84 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල සමාප්ති උත්සවය

පාසල් කාලය තුල මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන අවධියේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලුනු දක්ෂයින් මෙන්ම ස්වොත්සාහයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ හැකියාවන් දියුණුකරගත් කාය ශක්තියෙන් හෙබි මෙරට පුරවැසියන්, සිය රට දැය මෙහෙවර අගය කොට සලකමින් ශ්‍රී ලංකා පොලිසියට එක්වී දිවයින පුරා පොලිස් ක්‍රීඩා කොට්ඨාස 68 ක විවිධ වූ පොලිස් රාජකාරි ඉටුකරමින් සිටී.

එම නිලධාරීන්ගෙන් ක්‍රීඩා හැකියාවන් වියැකෙන්නට නොදී, ඔවුන්ව ජාතික හා ජ්‍යාතන්තර ක්‍රීඩා තලයට ඔසවා තැබීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් 2025 වසරේ පවත්වන 84 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල 2025.09.12 වන දින සිට 2025.09.14 වන අද දිනය දක්වා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී සාර්ථකව පවත්වන ලදී.

ශ්‍රී ලංකා පොලිසියේ කෙලි බිම මහා මංගල්‍ය වන මෙම ක්‍රීඩා උළෙල සඳහා හිමි නිසි ගෞරවය හා අභිමානය ලබාදෙමින් එහි සමාප්ති උත්සවය ගරු අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.09.14 වන දින සවස අවසන් මහා තරඟ ඇතුලුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකිවිය.

ගරු අග්‍රාමාත්‍යතුමිය සමඟ ගෞරවනීය අමුත්තා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමඟ එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමිවිය. 

උත්සව සභාවේ පිළිගැනීමේ කතාව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහා විසින් සිදුකරමින් ප්‍රධාන ආරාධිත අමුත්තිය ඇතුලු ආරධිත අමුත්තන් පිළිගෙන උත්කර්ෂවත් සන්ද්‍යාවක් වෙනුවෙන් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතුම් එක්කරන ලදී.

අනතුරුව පිරිමි හා කාන්තා ධාවන අවසන් තරඟ, තරඟාවලියට විචිත්‍රවත්බවක් එක්කර ගැනීම සඳහා එක්කර ගත් ආරාධිත පාසල් ධාවන තරඟ හා සියළු දෙනාගේ ආකර්ශනය දිනා ගනිමින් කඹ ඇදීමේ පිරිමි හා කාන්තා තරඟ පැවැත්වුනි. 

සියළු ක්‍රීඩා කොට්ඨාස ගරු අග්‍රාමාත්‍යතුමියට අචාර දක්වමින් සියලු ආරාධිත අමුත්තන් ඉදිරියෙන් පෙළපාලි සන්දර්ශනය ඉදිරිපත් කළ පසු සම්භාවනීය අමුත්තන්‌ගේ සුරතින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ විශිෂ්ඨයින්ට හා විශිෂ්ඨතම කණ්ඩායම් සඳහා වූ කුසලාන/පලිහ පිරිනැමීම ඇරඹුනි.

එම ජයග්‍රහණයන් –

100 x4 පිරිමි අවසන් තරඟයේ ජයග්‍රාහකයින් -පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම
100 x4 කාන්තා අවසන් තරඟයේ කාන්තා ජයග්‍රාහකයින් – පොලිස් මූලස්ථාන කණ්ඩායම
400×4 පිරිමි අවසන් තරඟයේ ජයග්‍රාහකයින් – පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම 
100X4 පිරිමි ආරාධිත පාසල් තරඟය – ශාන්ත බෙනඩික් විද්‍යාල කණ්ඩායම
100X4 කාන්තා ආරාධිත පාසල් තරඟය – පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කණ්ඩායම

කඹ ඇදීම කාන්තා – මහනුවර කොට්ඨාසය
කඹ ඇදීම පිරිමි – පොලිස් විශේෂ කාර්ය බලකාය

දක්ෂතම පිටපළාත් ක්‍රීඩිකාව – කන්කසන්තුරේ කොට්ඨාසය කාන්තා උප පොලිස් පරීක්ෂක එච්.ඩි.ඩබ්. මෙන්ඩිස් ( යගුලිය මීටර් 11.6 )
දක්ෂතම පිටපළාත් ක්‍රීඩකයා – යාපනය කොට්ඨාසය උප පොලිස් පරීක්ෂක එච්.ඒස්.ජී.එච්.සිල්වා ( හෙල්ල විසි කිරීමේ තරඟ ඉසව්ව මීටර් 68.99 )
විශිෂ්ඨ දක්ෂතාවය විසිකිරීමේ ඉසව්ව පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් කොස්තාපල් ජි.එම්.සි සරත් කුමාර (හෙල්ල විසිකිරීම මීටර් 61.23 )
විශිෂ්ඨ දක්ෂතාවය පැනීම – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 අයි.ජි.පි.එස් විජේතුංග ( දුර පැනීමේ ඉසව්ව මීටර් 7.11 )

දක්ෂතම ක්‍රීඩකයා ජවන ඉසව්ව – පොලිස් විශේෂ කාර්යංශය පොලිස් කොස්තාපල් 92453 ජගත් ( මීටර් 400 තප්පර 50.8 )
දක්ෂතම ක්‍රීඩිකාව පිටියේ ඉසව්ව – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ( දුර පැනීම මීටර් 5.38 )
දක්ෂතම ක්‍රීඩකයා පිටියේ ඉසව්ව – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග ( දුර පැනීම මීටර් 7.11 )
මළල ක්‍රීඩා උළලේ උපරිම දක්ෂතාවය දැක්වූ ක්‍රීඩිකාව පිටියේ ඉසව්ව – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ( දුර පැනීම මීටර් 5.38 )
මළල ක්‍රීඩා උළලේ උපරිම දක්ෂතාවය දැක්වූ ක්‍රීඩිකයා – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග ( දුර පැනීම මීටර් 7.11 )

දක්ෂතම පිටපළාත් කණ්ඩායම හිමි කුසලනාය ලකුණු 63 කුරුණෑගල කොට්ඨාසයට හිමිවිය.
හොඳම අචාර පෙළපාලියට හිමිකම් කියනු ලැබුවේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයයි.
සමස්ථ කාන්තා ශූරතා කණ්ඩායම – ලකුණු 80 ක් ලබාගත් පොලිස් විශේෂ කාර්ය බලකා කාන්තා කණ්ඩායම.
සමස්ථ පිරිමි ශූරතා කණ්ඩායම – ලකුණු 222 ක් ලබාගත් පොලිස් විශේෂ කාර්ය බලකා පිරිමි කණ්ඩායම

සමස්ථ මලළ ක්‍රීඩා උළලේ දක්ෂතම මළල ක්‍රීඩිකාවට හිමි පළිහ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තා පොලිස් කොස්තාපල් 7809 බි.ජි සචිත්‍රා හර්ෂණී ක්‍රීඩිකාව
සමස්ථ මලළ ක්‍රීඩා උළලේ දක්ෂතම ක්‍රීඩිකයාට හිමි පළිහ – සම ළකුණු දිනාගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් කොස්තාපල් 90433 ඩි.ජි එස් විජේතුංග, පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් පරීක්ෂක ඒ.එම්.එම් පෙරේරා, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර යන නිලධාරීන් දිනාගත්හ.

ගරු අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළලේ සමස්ථ අනුශූරතාවයට හිමි අග්‍රාමාත්‍ය කුසලානය ලකුණු 97 ක් ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිමිකරගැනීමට සමත්වූ අතර ලකුණු 302 ක් ලබාගනිමින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළලේ ජයකෙහෙළි නැංවූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමස්ථ ශූරතාවයට හිමි ජනාධිපති කුසලානය දිනාගත්හ. 

පොලිස් සංස්කෘතික කොට්ඨෘසයේ දර්ශනීය නැටුම් ගැයුම් ඉදිරිපත්කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමිය විසින් පැවැත්වූ උත්සවයේ ප්‍රධාන කතාව සහ උළෙලේ සමාප්ති ප්‍රකාශය සමඟින් 84 වන පොලිස් මළල ක්‍රීඩා උළෙල අතිසාර්ථකව සමාප්ත කිරීමට ක්‍රීඩා කොට්ඨාස ධජ අඩකුඹු කර පහත හෙලන ලදී.

මෙම අවස්ථාවට පූර්ණ සහයෝගය එක්කරමින් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ක්ෂේත්‍ර බලකා නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, පොලිස් මළල ක්‍රීඩා සංගමයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, කාන්තා නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී චන්දන ගමගේ, පොලිස් මළල ක්‍රීඩා සංගමයේ ලේකම් සුගත් ගලගමගේ මහතා සහ ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පින්නදූව යන මහත්ම මහත්මීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන් රැසකගේ සහභාගීත්වය, මාධ්‍ය හා තාක්ෂණික මෙන්ම ශ්‍රම බලය ඔස්සේ පොලිස් කොට්ඨාස රැසක, පාර්ශව රැසක දායකත්වය හිමිවූ බව සඳහන් කළ යුතුය.

Scroll to Top