භය සිදු වූ දිනය ලෙස සැලකිය හැකි ය. පොලිස් බලකාය කාර්යක්ෂම සංවිධානයක් බවට පත් කිරීම සහ එයට සුවිශේෂී අනන්‍යතාවක් ලබාදීම සම්බන්ධයෙන් කැම්බල් මහතාට ගෞරවය හිමි වේ. ඔහු මුළු දිවයින ම තම විෂය පථය යටතට ගත් අතර පොලිසිය ප්‍රදේශීය බලකායක් වෙනුවට ජාතික බලකායක් බවට පත් විය.
අගවිනිසුරුවරයාගේ ලේකම් තෝමස් ඔස්වින් මහතා කොළඹ පළමු පොලිස් අධිකාරීවරයා ලෙස පත් කරන ලදි. සී. එම්. ෂුබට් මහතා ප්‍රධාන කොස්තාපල්වරයා ලෙස පත් කරන ලද අතර, ලන්දේසි කොස්තාපල්වරු 5 දෙනෙක්, පොලිස් සැරයන්වරු 10 දෙනෙක් සහ කාර්යාල කාර්ය සහායකවරු 150 දෙනෙක් ද පත් කරන ලද හ. ඌවේ දිසාව වූ ලොකුබණ්ඩා දුනුවිල මහතා මහනුවර සඳහා පොලිස් අධිකාරීවරයා ලෙස පත් කෙරිණි. පොලිස් අධිකාරීවරයෙකු වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක් වේ. කොළඹ පොලිසිය ප්‍රතිසංවිධානය කිරීමේ කාර්යය කොල්පෙපර් මහතාට පවරන ලදි. ඔහු බලකාය – පරීක්ෂකවරුන්, සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් – වශයෙන් නිලධාරී පන්ති තුනකට බෙදී ය. කාර්යාල කාර්ය සහායක නම් නව නිලය අහෝසි කරන ලදි. 1847 දී සහකාර පොලිස් අධිකාරී සහ උපපොලිස් පරීක්ෂක යන නිලයන් නිර්මාණය කරන ලදි. පොලිස් පරීක්ෂක ඩි ලා හාප් පළමු සහකාර පොලිස් අධිකාරී ලෙස උසස් කරනු ලැබී ය.
පොලිස්පති ධුරය දැරූ පළමු ශ්‍රී ලාංකිකයා වූ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා 1947 ජුනි 1 වන දින, රාජකාරි භාර ගත්තේ ය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති පොලිස් දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන එන ලද අතර, 1948 නිදහස ලැබීමත් සමඟ පොලිස් බලකාය එහි යටත් විජිත හැඩයෙන් ජාතික පොලිසියක් බවට පරිවර්තනය කිරීමේ භාරදූර වගකීමට ශ්‍රීමත් රිචඩ් මහතා මුහුණ දුන්නේ ය. මේ සඳහා ඔහු පිරිමින්ගේ ශුභසාධනය, අපරාධ විමර්ශනය, වැළැක්වීම සහ අනාවරණය කිරීම, කාන්තා පොලිසිය, අපරාධ වැළැක්වීමේ සමිති, ග්‍රාමීය ස්වේච්ඡා සේවකයන්, පොලිස් නිල සුනඛයන්, මහජන සම්බන්ධතා, නව පුහුණු ක්‍රම සහ සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම ඇතුළත් නව්‍ය පියවර රාශියක් හඳුන්වාදුන්නේ ය. ඔහු පොලිස් බලකාය පොලිස් සේවාවක් බවට පරිවර්තනය කළේ ය. එහි කාර්යභාරය පටු ලෙස අර්ථ දක්වා තිබුණු අතර එය නීතිය හා සාමය පවත්වාගැනීම සහ අපරාධ වැළැක්වීම සහ අනාවරණය කිරීමට සීමා විය.
දිනෙන් දින ඉහළ යමින් ප්‍රධාන මාර්ගයන් වෙත පිවිසෙන රථවාහන සංඛ්‍යාව තම පාලනය යටතට ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ දිසාව පිහිටුවා ඇත. මෙම දිසාව රථවාහන අනතුරු වැළැක්වීම, එ වැනි රථවාහන අනතුරුවලින් දේපළ ආරක්ෂා කිරීම මෙන් ම රට තුළ වඩා යහපත් රථවාහන කළමනාකරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු ම ප්‍රාදේශීය පොලිස් අංශ වෙත චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද වගකීම දරයි. රට පුරා සංවිධානාත්මක ව මේ කාර්යයන් සිදු කිරීම සඳහා, රටේ සැම පොලිස් ස්ථානයක ම රථවාහන අංශ පිහිටුවා ඇත.
මේ වන විට රථවාහන අංශ අධීක්ෂණය සහ මඟ පෙන්වීම සඳහා දිසා රථවාහන කොට්ඨාස ද පිහිටුවා ඇති අතර එවා පොලිස් මූලස්ථාන රථවාහන දිසාව සහ අදාළ දිසාවන්හි නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ සම්බන්ධීකරණ වෙමින් දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක වේ.
ඊට අමතර ව, මහා මාර්ග නිවැරදි ව භාවිත කිරීම පිළිබඳ නිසි දැක්මක් ලබාදීම සඳහා සමාජයේ විවිධ පාර්ශ්වයන් ඉලක්ක කරගත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.
රට තුළ ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින්, සියලු ම පොලිස් ස්ථානවල අපරාධ අංශ පිහිටුවා ඇත.
ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය නමින් කොට්ඨාසයක් ද පොලිසියේ පවතින අතර, ශාරීරික හිංසනයේ සිට ලිංගික අපයෝජනය දක්වා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ව සිදු කරන සියලු ම අපරාධ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමේ කාර්යය එයට පවරා ඇත.
තව ද එහි දී ඔවුන්ට තම පැමිණිලි කාන්තා පොලිස් නිලධාරීන් මගින් සටහන් කරගැනීම සඳහා පහසුකම් සපයා ඇති අතර එය පවා සිදු කෙරෙනුයේ ඔවුන්ගේ ආත්ම ගරුත්වයට බලපාන නොමනා පාර්ශ්වයන්ගේ සරදම්වලට ඔවුන් නිරාවරණය නොවන මහජනයාගේ නෙත නොගැටෙන ස්ථානයක ය. දිවයින පුරා මේ සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයිනේ සියලු ම පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇති විශේෂයෙන් තෝරාගත් නිලධාරීන් මෙම කාර්යාංශය විසින් පුහුණු කර ඇත.
විශේෂයෙන් අප සමාජයේ තරුණ කොටස් අතර දැඩි ලෙස වර්ධනය වෙමින් පවතින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ උවදුර පොලිස් මූලස්ථානයේ පිහිටා ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පිහිටුවීමත් සමඟ නිරන්තරයෙන් පාලනයට ලක් වේ. එසේ ම, එ වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ සිද්ධි සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ව සැම පොලිස් නිලධාරියකුට ම අවශ්‍ය පුහුණුව ලබාදෙමින් පවතී. මේ ව්‍යසනය හැකි ඉක්මනින් අපගේ සමාජයෙන් මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව පිළිබඳ ව පොලිසිය දැනුම්වත් භාවයෙන් පසු වන බැවින් මෙම පියවර ගෙන ඇත.
තව ද, පොලිසිය වෙත තොරතුරු සපයන්නන්ට ආරක්ෂාව සැපයීම සඳහා, ඔවුන්ගේ අනන්‍යතාව මහජනතාවට හෙළි වීම මගින් ඔවුන් සමාජයට නිරාවරණය වීම වැළැක්වීමට දැඩි පියවර ගනිමින් පවතී. සිදු කරන ලද හෝ සිදු කිරීමට නියමිත අපරාධයකට අදාළ ඕනෑ ම තොරතුරක්, නිර්නාමික දුරකථන පණිවිඩ හෝ ලිපි හරහා පවා පොලිසියට දැනුම් දීමට මහජනතාවට විධිවිධාන සලසා ඇති අතර ඒ සියල්ල සැලකිල්ලට සහ පරීක්ෂාවට ගනු ලැබේ. මෙ මගින් පොලිසිය වෙත තොරතුරු සපයන්නන්ට තම කාර්යයන් බාධාවකින් තොර ව සහ ඔවුන්ගේ අනන්‍යතාව හෙළි වීමේ කිසිදු අවදානමකින් තොර ව ඉටු කිරීමට නිසැක ක්‍රමවේදයක් සපයනු ඇත. එසේ නොවී නම් සමාජය කෙරෙහි ඔවුන් සතු යුතුකම් වෙනුවෙන් රාජකාරිය කෙරෙහි කැපවීම හේතුවෙන් ඔවුන්ට බරපතළ ප්‍රතිවිපාකයනට මුහුණ දීමට සිදු වීමට ඉඩ තිබිණි. මේ තොරතුරු අදාළ පොලිස් ස්ථානයට හෝ 1-1-9 හදිසි ඇමතුම් සේවාව වෙත හෝ ලබා දිය හැකි ය. වැරදිකරුවන් හඳුනාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම සඳහා ඉතා වැදගත් තොරතුරු කෙරෙහි පොලිසියේ අවධානය යොමු කිරීම වෙනුවෙන් එ වැනි ප්‍රජාව පිළිබඳ සංවේදී පුරවැසියන් දිරිගැන්වීමක් ලෙස, තොරතුරු සපයන්නන්ට ඔවුන්ගේ මහජන හිතසුව පිණිස ගනු ලබන මුලපිරීම් වෙනුවෙන් දිරිදීමනාවක් වශයෙන් වටිනා ත්‍යාග පිරිනැමීම සඳහා විධිවිධාන පවතී.
විශේෂයෙන් මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් වර්තමානයේ පොලිසිය පොදුවේ කැප වී ක්‍රියා කරයි. එසේ කිරීම සඳහා, මහජනතාවට සහෝදරත්වයෙන් සැලකීම එහි කාර්ය මණ්ඩලයෙන් අපේක්ෂා කරන අතර, එ කී ආකල්පය පොලිසිය සහ සාමාන්‍ය ජනතාව යන දෙ පිරිස විසින් ම හොඳින් තේරුම් ගත යුතු ය. එ බැවින්, පැමිණිල්ලක් කිරීමට හෝ සහනයක් අවශ්‍ය වූ විට හෝ, මහජනතාවට නොවරදවා ම ඔවුන්ට ආසන්න පොලිස් ස්ථානයට යාමට සිදු වන බව මතක තබාගත යුතු ය. එ වැනි සුහදශීලී වාතාවරණයක් යටතේ, එ වැනි පැමිණිලි පිළිබඳ විමර්ශන අන්‍යෝන්‍ය සුහදතාවෙන් හා අවබෝධයෙන් සිදු කරන්නේ නම්, පොලිසිය සහ ඒ ප්‍රදේශය තුළ වෙසෙන අසල්වැසි ප්‍රජාව අතර මනා සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමට හැකි වනු ඇත. එ බැවින් නායකත්වය, අවංක භාවය, සහ කාර්යක්ෂමතාව යන ගුණාංග ඇති එ වැනි පොලිස් නිලධාරීන්ගෙන් සිවිල් සමාජයට ලැබෙන ප්‍රතිලාභය සුළුපටු නොවේ.
අප රටේ පොලිස් සේවය ස්ථාපිත කිරීමේ 156 වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ දී, වර්තමාන පරම්පරාවට පෙර සිය වටිනා ජීවිත පවා අහිමි කරගනිමින් සේවය කළ සියලු ම නිලධාරීන්ගේ ඉමහත් කැප කිරීම් කෘතඥතාපූර්වක ව සිහිපත් කිරීමේ වගකීම අප වෙත පැවරී ඇත. ඔවුන් තම හෘද සාක්ෂියට එකඟ ව රාජකාරි ඉටු කරන අතරතුර එ ලෙස කටයුතු කරන ලද්දේ රටේ නීතිය හා සාමය පවත්වාගැනීමට පමණක් නො ව, බොහෝ දුෂ්කරතා මධ්‍යයේ එහි භෞමික අඛණ්ඩතාව ද ආරක්ෂා කිරීමට ය. මේ සම්බන්ධයෙන්, 1983 දී පිහිටුවන ලද විශේෂ කාර්ය බලකාය විසින් ගන්නා ලද අවදානම මෙහි ලා සඳහන් නොකර සිටිය නොහැකි අතර වත්මන් පොලිස් සේවයේ සිටින ඔවුන්ගේ සෙසු සහෝදරයන්ට ඔවුන් ආදර්ශයක් බව කිව යුතු ය. ප්‍රභූ ආරක්ෂාව සැපයීමේ දී ද ඔවුහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරති.
වර්තමානයේ 90,000කට අධික සේවක සංඛ්‍යාවක් සහිත ව ප්‍රාදේශීය කොට්ඨාස 45ක්, ක්‍රියාකාරී කොට්ඨාස 80ක්, සහ පොලිස් ස්ථාන 607ක් පවතී. පොලිස් සේවයේ කොටස්කරුවන් ලෙස මහජන සහයෝගය අපේක්ෂා කිරීමට සහ තම පූර්වගාමීන් විසින් දායාද කර ඇති පැරණි සම්ප්‍රදායන් අනුව යමින් නවීන ක්‍රම උපායන්ට අනුගත වෙමින් කැපවීමෙන් හා භක්තියෙන් යුතු ව අදටත් පොලිස් සේවයේ නිරත වන්නෙමු.
පොදු ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම සඳහා, අනාගත පොලිස් කටයුතු සැලසුම් කර ඇති අතර, එහි දී ප්‍රධාන වශයෙන්ම සමාජය අපරාධ බියෙන් තොර කිරීම සහ නීතිය හා සාමය කඩකරන්නන් කඩිනමින් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත්කිරීම අපගේ ප්‍රධාන අරමුණයි.