පහසුකම් සපිරි නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ලක් කොළඹ උතුර කොට්ඨාසයට

නවීන පහසුකම් සහිතව මෝදර පොලිස් ස්ථානය තුල ඉදිකළ කොළඹ උතුර කොට්ඨාස  ළමා හා කාන්තා කාර්යංශයේ නව ගොඩනැගිල්ල 2025.08.21 වන දින දහවල් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

ප්‍රදේශයේ ළමුන්ට සහ කාන්තාවන්ට, තමන්ට ඇතිවූ ගැටළුවක් සම්බන්ධව හෝ මුහුණපෑමට සිදුවූ අපරාධයක් සම්බන්ධව සිය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි සුදුසු වටපිටාව ඇතිකරලීම, ඔවුනට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට සුදුසු රාජකාරි පරිසරය ඇතිකිරීම,

මෙලෙස නවීන පහසුකම් සහිතව ක්‍රමවත්ව ළමා හා කාන්තා කාර්යංශය ස්ථාපිත කිරීමේ අරමුණයි.

මෙරට ජපන් තානාපති කාර්යාලයේ සෘජු මැදිහත්වීමෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජපන් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය යටතේ දිවයින පුරා මෙම ළමා හා කාන්තා කාර්යංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙම අවස්ථාව සඳහා ජපන් තානාපති කාර්යාලයේ ආර්ථික හා සංවර්ධන සහයෝගිතා අංශයේ පලමු ලේකම් සහ ප්‍රධානී Ohashi kenji මහතා ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

පැමිණිලි ඉදිරිපත්කිරීමට පැමිණෙන මව්වරුන්ට සිය දරුවන්ට මව්කිරි ලබාදීම සඳහා වෙන්කළ ස්ථානයක්, කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට මෙන්ම කාන්තාවන්ට විවේක ගැනීමට වෙන්කල ස්ථාන වැනි පහසුකම් මෙම ගොඩනැගිල්ල තුලද සකස්කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී B.A රෝහන් පුෂ්පකුමාර මහතා, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී H.W.I.S මුතුමාල මහත්මිය, ඉදිකිරීම් සහයෝගය ලබාදුන් World Vision ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ධනන් සේනාධිරාජා මහතා ඇතුලුව කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්, නිලධාරීන්ගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමිවිය.

Scroll to Top