මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නව ආරම්භයක්

මෙරට සිදුවන ආන්දෝලනාත්මක අපරාධ හා අතීතයේ මෙරටින් වාර්තා වූ තවමත් නොවිසිදුනු අපරාධ පිළිබඳව විමර්ශන සිදුකර එම අපරාධයන්හි සැබෑ අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලිසියේ පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මේ වනවිට එහි විමර්ශන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව නීති විරෝධී වත්කම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ, පරිගණක අපරාධ, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ වැනි අපරාධ විමර්ශනයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම සහය වීමට හැකිවීමෙන් මෙරට ක්‍රියාත්මක වන අපරාධ ජාලයන් මෙන්ම අපරාධකරුවන් හදුනාගෙන ඊට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශනය කිරීම මෙම කාර්යංශය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි

මෙම අරමුණු සහ මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා විධිමත් රාජකාරි ස්ථානයක් ලෙස හදුනාගත් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙහි වෙන්කරගන්නා ලද කාර්යාලයක් තුළ පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථාපිත කිරීම 2025.09.04 වන අද දින මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ හා කම්කරු නියේජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුනි.

මෙම අවස්ථාව සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සහ එම කාර්යංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

Scroll to Top