ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටි ගණනක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකය 2026.01.25 අලුයම සමත් විය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. සැකකරු විසින් සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 220ක් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ප්‍රධාන ජාවාරම්කරුවන් සහ මීට සම්බන්ධ සෙසු පුද්ගලයින් අනාවරණය කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.