කාර්යක්ෂම මහජන සේවයක් උදෙසා රුපියල් මිලියන 556 ක් වටිනා නව තාක්ෂණික උපකරණ තොගයක් පොලිසියට

නවීන තාක්ෂණයෙන් සහ භෞතික සම්පත් මඟින් තවදුරටත් පොලිසිය කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 556 ක මූල්‍ය වටිනාකමකින් යුත් තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් 2026.02.18 වන දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදෙන ලදී.  

පොලිස්පතිතුමන් විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ පරිශ‍්‍රයේදී සංකේතාත්මකව උපකරණ තොගය නිල වශයෙන් භාරගත් අතර රුපියල් මිලියන 365 ක් වටිනා පරිගණක යන්ත‍්‍ර 1718 ක්, රුපියල් මිලියන 129 ක් වටිනා ඡායා පිටපත් යන්ත‍්‍ර 575 ක්, රුපියල් මිලියන 45 ක් වටිනා වේගමාපක යන්ත‍්‍ර හා රුපියල් මිලියන 17 ක වටිනාකමකින් යුත් යූ.පී.එස්. (UPS) 1750 ක් එම උපකරණ අතර වේ.

රාජකාරි බහුල පොලිස් සේවයේ නිලධාරින්ගේ රාජකාරි පහසු කිරීම මෙම තාක්ෂණික උපකරණ භාවිතයේ ප්‍රධාන අරමුණක් වන අතර මෙම ලබාදීම  මෑත කාලයේ පොලිසිය වෙත ලැබුනු වැඩිම වටිනාකමකින් යුත් උපකරණ තොගයයි. 

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා, අමාත්‍යංශ සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත අමරතුංග මහතා ඇතුලු උසස් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Scroll to Top