රත්නපුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

රත්නපුර හා ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස වලට අයත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.03.23 වන දින පෙ.ව 10.00 ට ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් කුරුවිට ග්‍රෑන්ඩ් ගාර්ඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

රත්නපුර සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස වලට අයත් ග්‍රාම සේවා වසම් 585කට අයත් ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් 1500ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පතිතුමා කමිටු සාමාජිකයින් අමතමින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් මෙරටින් තුරන් වන තෙක් යුක්තිය මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කරන ලදි.

මෙහිදී පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ සහිත පාසල් බෑග් ප්‍රදානය කිරීම, 2023 අන්තර් කොට්ඨාස පාපන්දු තරඟාවලියෙහි හොඳම කොට්ඨාස කණ්ඩායම වශයෙන් කුසලානය දිනා ගත් රත්නපුර කොට්ඨාස කාන්තා කණ්ඩායම හා පුහුණුකරුවන් උදෙසා රුපියල් 195,000/= ක මුදල් ප්‍රදානය කිරීම, කුරුවිට පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කර මරණ දඬුවම නියමව වසර 23 ක් සැඟව සිටි චූදිතයෙකු අත්අඩංගුවට ගැනීමෙන් කරන ලද යහපත් සේවය උදෙසා කුරුවිට පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත නිලධාරියාට රුපියල් 50000/= ක ත්‍යාග මුදලක් පිරිනැමීම හා යුක්තිය මෙහෙයුම සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙමින් සාර්ථක වැටලීම් සිදු කරන ලද නිලධාරීන් ඇගයීම සඳහා රත්නපුර කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනෙකුට පොලිස් ත්‍යාග අරමුදලෙන් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, රත්නපුරය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.