ගන්දර කපුගම වෙඩිතැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට

ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඉලක්කකර 2025.08.03 වන උදෑසන ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකළ වෙඩික්කරු සහ වෙඩික්කරු ප්‍රවාහනකළ යතුරුපැදිකරුව මාතර කොට්ඨාස අපරාධ කාර්යංශය 2025.08.24 දින උදෑසන වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සහ ගනේමුල්ල ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩිතැබීමෙන් අදාළ ව්‍යාපාරිකයා සුලු තුවාල ලැබීය.

වෙඩික්කරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි යුධ හමුදා සේවයෙන් පලාගිය අයෙකු බවත් යතුරුපැදිකරු 28 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර මෙම අපරාධය විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇත.

මෙම සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් ලෙස හදුනාගෙන ඇත. ඔවුන්ගේ මඟ පෙන්වීම මත අපරාධය සඳහා දෙවිනුවර ප්‍රදේශයට පැමිණ රැදී සිටි ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4230 ක්, අපරාධය සඳහා ඇඳපැළගත් ඇඳුම් පැළඳුම්, දුරකථනද පොලිස් භාරයට ගෙන ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

Scroll to Top