ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතා විශ්‍රාම දිවියට

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් රාජකාරි ඉටුකරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතා එතුමාගේ ජීවිතයේ 60 හැවිරිදි වියට පිවිසීමෙන් පොලිස් නිලධාරී භූමිකාවට ගෞරවනීය ලෙස සමු දී විශ්‍රාම සුවයට එළඹෙන ලදී.

මේ දක්වා එතුමා දුන් විශිෂ්ඨ නායකත්වයට ගෞරවය පුදකරමින් කළුතර පොලිස් විද්‍යාලයේ නිලධාරීන් 2026.01.03 වන දින උපහාර උත්සවයක් පවත්වා සමස්ථ පොලිස් නිලධරයන්ගේ උත්තමාචාරය එතුමා වෙත පිරිනැමීය. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් එම උත්සවයට සහභාගී විය.  

1966.01.05 වන දින උපත ලබා ඇති චින්තක ගුණරත්න මහතා දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවායි. එතුමාගේ මවද කාන්තා පොලිස් කොස්තාපල් වරියක් ලෙස සේවයට බැඳී පොලිස් පරීක්ෂකවරියක් ලෙස විශ්‍රාමගත් කාන්තාවකි. ආනන්ද විද්‍යාලයේ කැපී පෙනෙන ආදි සිසුවෙකු වන චින්තක ගුණරත්න මහතා අධ්‍යාපනය හදාරන වියේදී ශිෂ්‍ය භටයෙකු ලෙස පොලිස්පති අභියෝග කුසාලනය දිනාගැනීමට සමත් වූවෙකි.

මීටර් 400 දිවීම මළල ක්‍රීඩා ඉසව්වක තරඟ වාර්තාවක්ද හිමි චින්තක ගුණරත්න මහතා අ.පො.ස උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත් වී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ඇති අතර, සිය කැපීපෙනෙන පෞර්ෂ ගති ලක්ෂණ සුදුසුම වෘත්තිය ශ්‍රී ලංකා පොලිසිය බව තේරුම්ගෙන රට දැයට සේවය කිරීම සඳහා 1988.03.15 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිසියට එක් වී ඇත.

වෘත්තීය ජීවිතයේදී අති සාර්ථක වූ එතුමා ක්‍රමානුකූලව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරය දක්වා පැමිණි අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ නැගෙනහිර ටිමෝරය, මොසැම්බික් රාජ්‍යය, දකුණු සුඩානය වැනි රටවල්වල සාම සාධක කටයුතුවලද නිරතවූ නිලධාරියෙකි. ජාත්‍යන්තර සාම සාධක රාජකාරි වෙනුවෙන් පදක්කම් හතරක් ලබාගත් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එකම නිලධාරියාද චින්තක ගුණරත්න මහතායි.

කළුතර පොලිස් විද්‍යාලයේ සහකාර පුහුණු අධ්‍යක්ෂවරයා ලෙසද, ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂක සංගමයේ සභාපතිවරයා ලෙසද,  ජනාධිපති පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙසද එක්සත් ජාතීන්ගගේ දූත මණ්ඩල 4 ක උපදේශකවරයෙකු ලෙසද කීර්තිමත් රාජකාරි ඉතිහාසයක් සතු මෙතුමා පොලිස් විද්‍යාලයට හා 2022.06.16 දින අධ්‍යක්ෂකවරයා ලෙස පත්වූ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයට සුවිශේෂී දියුණුවක්  අත්කර දුන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ප්‍රකටය.

සිය වෘත්තීය ජීවිතයේ මෙහෙවර එලෙස නිමාකරමින් විශාම සුවයට එළඹි  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට එතුමාගේ ආදරණීය බිරිඳ සහ දියණිය හා පුතනුවන් සමඟ සුවදායී විශ්‍රාම දිවියක් හිමිවන්නට ප්‍රාර්ථනා කරමින් ආසිරි පතන්නෙමු.

Scroll to Top