පොලිස් පවුල් සුබසාධක සංගමය මඟින් පවත්වාගෙන යනු ලබන, මරදාන, කිව් පාර සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථාපිත “ටයිනි ටොට්ස්” (Tiny Tots) පෙරපාසල් ත්‍රිත්වයේ දූ දරුවන්ගේ 2025 වාර්ෂික විවිධ ප්‍රසංගය 2026 ජනවාරි 09 වන දින කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම ප්‍රසංගය, දිවයින පුරා බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ සභාපතිණිය, පොලිස් සේවා වනිතා ඒකකය සහ පොලිස් පවුල් සුබසාධක සංගමය නිල්මිණී සමරතුංග මැතිණිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා, නියෝජ්‍ය පොලිස්පති ඩබ්.වී. ගිණිගේ මහතා ඇතුළු පොලිස් සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිණියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
කුඩා දූ දරුවන්ගේ සහජ දක්ෂතා සහ නිර්මාණශීලීත්වය විදහා දක්වමින් ඉදිරිපත් කළ විචිත්‍රවත් නර්තන, ගායන සහ රංගනයන්ගෙන් මුළු ප්‍රසංගයම අලංකාරවත් විය. පොලිස් පවුල්වල දූ දරුවන්ගේ සුබසාධනය සහ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් පොලිස් පවුල් සුබසාධක සංගමය සිදුකරනු ලබන මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්විය.
දරුවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා සහභාගී වූ දෙමාපියන් සහ පොලිස් නිලධාරීන්ගෙන් ශ්‍රවණාගාරය පිරී පැවති අතර, එය ඉතාමත් සාර්ථක අයුරින් නිමාවට පත්විය.