පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය

ශ්‍රි ලංකාද්වීපය ඉංග්‍රීසීන්ට යටත්ව පැවති ක්‍රි.ව. 1795 ත් 1948 අතර වකවානුව තුළ 1861 වසරේදී අභිමානවත් ශ්‍රී ලංකා පොලිස්  සේවය  ආරම්භ වූ බව අප සැවොම දනිමු.  එසේ ආරම්භ වුව ද සංවිධානය නොවූ සේවයක් ලෙස පැවති පොලිස් සේවය 1866 සැප්තැම්බර් මස 03වන දින ප්‍රතිසංවිධානගත කිරීම ප්‍රථම පොලිස්පති වූ රොබට් විලියම් කැම්බල් මහතාගේ ධූර කාලයේ දී සිදු කරන ලදී. එමෙන්ම, 1867 අංක 16 දරන පොලිස් ආඥාපනත ද සංශෝධනය කරන ලදී. ඉන්පසු 1867 දෙසැම්බර් මස මරදාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට මැනුවෙල් ප්‍රනාන්දු යන අයට අයත් ඉඩමක් මිලදී ගෙන, 1869 දෙසැම්බර් මස පොලිස් මූලස්ථානය එහි ස්ථාපිත කර ඇත.

එසේ ඇරඹි ශ්‍රී ලංකා පොලිස් සේවය රාජ්‍ය හා පෞද්ගලික දේපල ආරක්‍ෂා කරමින් රටේ පැවති නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ කටයුතු වල නිරතවෙමින් සිටියදී, 1867 දී යාපනයේ කරෛඌර් නගරයේ ඇති වූ කැරැල්ල, 1870 දී මරදානේ පදිංචි වයස අවුරුදු 14ක දැරියක් කතෝලික වඩු කාර්මිකයකු වූ සෙලන්ඩි අප්පු යන අය විසින් පැහැරගෙන යාම හේතුවෙන් මරදාන පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය, 1883 දී කොටහේනේ දී බෞද්ධ හා කතෝලික දෙපිරිසක් අතර ඇති වූ ගැටුම මර්දනය කිරීමට පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදු විය. 

එවැනි කැරලි කෝලහාල, උද්ඝෝෂණ, කඩාකප්පල්කාරී ක්‍රියා හා නොයෙක් දාමරික ක්‍රියාකාරකම් හමුවේ පොලිසිය පසුබසින බවක් පෙනුන හෙයින් මෙම තත්ත්වය තේරුම්ගත් පොලිස්පතිවරයා නව අරමුණක් ඔස්සේ සේවයේ නියුතු නිලධාරීන් 25ක් ද, ජවසම්පන්න පුද්ගලයින් 25ක් බාහිරින් ද තෝරාගෙන හදිසි අවස්ථාවල දී සේවයේ යෙදවීම සඳහා මාෂල් නැමති පොලිස් පරීක්‍ෂකවරයා යටතේ මරදාන පොලිස් මූලස්ථානයට යාබද ගොඩනැගිල්ලක රඳවා තබන ලදී.

එම ස්ථානයේ පැවති ඉඩ පහසුව අඩුකම මත කියූ පාරේ බැරැක්කයක් තෝරාගෙන හදිසි අවස්ථාවක කැඳවා ගැනීමට බියුගල්වරයෙකු ද ඇතුළත් කර තබන ලදී. එහි කාර්යාලය පොලිස් මූලස්ථානයට යාබද ගොඩනැගිල්ලේ පිහිට වූ අතර එය සහකාර අධිකාරීවරයෙකු යටතේ විය. එය ඩිපෝ පොලිසිය නමින් එතැන් සිට හැඳින් වූ අතර, එහි ආරම්භය වූයේ 1892 අගෝස්තු 01 දින ය. එසේ ඇරඹි ඩිපෝ පොලිසියේ ක්‍රියාදාමය සාර්ථක විය.

වර්තමානයේ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය ලෙස හැඳින්වෙන මෙම ස්ථානයේ  1923  දී  රු. 286,000.00ක් වියදම් කර නව දෙමහල් ගොඩනැගිලි දෙකක් ඉදිකර, 1925 දී ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලය ආරම්භ කර ඇත.  දැනට කළුතර පොලිස් විද්‍යාලය පවතින ස්ථානයේ රාජකීය ගුවන් හමුදාවට අයත් කඳවුරක් තිබී ඇති අතර, 1948 වසරේ දී එම කඳවුර ඉවත් කර ගැනීමෙන් පසු මෙම ස්ථානයේ පැවති පොලිස් විද්‍යාලය කළුතරට ගෙන ගොස් මරදානේ තිබූ ඩිපෝ පොලිසිය මෙම ස්ථානයට ගෙනවිත් ඇත. 

ඉන්පසු කැරළි මර්ධන රාජකාරි මෙම ස්ථානයේ තිබූ ඩිපෝ පොලිසියේ මූලික රාජකාරීය වූ අතර, 1958 වසරේ දී කුඩා අවිවල සිට සංග්‍රාමික අවි ගබඩා කිරීම දක්වා අවි ගබඩාව ස්ථාපිත කිරීමෙන් එහි ධාරිතාව පුළුල් කරන ලදී. තව ද, ක්‍රීඩා අංශය, තූර්ය වාදන අංශය, සංස්කෘතික අංශය, හා ප්‍රථමාධාර වැනි අංශ ද බිහි විය.

1962 වසරේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ඇති වී රට තුළ කෝලාහල හට ගන්නා අවස්ථාවේ එවකට ඩිපෝ පොලිසිය භාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කල ටී. එච්. කෙලාට් මහතා වහා ම ක්‍රියාත්මක වන පරිදි කැරළි මර්ධන ඒකකය ප්‍රතිසංවිධානය කර හැඩිදැඩි පෞරුෂයක් සහිත නිලධාරීන් 100කින් සමන්විත කැරළි මර්ධන කණ්ඩායම් 05ක් ආරම්භ කර, මහ සැරයන් සරප් පුහුණුකරු වශයෙන් පත්කර ඇත. 

මෙම කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය පසුකාලීනව සාර්ථකව වර්ධනය කරන ලද අතර, 1971 ඇති වූ සන්නද්ධ අරගලයේ දී මෙම නිලධාරීන් සන්නද්ධ රාජකාරී සඳහා යොදවා ඇත. කිහිප ආකාරයක රාජකාරි මෙම ස්ථානයේ දී ඉටුකල හෙයින්, 1977.07.01 දින, ඩිපෝ පොලිසියේ නාමය, පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය ලෙස වෙනස් කර, ඩිපෝ පොලිස් අධිකාරී වශයෙන් හැඳීන්වූ එහි ප්‍රධානියා, අණදෙන නිලධාරී වශයෙන් නම් කර ඇත. 

ශ්‍රී ලංකා පොලිසියේ පළමු අණදෙන නිලධාරීවරයා වන්නේ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරීවරයා ය. 1980 දශකය වන විට කැරලි මර්දන ඒකකය තවදුරටත් සංවර්ධනය වෙමින් නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා විජය, හා ගැමුණු නමින් බැරැක්ක ඉදි කර තිබූ අතර, ඊට අමතරව පොල් අතුවලින් සකස් කරන ලද බැරැක්ක 04ක්ද ඉදිකර තිබී ඇත.

1983 දී එවකට සහකාර පොලිස් අධිකාරී ගෆූර් මහතාගේ නායකත්වයෙන් නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානය අසළ දී කැරළි මර්දන රාජකාරිය අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත. ඒ සම්බන්ධව පවත්වන ලද නඩු විභාගයේ දී එය සාධාරණ මිනී මැරුමක් බවට ඔප්පු වී ඇත. 

1892 වසරේ  ආරම්භ කර වර්තමානයේ වසර 100ක් සපුරන මෙම ස්ථානයේ ඇති පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය මේ වන විට ක්‍රමිකව ව්‍යාප්තව හා දියුණු වී ඇති අතර, නවීන ක්‍රමෝපායන් අනුගමනය කරමින් මහජන කෝලාහල සහ කැළඹීම් පාලනය කරන ආයතනයක් බවට පත්ව ඇත. එමෙන්ම එවකට මෙම ආයතනය යටතේ පාලනය වූ, පොලිස් සංස්කෘතික, ක්‍රීඩා, සහ තූර්ය වාදන අංශ, කොට්ඨාස බවට වර්තමානයේ පත් වී ඇත. ඉහත කොට්ඨාශ ත්‍රිත්ත්වයට අමතරව, පොලිස් පරිසර ආරක්‍ෂණ කොට්ඨාසය වර්තමානයේ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය යටතේ උප ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ.

1993 වසරේ සිට මෙම මූලස්ථානයේ පරිපාලනය තවදුරටත් පුළුල්කර මෙය වර්තමානයේ පොලිස් දිසාවක් ලෙස ස්ථාපිතකර ඇත. ආරම්භක නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එම්. ඩී. පෙර්රා මහතා කටයුතු කර ඇති අතර,  වර්තමානය වන විට 26 වන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඒ. ජී. ජේ. චන්ද්‍රකුමාර මහතා කටයුතු කරයි. මෙම ස්ථානයේ 71 වන අණදෙන නිලධාරී ලෙස මෙන් ම ප්‍රථම කාන්තා අණදෙන නිලධාරිණිය ලෙස කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ. දර්ශිකා කුමාරි මහත්මිය කටයුතු කර යි.

Scroll to Top